ආමොස් 2:1-16

2  “යෙහෝවා දෙවි මෙසේ කීවේය. ‘මෝවබ්වරුන්+ නිමක් නොමැතිව කරන අපරාධ නිසා ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. මන්ද ඔවුහු ඒදොම් දේශයේ රජුගේ ඇටකටු පුලුස්සා එයින් හුණු+ සාදාගත්තෝය.  එබැවින් මම මෝවබ් දේශයට ගිනි තබන්නෙමි. ඒ ගින්නෙන් කෙරියොත් නගරයේ+ රාජකීය බලකොටුද දැවී යනු ඇත. යුධ ඝෝෂා සහ හොරණෑ හඬ මැද මෝවබ් දේශය විනාශ වී යන්නේය.+  මම මෝවබ් දේශයේ විනිශ්චයකරුවද එහි සියලු පාලකයන්වද එකට විනාශ කර දමන්නෙමි.’+ එසේ පැවසුවේ යෙහෝවා දෙවිය.”  “යෙහෝවා දෙවි මෙසේ කීවේය. ‘යූදා දේශයේ වැසියන් නිමක් නොමැතිව කරන අපරාධ නිසා+ ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. මන්ද ඔවුහු යෙහෝවා දෙවි වන මාගේ නීතිය ප්‍රතික්ෂේප කළෝය.+ මාගේ නියෝගද නොපැවැත්වූවෝය. ඔවුන්ගේ මුතුන්මිත්තන් විශ්වාස කළ බොරු දේවල්+ ඔවුහුද විශ්වාස කරමින් මංමුළා වී ගියෝය.+  එබැවින් මම යූදා දේශයට ගිනි තබන්නෙමි. ඒ ගින්නෙන් යෙරුසලමේ රාජකීය බලකොටුද දැවී යනු ඇත.’+  “යෙහෝවා දෙවි මෙසේ කීවේය. ‘ඊශ්‍රායෙල්වරුන්+ නිමක් නොමැතිව කරන අපරාධ නිසා ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. මන්ද ඔවුහු රිදී ලබාගන්නා පිණිස ධර්මිෂ්ඨ අයව විකුණන්නෝය. පාවහන් කුට්ටමක් ලබාගන්නා පිණිස දුප්පතුන්ව විකුණන්නෝය.+  දිලිඳුන් අන්ත අසරණ තත්වයකට පත් වී තමුන්ගේ හිස මත වැලි දමාගන්නා ආකාරය දැකගැනීමට ඔවුහු මහත් ආශාවෙන් බලා සිටිති.+ මෘදු ගතිගුණ තිබෙන අයට ඔවුහු යුක්තිය ඉටු නොකරති.+ පියා සහ පුත්‍රයා එකම ගණිකාව වෙතට ගොස්+ මගේ ශුද්ධ නාමය කෙලසති.+  ඔවුහු ඇපයක් ලෙස පැහැරගත් වස්ත්‍ර පූජාසන ළඟ එළාගෙන ඒවා මත දිගා වී සිටිති.+ ඔවුහු මිනිසුන්ගෙන් ලබාගත් දඩ මුදල්වලින් වයින් මිල දී ගෙන ඔවුන්ගේ දේවාල+ ඇතුළට ගොස් බොති.’  “‘තේජවත් දේවදාර ගස් හා දැවැන්ත ගස් මෙන්+ බලවත් වූ අමෝරිවරුන්ව+ මා විනාශ කළේ කවුරුන් වෙනුවෙන්ද? ඔබ වෙනුවෙන් නොවෙයිද? ගසක පල හා මුල් විනාශ කරන්නාක් මෙන් මම ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවෙමි.+ 10  මම ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවෙමි.+ අවුරුදු හතළිහක් පුරා+ පාළුකරයේ ඔබව ගෙන ගොස් අවසානයේදී අමෝරිවරුන්ගේ දේශය ඔබට හිමි කර දුන්නෙමි.+ 11  ඔබේ පුත්‍රයන්ගෙන් සමහරදෙනෙකුව අනාගතවක්තෘවරුන්+ ලෙසත් තරුණයන්ගෙන් සමහරදෙනෙකුව නසරීතවරුන්+ ලෙසත් මම පත් කළෙමි. ඊශ්‍රායෙල් ජනයෙනි, එය සුදුසු දෙයක් නොවෙයිද?’ එසේ කීවේ යෙහෝවා දෙවිය. 12  “‘නමුත් ඔබ නසරීතවරුන්ට වයින් බොන්න දුන්නහුය.+ “අනාවැකි නොකියන්න” කියා අනාගතවක්තෘවරුන්ට තර්ජනය කළහුය.+ 13  එබැවින් අලුත් ධාන්‍ය පැටවූ කරත්තයක් සෙලවෙන්නාක් මෙන් ඔබ ගමන් කරන භූමියද මම සොලවන්නෙමි. 14  වේගයෙන් දුවන අයටවත් පලා ගොස් සැඟවීමට තැනක් නොතිබෙනු ඇත.+ ශක්තිමත් අයගේ සවිය නැති වී යයි. ඔවුන්ගෙන් කිසිවෙක් ගැලවී යන්නේ නැත.+ 15  එක දුනුවායෙක්වත් ඉතුරු වන්නේ නැත. වේගයෙන් දුවන එක් කෙනෙක්වත් බේරෙන්නේ නැත. අසුන් පිට නැඟ යන කිසිවෙකුට ගැලවී යෑමට නොහැකි වෙයි.+ 16  එදින නිර්භීත තැනැත්තා පවා නිර්වස්ත්‍රව පලා දුවනු ඇත.’+ එසේ පැවසුවේ යෙහෝවා දෙවිය.”

පාදසටහන්