ඩොමිනිකන් ජනරජය
මම හැමදාටමත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්
ආනා මරියා (මේරි) ග්ලාස්
-
ඉපදුණේ 1935
-
බව්තීස්ම වුණේ 1956
-
තොරතුරු කතෝලික ආගමට ළැදිව හිටි කෙනෙක්. සත්‍යය නිසා ආපු විරුද්ධවාදීකම්වලට නිර්භීතව මුහුණ දුන්නා.
මම කතෝලික ආගමට හුඟක් ළැදිව හිටපු නිසා පල්ලියේ හැම වැඩකටම වගේ සහභාගි වුණා. ගීතිකා කණ්ඩායමෙත් හිටියා. ඒ වගේම පල්ලියෙන් එක එක තැන්වලට ගිහින් පවත්වන දේවමෙහෙයන්වලටත් ගියා. 1955දී දවසක් මගේ අක්කා මේ පොළොව පාරාදීසයක් වෙන විදිහ ගැන මට කියලා දුන්නා. වැඩි විස්තර දැනගන්න සාක්ෂිකරුවන්ගේ පොත් දෙකකුත් දුන්නා. ඒ පොත්වල තිබුණු තොරතුරුවලට මට ගොඩක් ආස හිතුණු නිසා මම බයිබලය කියවන්නද කියලා පූජකයාගෙන් ඇහුවා. බයිබලය කියෙව්වොත් “ඔයාගේ ඔළුව නරක් වෙයි” කියලා ඔහු කිව්වත් මං බයිබලය කියවන්න තීරණය කළා.
ඊට ටික දවසකට පස්සේ මම බොකා චිකාවල ඉන්න මගේ සීයාලගේ ගෙදර නතර වෙන්න ගියා. එහෙදී මගෙන් පූජකයෙක් ඇහුවා මම පල්ලියට එන්නේ නැත්තේ ඇයි කියලා. පල්ලියේ උගන්වන්නේ බයිබලයේ තියෙන දේවල් නෙමෙයි කියලා මං කිව්වා. පූජකයාට හොඳටම
තරහ ගිහින් “මතක තියාගන්න. ඔයා මගේ රැළේ බැටළුවෙක්. දැන් ඔයා අයාලේ ගිහිල්ලා” කියලා කිව්වා.“නැහැ, ඔයයි යෙහෝවා දෙවිගේ රැළෙන් පිට ගිහිල්ලා තියෙන්නේ. රැළ අයිති යෙහෝවා දෙවිට මිසක් මිනිස්සුන්ට නෙමෙයි” කියලා මං පූජකයාට කිව්වා.
ඊටපස්සේ මං කවදාවත් පල්ලි ගියේ නැහැ. ටික දවසකින් මම අක්කලගේ ගෙදර නතර වෙන්න ගියා. බයිබලයේ තියෙන දේවල් දැනගෙන හරියටම මාස හයකින් මං බව්තීස්ම වුණා. ඒත් එක්කම ස්ථාවර පුරෝගාමියෙක් විදිහට සේවය කරන්නත් පටන්ගත්තා. අවුරුද්දකට පස්සේ චාරිකා සේවකයෙක් වන එන්රික් ග්ලාස් එක්ක මං විවාහ වුණා. අපි දෙන්නා දවසක් ලා රොමානාවල උද්‍යානයක සේවය කරද්දී පොලීසියෙන් ඇවිත් එන්රික්ව අත්අඩංගුවට ගත්තා. එයාව අරගෙන යද්දී මං එයාලාගේ පස්සෙන් දුවලා ගිහිං “මමත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. මමත් දේශනා කළා. ඇයි මාවත් ගෙනියන්නේ නැත්තේ” කියලා ඇහුවා. ඒත් ඒ අය මං කිව්ව දේ ගණන් ගත්තේ නැහැ.
එන්රික් මීට කලිනුත් කීප සැරයක්ම හිරේ ගිහින් තිබුණා. ඒ ඔක්කොම එකතු කළාම අවුරුදු හතහමාරක් එයා හිරේ ඉඳලා තියෙනවා. මේ වතාවේ එන්රික්ව මාස 20කට හිරේ දැම්මා. මම හැම ඉරිදම එන්රික් බලන්න ගියා. එහෙම ගිය වෙලාවක “ඔයා මෙහේ එන්නේ කාව බලන්නද” කියලා හිරගෙදර නිලධාරියෙක් මගෙන් ඇහුවා.
“මගේ මහත්තයාව. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නිසා හිරේ දාලා” කියලා මං කිව්වා.
“ඔයා තාම තරුණයි. ඇයි මේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෙක් නිසා ඔයාගේ ජීවිතේ නිකං නාස්ති කරගන්නේ” කියලා ඔහු ඇහුවා.
“මමත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෙක්. ඔයගොල්ලෝ හත් පාරක් මාව මරලා ආයි ජීවිතය දුන්නත් මං වෙනස් වෙන්නේ නැහැ” කියලා මං කිව්වා.
තහනම ඉවත් කළාට පස්සේ එන්රිකුයි මමයි අවුරුදු ගාණක් සංචාරක සේවය කළා. මගේ ආදරණීය එන්රික් 2008 මාර්තු 8වෙනිදා මිය ගියා. මම තවමත් ස්ථාවර පුරෝගාමියෙක් විදිහට සේවය කරනවා.