ආමොස් 6:1-14

6  “සියලු ජාතීන් අතරින් ප්‍රමුඛත්වය ගන්නා ඊශ්‍රායෙල්වරුන්ගේ උත්තමයන් පිටට මහත් විපතක් පැමිණෙනු ඇත. ඔවුහු සියොන්හි විවේක සුවයෙන් කල් ගෙවති.+ සමාරිය කන්ද මත තමන් සුරක්ෂිතව සිටිනවායයි විශ්වාස කරති. ඊශ්‍රායෙල් ජනයා පිහිට පතා යන්නේ ඔවුන් වෙතටය.  කල්නේ නම් ස්ථානයට ගොස් බලන්න. ඉන්පසු ජනාකීර්ණ හමාත්+ නගරයටත් පිලිස්තිවරුන්ගේ ගාත්+ නගරයටත් ගොස් බලන්න. ඒ නගර ඔබේ රාජ්‍යයන්ට වඩා උසස්ද? ඔවුන්ගේ දේශය ඔබේ දේශයට වඩා විශාලද?+  ඔබ මතු පැමිණෙන විපත්ති දවස+ අමතක කරමින් සැහැසික ක්‍රියාවලට දිරි දෙන්නහුද?+  ඔබ ඇත්දළවලින් නිමැවූ යහන්වල සැතපෙන්නහුය.+ ඇඳන්වල වැතිර සිටින්නහුය. රැළෙන් ගත් බැටළුවන්ගේ හා තර කළ වස්සන්ගේ මස් කමින් ඔබ සුව සේ කල් ගෙවන්නහුය.+  දාවිත් මෙන් විවිධ සංගීත භාණ්ඩ+ සාදන ඔබ සංගීතය වාදනය කරමින් ගී පද ගොතන්නහුය.+  ඔබ විශාල බඳුන්වලින් වයින් බොන්නහුය.+ ඉස්තරම්ම තෙල්+ සිරුරේ ආලේප කරගන්නහුය. යෝසෙප්ගේ පෙළපතට සිදු වන විපත ගැන ඔබට කිසි ශෝකයක් දැනෙන්නේ නැත.+  “එබැවින් මුලින්ම දේශයෙන් පිටමං කරනු ලබන්නේ ඔබවය.+ එවිට ඔබ ගත කරන සැපවත් ජීවිතය නිමා වනු ඇත. ඝෝෂාකාරී උත්සවද අවසන් වනු ඇත.  “ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි වන මම මගේම නමින් දිවුරන්නෙමි.+ යාකොබ්ගේ උඩඟුකම මට පිළිකුලකි.+ ඔහුගේ රාජකීය බලකොටු දෙස බලන්නවත් මම කැමති නැත.+ ඒ නගරයත් එහි ඇති සියල්ලත් මම සතුරන්ගේ අතට භාර දෙන්නෙමි.+  නිවසක දහදෙනෙකු ඉතුරු වුවත් ඔවුන්වද විනාශ කර දමන්නෙමි.+ 10  ඔවුන්ගේ පියාගේ ඥාතියෙකු විසින් එම මළ සිරුරු එකිනෙක නිවසින් පිටතට ගෙනැවිත් දවා දමනු ඇත. එසේ කරන්නේ ඔවුන්ගේ ඇටකටු නිවස තුළ ඉතුරු නොවන පිණිසය.+ ඉන්පසු ඔහු නිවස ඇතුලේ සිටින තැනැත්තාගෙන්, “තව කවුරුත් ඔබ සමඟ සිටිනවාද” කියා අසනු ඇත. “මා සමඟ කිසිවෙක් නැත” කියා කාමරයේ සිටින තැනැත්තා කියන්නේය. එවිට ඔහු, “නිහඬ වන්න. යෙහෝවා දෙවිගේ නම කියා කන්නලව් කිරීමෙන් දැන් පලක් නැත” කියා පවසනු ඇත.’+ 11  “යෙහෝවා දෙවි අණ දෙන විට+ මාලිගා වැනි වූ විශාල නිවාස ගල් ගොඩක් බවට පත් වනු ඇත. කුඩා ගෙවල් දූවිලි ගොඩක් බවට පත් වනු ඇත.+ 12  “අශ්වයන්ට පර්වත පිට දුවන්න පුළුවන්ද? සීසාන පිණිස ගවයෙකුව පර්වතයක් උඩට ගෙන යනු ලබනවාද? ඔබ යුක්තිය ඉටු කර දෙනවා වෙනුවට ජනයාට හානියක් වන අයුරින් ඔබේ බලය යොදාගත්තහුය.* ඔබ ධර්මිෂ්ඨකමින් ක්‍රියා කරනවා වෙනුවට+ ජීවිතය තිත්ත වන තරමටම ජනයාට හිංසා පීඩා කළහුය.* 13  ‘අපේම උත්සාහයෙන් අපි බලවත් වුණෙමු’+ යයි කියමින් ඔබ සතුටු වූයේ නැද්ද? එහෙත් සිදු වී ඇත්තේ ඔබ ඔබවම රවටාගැනීමක් පමණි.+ 14  ‘ඊශ්‍රායෙල් ජනයෙනි, මම ඔබට විරුද්ධව සෙනඟක් එවන්නෙමි.+ ඔවුහු හමාත් නගරයට+ ඇතුල් වන ස්ථානයේ සිට අරබා ප්‍රදේශයේ දකුණු කෙළවරේ පිහිටි නිම්නය දක්වා තිබෙන මුළු පළාතම යටත් කරගෙන ඔබට පීඩා කරන්නෝය.’ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”

පාදසටහන්

මූ.අ., “යුක්තිය විෂ පැළෑටියක් බවට පත් කළෝය.”
මූ.අ., “ධර්මිෂ්ඨකම තිත්ත පැළෑටියක් බවට පත් කළෝය.”