Skip to content

පටුනට යන්න

ඩොමිනිකන් ජනරජය

සේවය නැවැත්තුවේ නැහැ

සේවය නැවැත්තුවේ නැහැ

මිෂනාරිවරුන් රහසේම වැඩ කරගෙන ගියා

වැඩ තහනම් කළ නිසා සාක්ෂිකරුවන්ට ගොඩක් කරදරවලට මුහුණ දෙන්න වුණා. මිෂනාරි සහෝදරියක් වන අල්මා පාසන් ඒ ගැන මේ වගේ දෙයක් කිව්වා. ‘අපේ නමස්කාර මධ්‍යස්ථාන වැහුවා. වැඩ තහනම් කළා. අපේ සහෝදරයන් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා.’ සමහර අයට රස්සා නැති වුණා. තවත් අයව හිරේ දැම්මා. ඒත් සහෝදරි පාසන් කිව්වේ ‘අපිට දෙවිගේ රැකවරණය හා ආරක්ෂාව තියෙනවා කියලා අපි ගොඩක් අවස්ථාවලදි අද්දැක්කා’ කියලයි. යෙහෝවා දෙවි මඟ පෙන්වයි කියන විශ්වාසය තිබුණු නිසා සහෝදරයන් දිගටම සේවය කරගෙන ගියා.

රැස්වීම් තියන්න තහනම් නිසා ඒ අය කරපු දෙයක් ගැන සහෝදර ලෙනට් මෙහෙම කිව්වා. “අපි පොඩි කණ්ඩායම් විදිහට ගෙවල්වල එකතු වෙලා ‘මුරටැඹ’ සඟරාවේ ලිපිවල පිටපත් හදාගෙන ඒවා සාකච්ඡා කළා. මේ විදිහට යෙහෝවා දෙවි තමන්ව ශක්තිමත් කරන එක ගැන සහෝදරයන් සතුටු වුණා.”

තහනම් කාලයේදී ඒ රටේ රැඳී සිටිමින් දිගටම සේවය කළ රෝයි සහ වානිටා බ්‍රැන්ඩ්

මේ අතරතුර රජය සහෝදරයන් ගැන සෙවිල්ලෙන් හිටියා. සහෝදරයන්ට එන්න එන්නම පීඩා වැඩි වුණත් ඔවුන් ඒ කිසි දේකට බය වුණේ නැහැ. 1950 සැප්තැම්බර් 15වෙනිදා පොලිස් අමාත්‍යංශ ලේකම් වන හංග්‍රියා ජනාධිපතිට ලිපියකින් මෙහෙම දැනුම් දුන්නා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අධ්‍යක්ෂකවරුන් වන රෝයි බ්‍රැන්ඩ් සහ අනිත් අයව මේ කාර්යාලයට ගෙන්වලා, ඔවුන්ගේ වැඩ රජයෙන් තහනම් කරලා තියෙන නිසා ඒවා නවත්වන්න කියලා කිහිප වතාවක්ම අවවාද කළා. ඒත් ඒ අය තවමත් හොර රහසේ වැඩ කරගෙන යනවා කියලා අපිට රටේ විවිධ පැතිවලින් ආරංචි වෙනවා. ඔවුන් රජයට කරන්නේ ලොකු නිග්‍රහයක්.” ඔහු ඒ ලිපිය අවසන් කළේ සාක්ෂිකරුවන්ගේ “මූලිකත්වය ගන්න විදේශික අධ්‍යක්ෂකවරුන්” රටෙන් පිටුවහල් කරන්න කියා සඳහන් කරමිනුයි.

“ලොකු ශක්තියක්”

සහෝදර නෝර් සහ සහෝදර හෙන්ෂල් 1950 අග භාගයේදී සහෝදරයන්ව බලන්න ආවා. ඊටපස්සේ සමහර මිෂනාරිවරුන්ව ආර්ජන්ටිනාව, ග්වාතමාලාව හා පෝටෝ රිකෝවලට යැව්වා. ඒත් අනිත් අය මේ රටේ ඉන්න ඕන නිසා රැකියාවල් හොයාගත්තා. උදාහරණයකට සහෝදර බ්‍රැන්ඩ් විදුලිබල සමාගමේත් අනිත් අය ඉංග්‍රීසි ගුරුවරුන් හැටියටත් වැඩ කළා. ඔවුන් ගැන 1951 ‘වාර්ෂික පොතේ’ මෙහෙම සඳහන් වුණා. “ඔවුන් රටේ හිටපු එක මිෂනාරිවරුන්ගෙන් සත්‍යය ඉගෙනගත්ත, දෙවිට විශ්වාසවන්තව හිටපු අයට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම ඔවුන්ගේ නිර්භීතකම ගැන සහෝදරයන් ගොඩක් සතුටු වුණා.”

‘ඔවුන් රටේ හිටපු එක දෙවිට විශ්වාසවන්තව හිටපු අයට ලොකු ශක්තියක් වුණා’

ඩොරති ලෝරන්ස් කියන්නේ ඉංග්‍රීසි පන්ති පවත්වපු මිෂනාරි සහෝදරියක්. ඇය ඉංග්‍රීසි උගන්වනවාට අමතරව කැමති අයට බයිබලයත් කියලා දුන්නා. ඒ විදිහට ඇය ගොඩක් අයට සත්‍යයට එන්න උදව් කළා.

නිලධාරීන් ඔවුන් ගැන ඇහැගහගෙන හිටියත් සාක්ෂිකරුවන් සේවය කරන්න අලුත් ක්‍රම හොයාගත්තා. සමහර වෙලාවට ඒ අය පොත්වල පිටු කීපයක් ගලවලා ෂර්ට් සාක්කුවල හරි බඩු මළුවල හරි දාගෙන ගියා. සේවා වාර්තාව සකස් කළෙත් බඩු ලැයිස්තුවක් විදිහටයි. පොත්, සඟරා, මාසික සඟරා, නැවත බැලීම් සහ පැය ඔවුන් හැඳින්නුවේ ගස්ලබු, බෝංචි, බිත්තර, ගෝවා සහ නිවිති කියලයි. පිටපත් කරලා හදාගත්ත ‘මුරටැඹ’ සඟරා ඔවුන් හැඳින්නුවේ මඤ්ඤොක්කා කියලයි.

සේවය නැවැත්තුවේ නැහැ

ටෘජිලෝ 1954 ජූනි 16වෙනිදා වතිකානුව එක්ක අත්සන් කළ ගිවිසුම නිසා ඩොමිනිකන් ජනරජයේ කතෝලික පූජකයන්ට විශේෂ වරප්‍රසාද හිමි වුණා. ඒ වෙනකොට සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලා අවුරුදු 4යි. ඒත් 1955 වෙද්දී සාක්ෂිකරුවන් 478දෙනෙක් හිටියා. ප්‍රශ්න ගැටලු මැද වුණත් සාක්ෂිකරුවන් ගණනින් වැඩි වුණේ කොහොමද? ඒ ගැන 1956 ‘වාර්ෂික පොතේ’ මෙහෙම සඳහන් වුණා. “අපිට ශක්තිය ලැබුණේ යෙහෝවා දෙවිගෙන්. සහෝදරයන් අතරේ ලොකු බැඳීමක් තිබුණා. ඔවුන්ට නිර්භීතව ඉදිරියට යන්න පුළුවන් වුණේ දෙවි ගැන ශක්තිමත් විශ්වාසයක් තිබුණු නිසයි.”

1955 ජූලි මාසයේදී සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයෙන් ටෘජිලෝට නීතික ලියවිල්ලක් එව්වා. සාක්ෂිකරුවන්ගේ විශ්වාසය ගැනත් ඔවුන් හමුදාවට බැඳෙන්නේ නැත්තේ ඇයි කියලත් ඒකේ සඳහන් වුණු අතර ‘සාක්ෂිකරුවන්ටත් වොච්ටවර් සමිතියටත් විරුද්ධව පනවලා තියෙන තහනම ඉවත් කරන්න’ කියලත් ඉල්ලා සිටියා.