ඩොමිනිකන් ජනරජය
සාක්ෂිකරුවන් එයාලගේ සහෝදරයන්ට ආදරෙයි
අලුත් පාසැලක්
1994 වෙද්දී ප්‍රචාරකයන් ගණන 16,354ක් දක්වාත් සභා ගණන 259 දක්වාත් වැඩි වුණා. ඒ රටේ සාක්ෂිකරුවන්ගේ වැඩවලට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය දිගටම ලැබුණු බවට ඒක හොඳ සාක්ෂියක්. වර්ධනයත් එක්කම වැඩිමහල්ලන්ට හා සහායක සේවකයන්ට හොඳ පුහුණුවක් ඕන වුණා. ඒ නිසා 1994දී ඩොමිනිකන් ජනරජයේ දේවසේවා පුහුණු පාසැල (දැන් එය හඳුන්වන්නේ ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල කියලයි) පවත්වන්න පාලක මණ්ඩලය අවසර දුන්නා.
2011 ඔක්තෝබර් මාසය වෙද්දී පාසැල් 25ක් පවත්වා තිබූ අතර ඒවායින් 600දෙනෙක් විතර පුහුණුව ලබා තියෙනවා. ඒ අයගෙන් අඩකට වඩා වැඩිදෙනෙක් තවමත් පූර්ණ කාලීන සේවකයන්. ඒ අතරින් 71දෙනෙක් විශේෂ පුරෝගාමි සේවයෙත් 5දෙනෙක් චාරිකා සේවයෙත් යෙදෙනවා. ඒ පාසැල්වලින් පළමු පාසැල් 10 ශාඛා කාර්යාලයේ පවත්වපු අතර 11වෙනි පාසැලේ ඉඳන් පැවැත්තුවේ වියා ගොන්සාලෙස් නගරයේ සාදා තිබෙන සාක්ෂිකරුවන්ගේ ගොඩනැඟිල්ලකයි.
“සාක්ෂිකරුවන් ඒගොල්ලන්ගේ අයව බලාගන්නවා”
1998 සැප්තැම්බර් මාසයේ 22වෙනිදා පැයට කිලෝමීටර් 190ක වේගයකින් ඩොමිනිකන් ජනරජය හරහා හමා ගිය ජෝර්ජ් චණ්ඩ මාරුතය නිසා සිද්ධ වුණේ ලොකු විනාශයක්. 300කට වඩා වැඩිදෙනෙකුගේ ජීවිත අහිමි වුණා. දහස් ගණනකට උන්හිටි තැන් නැති වුණා. විපතට පත් වූ අයට උපකාර කරන්න ලා රොමානාවල නමස්කාර මධ්‍යස්ථානය
තියෙන ඉඩමේ සහන සේවා අංශයක් පිහිටෙව්වා. වෙනත් රටවල් 16කින් ආපු සහෝදර සහෝදරියන් ඇතුළුව 300දෙනෙක් විතර සහන සේවා වැඩවලට උදව් කළා.නමස්කාර මධ්‍යස්ථාන 23ක් හා සාක්ෂිකරුවන්ගේ ගෙවල් 800කට වඩා වැඩි ගණනක් අලුතෙන් හදන්න හෝ පිළිසකර කරන්න සිද්ධ වුණා. කාමන් කියන්නේ ස්ථාවර පුරෝගාමි සේවය කරන වයසක සහෝදරියක්. ඇගේ නිවසත් චණ්ඩ මාරුතය නිසා විනාශ වුණා. ඒත් සහෝදරයන් 15දෙනෙක් විතර ඇවිල්ලා ඇගේ නිවස අලුතෙන්ම හදද්දී දැනුණු සතුට ඇය විස්තර කළේ මෙහෙමයි. “යෙහෝවා දෙවි අපිව කවදාවත් අමතක කරන්නේ නෑ. බලන්න මේ සහෝදරයෝ මට හදන ලස්සන ගේ දිහා. මගේ අසල්වැසියෝ කිව්වා ‘සාක්ෂිකරුවන් ඒගොල්ලන්ගේ අයව බලාගන්නවා. ඒ අය ඇත්තටම ඒගොල්ලන්ගේ අයට ආදරෙයි’ කියලා.” රටේ හැම තැනකම වාගේ විපතට පත් වුණු සාක්ෂිකරුවන්ට අනිත් සාක්ෂිකරුවන් උපකාර කරනවා දැක්කම කවුරුත් වාගේ ඔවුන්ට ප්‍රශංසා කළා.
චණ්ඩ මාරුතය නිසා විශාල හානියක් වුණත් විපතට පත් වුණු සාක්ෂිකරුවන්ට අනිත් සහෝදරයන් අවශ්‍ය දේවල් ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ට අවශ්‍ය සහනය හා දිරිගැන්වීමත් ලබා දුන්නා. ඔවුන් කළ ඒ දේවල් නිසා සියලු සැනසිල්ලේ දෙවි වන යෙහෝවාට ලැබුණේ විශාල ප්‍රශංසාවක්.
තවත් නමස්කාර මධ්‍යස්ථාන ඉදි වෙයි
රටේ සිදු වුණු වර්ධනයත් එක්කම නමස්කාර මධ්‍යස්ථානවල අවශ්‍යතාවත් වැඩි වුණා. ඒ නිසා 2000 නොවැම්බර් වෙද්දී සීමිත සම්පත් ඇති රටවල නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ අංශයේ උදව් ඇතිව මේ රටෙත් රැස්වීම් ශාලා ඉදි කරන්න පටන්ගත්තා. පහසුකම් ඇති ලස්සන නමස්කාර මධ්‍යස්ථානයක් හදන්න ඉදි කිරීම් කණ්ඩායමකට ගත වුණේ සති 8යි. ඒ නිසා 2011 සැප්තැම්බර් වෙද්දී ශාලා 145ක් පමණ හදන්න හෝ අලුත්වැඩියා කරන්න ඉදි කිරීම් කණ්ඩායම් දෙකකට පුළුවන් වුණා.
ඒ නමස්කාර මධ්‍යස්ථාන වගේම ඉදි කිරීම් කණ්ඩායම්වල අයගේ හැසිරීමත් ගොඩක් අයගේ අවධානයට ලක් වුණා. උදාහරණයකට මේ සිදුවීම බලන්න. පුංචි ගමක නමස්කාර මධ්‍යස්ථානයක් හදන්න සහෝදරයන් ඉඩමක් හෙව්වා. විශේෂ පුරෝගාමියෙක් ඉඩමක් තියෙන කෙනෙක්ගෙන් ඒක විකුණනවාද කියලා ඇහුවම ඔහු කිව්වේ “මං ඒ ඉඩම ඕගොල්ලන්ට විකුණන්නේ නැහැ. ඔයාලගේ පල්ලිය හදන්න නම් කොහොමත් මං ඉඩම දෙන්නේ නැහැ. ඒ ගැන කතා කරලා ඔයාගේ කාලේ නාස්ති කරගන්න එපා” කියලයි.
ටික දවසකට පස්සේ ඉඩමේ අයිතිකරු, ලෙඩින් ඉන්න අයියව බලන්න පෝටෝ ප්ලැටාවලට ගියා. ඔහුගේ අයියා සාක්ෂිකරුවෙක්. ඔහු එහේ ගියාම දැනගත්තා සාක්ෂිකාර පවුලක් අයියව එයාලාගේ ගෙදරට ගෙනිහින් බලාගන්නවා කියලා. ඒ විතරක් නෙමෙයි ඔහුව දොස්තර ළඟට ගෙනියන්නෙත් රැස්වීම් හා දේවසේවයේ එක්කගෙන යන්නෙත් ඒ පවුලේ අයයි. ඔයාව බලාගන්නවට ඔයා ඒ අයට කීයක් ගෙවනවාද කියලා ඔහු අයියාගෙන් ඇහුවා. “ඒගොල්ලන් මගේ සහෝදරයෝ. ඒ නිසා මේ දේවල් එයාලා කරන්නේ සල්ලිවලට නෙමෙයි” කියලා අයියා කිව්වා.
“මේ වගේ එකමුතුව වැඩ කරන මිනිස්සු ටිකක් නම් මං කවදාවත් දැකලා නෑ”
අයියට පෙන්නපු ආදරය ගැන ඉඩම් අයිතිකරු කොච්චර පැහැදුණාද කියනවා නම් ඔහු විශේෂ පුරෝගාමි සහෝදරයාට කතා කරලා කිව්වා ඉඩම විකුණන්න කැමැතියි කියලා. සහෝදරයන් ඒ ඉඩම අරගෙන නමස්කාර මධ්‍යස්ථානයක් හදන්න පටන්ගත්තා. ඉඩම් අයිතිකරුගේ භාර්යාව සාක්ෂිකරුවන්ට කැමති නැති වුණත් සහෝදරයන් එකතු වෙලා ශාලාව හදනවා දැක්කම “මේ වගේ එකමුතුව වැඩ කරන මිනිස්සු ටිකක් නම් මං කවදාවත් දැකලා නෑ” කියලා ඇය කිව්වා.