Skip to content

පටුනට යන්න

සුග්ඩිඩිවල පවත්වපු පුරෝගාමි පාසැලක්

ජෝර්ජියාව | 1998-2006

“හොඳ වාතාවරණයක් තිබුණත් නැතත්” දෙවිගෙන් ලැබුණු ආශීර්වාද.—2 තිමෝ. 4:2.

“හොඳ වාතාවරණයක් තිබුණත් නැතත්” දෙවිගෙන් ලැබුණු ආශීර්වාද.—2 තිමෝ. 4:2.

1990 ගණන්වල අගභාගයේ ඉඳන් ජෝර්ජියාවේ ප්‍රචාරකයන්ගෙත් බයිබලය ඉගෙනගන්න කැමති අයගෙත් ගාණ එන්න එන්නම වැඩි වුණා. 1998දී යේසුස්ගේ මරණය සිහි කිරීමට 32,409දෙනෙක් සහභාගි වුණු එක ඒකට හොඳ සාක්ෂියක්.

ප්‍රචාරකයන්ගෙන් වැඩිදෙනෙක් අලුතෙන් සත්‍යයට ආපු අය. වැඩිමහල්ලන් විදිහට කටයුතු කරපු අයටත් වැඩිය අද්දැකීම් තිබුණේ නැහැ. ඒ නිසා නමස්කාරයට සම්බන්ධ වැඩවලට හැමෝටම පුහුණුවක් ඕනෙ වුණා.

දෙවිගේ සංවිධානයෙන් ලැබුණු උපකාර

ආර්නෝ සහ සොන්යා ටන්ග්ලර් ජර්මනියේ පවත්වපු ගිලියද් අමතර පාසැලෙන් උපාධිය ලබපු දෙන්නෙක්. එයාලාට 1998 මාර්තු මාසයේ ජෝර්ජියාවේ සේවය කරන්න පැවරුමක් ලැබුණා. ඒ අවුරුද්දේම පාලක මණ්ඩලය රුසියානු ශාඛා කාර්යාලයේ අධීක්ෂණය යටතේ ජෝර්ජියාවේ කාර්යාලයක් පිහිටෙව්වා.

ඒ කාර්යාලයේ ඉඳන් රටේ සේවය සම්බන්ධ වැඩකටයුතු කරගෙන ගියේ දේශීය කමිටුවෙනුයි. සාක්ෂිකරුවන්ව නීත්‍යනුකූල ආගමක් හැටියට ලියාපදිංචි කළාට පස්සේ ජර්මනියෙන් ඇති තරම් පොත් පත් සඟරා ගෙන්නන්න පුළුවන් වුණා. ඒ වගේම ශාඛා කාර්යාලයක් සහ නමස්කාර මධ්‍යස්ථාන හදන්න ඉඩම් මිල දී ගන්න සාක්ෂිකරුවන්ට පුළුවන් වුණා.

නමස්කාර කටයුතු සඳහා ලැබුණු පුහුණුව

සෝවියට් පාලන කාලෙදි තිබුණු තහනම නිසා අවුරුදු ගාණකට ප්‍රචාරකයන්ට ගෙයින් ගෙට සේවයේ හවුල් වෙන්න ලැබුණේ නැහැ. ආර්නෝ ටන්ග්ලර් මෙහෙම මතක් කරනවා. “හුඟදෙනෙක් වීදි සේවයේ හවුල් වුණා. ඒත් ගෙයින් ගෙට යන එක ගැනවත් උනන්දුව දක්වපු කෙනෙක්ට උදව් කරන විදිහ ගැනවත් එයාලා දැනන් හිටියේ නැහැ.”

ආර්නෝ සහ සොන්යා ටන්ග්ලර්

1999 මැයි මාසේදි දේශීය කමිටු කාර්යාලයේ සේවය කරන්න පටන්ගත්ත සහෝදර ඩේවිට් ඩේවිඩ්සේ මෙහෙම කියනවා. “සේවය පැත්තෙනුත් බෙතෙල් එකෙත් කරන්න ගොඩක් වැඩ තිබුණා. ඒ නිසා අපිව පුහුණු කරන්න පාලක මණ්ඩලය අද්දැකීම් තියෙන සහෝදරයන් කිහිපදෙනෙක්වම එව්වා.”

ජෝර්ජියාවේ සහෝදරයන්ට ගොඩක් පැතිවලින් පුහුණුවක් ලැබුණා. පුහුණුව දෙන්න ආපු සහෝදරයනුත් ජෝර්ජියාවේ සහෝදරයන්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා.—හිතෝ. 27:17.

ජෝර්ජියාවේ සහෝදරයන් එයාලාගේ ආදරේ පෙන්වයි

ජෝර්ජියාවට ආපු වෙලාවේ එහේ සහෝදරයන් ආර්නෝ සහ සොන්යාව ආදරෙන් පිළිගත්ත විදිහ එයාලාට තාම මතකයි. අලුත් වටපිටාවට හුරු වෙන එක ලේසි නැති වුණත් සහෝදරයන්ගෙන් ලැබුණු උපකාර නිසා එයාලාගේ පැවරුම හොඳින් කරගෙන යන්න ඒ දෙන්නාට පුළුවන් වුණා.

සොන්යා ඒ ගැන මෙහෙම කියනවා. “ළඟපාත ගෙදරක හිටිය යුවළක් අපිට කෑම හදලා දුන්නා. එක සහෝදරියක් ජෝර්ජියන් භාෂාව කියලා දුන්නා. තව සහෝදරියක් අපිව සේවයේ එක්කන් ගිහින් අලුත් සභාවේ අයවත් අපිට අඳුන්නලා දුන්නා. ජෝර්ජියාවේ සංස්කෘතිය ගැනත් කියලා දුන්නා.”

1999දී කැනඩාවෙන් ආපු වොරන් සහ ලෙස්ලි ෂූෆෙල්ට් මෙහෙම කියනවා. “ජෝර්ජියාවේ සහෝදරයන් අපිට කොච්චර ආදරේද කියලා අපි දැක්කා. ලොකු, පොඩි හැමෝම අපි ළඟට ඇවිත් අපිත් එක්ක කතා කළා.”

දේශීය කමිටු කාර්යාලයේ එකට වැඩ කරපු ජෝර්ජියාවේ සහෝදරයන් සහ මිෂනාරි සහෝදරයන්

වෙන රටවලින් ආපු සහෝදරයන්ට ජෝර්ජියාවට හුරු වෙන එක ලේසි වුණේ නැහැ. ඒත් ජෝර්ජියාවේ සහෝදරයන් ඒ අයට ගොඩක් උදව් කළා. ඒ නිසා මොන බාධා ආවත් සහෝදරයන් එක්ක සතුටින් වැඩ කරන්න ඒ අයට පුළුවන් වුණා.

දෙවි ගැන තිබුණු විශ්වාසය සත්‍යය පිළිගන්න උදව් වෙයි

1990 ගණන්වල ජෝර්ජියාවේ හුඟදෙනෙක් සත්‍යය ගැන දැනගන්න ලොකු උනන්දුවක් පෙන්නුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 1998දී විතරක් 1,724දෙනෙක් බව්තීස්ම වුණා.

අවුරුදු ගණනාවක්ම සංචාරක සේවකයෙක් විදිහට සේවය කළ ටමාසි බිබිලායියා ඒ වගේ වර්ධනයක් ඇති වෙන්න හේතු වුණු දෙයක් ගැන මෙහෙම කියනවා. “පොඩි කාලේ ඉඳන් දෙවි ගැන ඉගෙනගෙන තිබුණ නිසා ජෝර්ජියානුවන්ට දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපේ පණිවිඩය දැනගන්න එයාලාට තිබුණේ ලොකු උනන්දුවක්.”

ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලේ උපදේශකයෙක් විදිහට සේවය කරන ඩේවිට් සැම්කරඩේස් කියන්නේ මෙහෙමයි. “කෙනෙක් බයිබලය පාඩම් කරන්න ගත්තාම නෑදෑයෝ, අසල්වැසියෝ ඒකට හරිම විරුද්ධයි. ඒත් හුඟක් වෙලාවට විරුද්ධ වුණු අයම අන්තිමට බයිබලය පාඩම් කරන්න පටන්ගන්නවා.”

දේවරාජ්‍යය ගැන පණිවිඩය දැනගත්ත නිසා හුඟක් අය එයාලාගේ ජීවිතවල වෙනස්කම් කරන්න පෙලඹුණා. ප්‍රතිඵලයක් විදිහට 1999 අප්‍රියෙල් මාසයේ යේසුස්ගේ මරණය සිහි කිරීමට 36,669දෙනෙක් ආවා. ඒ එච්චර කාලයකට සිහි කිරීමකට ආපු වැඩිම ගාණයි.

“බොහෝදෙනෙක් ඊට විරුද්ධව සිටිති”

එෆීසයේ සේවය කරමින් ඉද්දී පාවුල් මෙහෙම දෙයක් ලිව්වා. “සේවය කිරීම සඳහා විශාල ප්‍රස්තාවක් මට එහි විවෘත වී ඇත. නමුත් බොහෝදෙනෙක් ඊට විරුද්ධව සිටිති.” (1 කොරි. 16:9) ඒ දේ ජෝර්ජියාවේ සහෝදරයනුත් අද්දැක්කා.

1999 අගෝස්තු මාසයේදී අන්තවාදී ඕතඩොක්ස් කණ්ඩායමක් සාක්ෂිකරුවන්ට විරුද්ධව ටිබිලිසිවල රැලියක් සංවිධානය කළා. රැලියට මූලිකත්වය දුන්නේ ඕතඩොක්ස් ආගමෙන් නෙරපපු පූජකයෙක් වුණු වාසීලී කලවිශ්විලි. එදා එයාලා අපේ පොත් පත් පාරේ ගොඩ ගහලා පිච්චුවා. අවුරුදු හතරක් පුරාම සාක්ෂිකරුවන්ට මේ විදිහට පීඩා එල්ල වුණා.

1999 ඉඳන් ජෝර්ජියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව රැලි සංවිධානය කළා. ඔවුන්ගේ පොත් පත් ගිනි තිබ්බා. ඔවුන්ට පහර දුන්නා

1999 ඔක්තෝබර් මාසයේ 17වෙනිදා ආගමික අන්තවාදීන්, මිනිස්සු 200දෙනෙක් විතර එකතු කරගෙන ටිබිලිසිවල ග්ලඩනි සභාවේ රැස්වීමකට කඩා පැන්නා. එයාලා සහෝදරයන්ට ලී පොලුවලින් සහ යකඩ කුරුසවලින් හොඳටම ගැහුවා. සහෝදරයන් කිහිපදෙනෙක්වම රෝහලට ගෙනියන්නත් සිද්ධ වුණා.

ඒත් ඒ පහර දීමට වග කියන්න ඕනෙ අයව අත්අඩංගුවට ගත්තේ නැහැ. සාක්ෂිකරුවන්ට විරුද්ධ මේ වගේ දේවල් එන්න එන්නම වැඩි වුණා. ජනාධිපති ශෙවර්ඩන්ඩ්සේ ඇතුළු හුඟදෙනෙක් මේ වගේ දේවල් හෙළාදැක්කත් ඒවා වළක්වන්න පියවර ගත්තේ නැහැ. පොලීසියේ අය පවා මේ වගේ පහර දීම් එච්චර ගණන් ගත්තේ නැහැ.

ඒ කාලෙම ජෝර්ජියාවේ පාර්ලිමේන්තු සාමාජිකයෙක් සාක්ෂිකරුවන්ට විරුද්ධව බොරු තොරතුරු පතුරුවන්න පටන්ගත්තා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමාජයට තර්ජනයක් කියලා එයා කිව්වා. ඒ නිසා ගොඩක් ප්‍රශ්න ඇති වෙලා දේශනා කරන්න තිබුණු “හොඳ වාතාවරණය” නැති වුණා.

යෙහෝවා දෙවිගේ සංවිධානය විරුද්ධවාදිකම්වලට ප්‍රතිචාර දක්වයි

මේ පීඩාකාරී කාලයේදී කටයුතු කරන්න ඕන විදිහ ගැන දෙවිගේ සංවිධානය සහෝදරයන්ව දැනුවත් කළා. උදාහරණයකට පහර දීමකට මුහුණ දෙන්න වුණොත් කරන්න ඕන දේවල් ගැන එයාලාට මඟ පෙන්වීම් දුන්නා. ඒ වගේම සැබෑ ක්‍රිස්තියානීන්ට සමහර කාලවලදී හිංසා පීඩාවලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඇයි කියලත් මතක් කරලා දුන්නා.—2 තිමෝ. 3:12.

චෝදනා එල්ල වුණු සහෝදරයන්ට නීතිමය පැතිවලින් අවශ්‍ය උදව් ශාඛා කාර්යාලයෙන් ලබා දුන්නා. ජෝර්ජියාවේ ශාඛා කාර්යාලයේ නීතික අංශයේ සේවය කරපු සහෝදරයෙක් මෙහෙම මතක් කරනවා. “පහුගිය අවුරුදු හතර පුරා වාසීලී කලවිශ්විලිගේ කණ්ඩායමේ අය සහෝදරයන්ට කරපු හිංසා පීඩාවලට විරුද්ධව අපි පැමිණිලි 800කට වැඩිය දැම්මා. අපි නිලධාරීන්ගෙන්, මානව හිමිකම් සංවිධානවලින් ඒ දේවල් නතර කරන්න උදව් ඉල්ලුවා. අපේ ලෝක මූලස්ථානයෙන් මේ අසාධාරණය ගැන හැමෝවම දැනුවත් කරන්න ලොකු වැඩසටහනක් පටන්ගත්තා. ඒත් මේ කිසි දේකට බැරි වුණා එයාලා කරන හිංසා පීඩා නවත්තන්න.” *

^ 30 ඡේ. සාක්ෂිකරුවන්ගේ නීතිමය අයිතීන් ආරක්ෂා කරන්න අරන් තියෙන පියවර ගැන දැනගන්න 2002 ජනවාරි 22 ‘පිබිදෙව්!’ සඟරාවේ 18-24 දක්වා පිටු බලන්න.