Skip to content

පටුනට යන්න

ඩොමිනිකන් ජනරජය

සාක්ෂිකරුවන් රටෙන් යන්නේ නැහැ

සාක්ෂිකරුවන් රටෙන් යන්නේ නැහැ

ඔවුන්ට සත්‍යය ලැබුණා

1960දී බව්තීස්ම වුණු සහෝදරි කුවානා වෙන්ටූරා, බයිබලය ඉගෙනගත්තේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලා තියෙන කාලයේයි. සැන්ටො ඩොමින්ගෝවල ඉන්න පූජකයෙක්, “මගේ පල්ලියේ අයව ඔයා අල්ලගන්නවා” කියලා ඇයට චෝදනා කළා. ඔහුට ඕන වුණේ කුවානාව හිරේ අරින්නයි. දවසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බොරුකාරයන් කියලා ඔප්පු කරලා අනිත් අය ඉස්සරහ කුවානාව ලැජ්ජා කරන්න හිතපු ඔහු ඇයව පල්ලියට ගෙන්නලා ප්‍රශ්න කළා.

ඒ ගැන කුවානා මෙහෙම කිව්වා. “‘ඔයාලා ඡන්දේ දාන්නේ නැත්තේ ඇයි, යුද්ධවලට හවුල් වෙන්නේ නැත්තේ ඇයි, ඔයාලට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා කියන්නේ ඇයි’ කියලා ඔහු මගෙන් ඇහුවා. මම ඒ ප්‍රශ්නවලට උත්තර දුන්නේ බයිබල් පදවලින්. එතන හිටපු අයත් ඒ පද එයාලගේ බයිබලයෙන්ම පෙරලලා බැලුවා. ඔවුන්ට ඇත්ත මොකක්ද කියලා තේරුණ නිසා ඒ අය බයිබලය ඉගෙනගන්න කැමති වුණා. පස්සේ 25දෙනෙක්ම බව්තීස්ම වුණා.” ඒක සැන්ටො ඩොමින්ගෝවල සාක්ෂිකරුවන්ගේ සේවයට ලොකු රුකුලක් වුණු සිද්ධියක්.

සාක්ෂිකරුවන් රටෙන් යන්නේ නැහැ

ටෘජිලෝගේ මරණයෙන් පස්සේ රටේ තිබුණේ උණුසුම් තත්වයක්. ඒ ගැන ‘1963 වාර්ෂික පොතේ’ සඳහන් වුණේ මෙහෙමයි. ‘හැම තැනකම වගේ හමුදා භටයන් හිටියා. වැඩ වර්ජන හා අපරාධ නැති දවසක් නැහැ.’ රටේ ඒ වගේ වතාවරණයක් තිබුණත් දේශනා සේවය හා බයිබල් පාඩම් පවත්වන එක නම් නැවතුණේ නැහැ. ඒ නිසා 1963 සේවා වසර අවසන් වෙද්දී ප්‍රචාරකයන්ගේ ගණන 1,155 දක්වා වැඩි වෙලා තිබුණා.

1962දී සහෝදර නේතන් නෝර් ඩොමිනිකන් ජනරජයට ආවා. ඒ වෙලාවේ ඔහු ඉඩ පහසුකම් ඇති ශාඛා කාර්යාලයක් හදන්න ඉඩමක් ගන්නත් සැලසුම් කළා. ටික කාලයකින් ඒ ඉඩමේ තට්ටු දෙකේ ගොඩනැඟිල්ලක් හා නමස්කාර මධ්‍යස්ථානයක් හැදුවා. 1963 ඔක්තෝබර් 12වෙනිදා ඒ ගොඩනැඟිලි කැප කළ අතර කැප කිරීමේ දේශනය දුන්නේ ලෝක මූලස්ථානයෙන් ආව සහෝදර ෆ්‍රෙඩ්රික් ෆ්‍රාන්ස්. සාක්ෂිකරුවන් දිගටම ඒ රටේ ඉන්න බවට ඒක කදිම සාක්ෂියක් වුණා. ඊට ටික කාලයකට පස්සේ කියුබාවේ සේවය කරපු ඩේෆීල්ඩ් යුවළ මෙහෙට ආවා.

විප්ලව තිබුණත් වර්ධනයක්

1965 අප්‍රියෙල් 24වෙනිදා ඇති වුණු දරුණු විප්ලවයත් එක්ක රටේ නොසන්සුන් තත්වයක් තිබුණත් සාක්ෂිකරුවන්ගේ ගණන එන්න එන්නම වැඩි වුණා. 1970 වෙද්දී සභා 63ක ප්‍රචාරකයන් 3,378ක් හිටියා. ඒ අයගෙන් වැඩිදෙනෙක් සත්‍යයට ආවේ පහුගිය අවුරුදු පහ ඇතුළත. ‘1972 වාර්ෂික පොතේ’ ඔවුන් ගැන මෙහෙම වාර්තා වෙනවා. “යෙහෝවා දෙවිට හා සත්‍ය ඉගැන්වීම්වලට තිබුණු ආදරය නිසා හැම තරාතිරමකම අය, ඒ කියන්නේ කාර්මිකයන්, ගොවියන්, ගණකාධිකාරීන්, වඩුවන්, නීතිඥයන්, වෛද්‍යවරුන් විතරක් නෙමෙයි දේශපාලනයට සම්බන්ධ වෙලා හිටපු අය පවා දෙවිගේ සංවිධානයට ආවා.”