ආමොස් 7:1-17

7  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තමා කිරීමට අදහස් කරන දේ මට පෙන්වූවේය. රජුගේ ප්‍රයෝජනය පිණිස පිදුරු එකතු කිරීමෙන් අනතුරුව නැවත වරක් බීජ වපුරන ලදි. දෙවන වරට වැපුරූ බීජ දලු ලන්න පටන්ගත් කාලයේදී දෙවි දේශය තුළට පළඟැටියන්ව එව්වේය.+ උන් රංචු පිටින් ඇවිත්  දේශයේ තිබූ සෑම පැළෑටියක්ම කා දැමුවෝය. එවිට මම මෙසේ කීවෙමි. “අනේ, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔවුන්ට සමාව දෙන්න.+ යාකොබ්ගේ පරම්පරාවෙන් ඉතුරු වී සිටින්නේ අතළොස්සක් පමණි!+ ඔවුන්ට පිහිට විය හැකි කිසිවෙක් ඔවුන් අතරේ නැත.”  එවිට ඔවුන් ගැන යෙහෝවා දෙවිට අනුකම්පාවක් ඇති විය.+ යෙහෝවා දෙවි මෙසේ කිවේය. “මම ඒ දේ සිදු වීමට ඉඩ නොදෙන්නෙමි.”  පසුව විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මට තවත් දෙයක් පෙන්වූවේය. විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තම සෙනඟ සමඟ උදහස් වී ගින්නක් එව්වේය.+ ඒ ගින්න වතුපිටි සියල්ල දවා ගැඹුරු දිය උල්පත් පවා සිඳ දැමුවේය.  එවිට මම මෙසේ කීවෙමි. “අනේ, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, එසේ කරන්න එපා.+ යාකොබ්ගේ පරම්පරාවෙන් ඉතුරු වී සිටින්නේ අතළොස්සක් පමණි!+ ඔවුන්ට පිහිට විය හැකි කිසිවෙක් ඔවුන් අතරේ නැත.”  එවිට ඔවුන් ගැන යෙහෝවා දෙවිට අනුකම්පාවක් ඇති විය.+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ කීවේය. “එසේනම් ඒ දේ සිදු වීමටත් මම ඉඩ නොදෙන්නෙමි.”  පසුව දෙවි තවත් දෙයක් මට පෙන්වූවේය. ලඹයකින්+ මැන බලා සෑදූ බිත්තියක් ළඟ යෙහෝවා දෙවි සිටිනවා මට පෙනිණ. ඔහුගේ අතේ ලඹයක් තිබිණ.  එවිට යෙහෝවා දෙවි, “ආමොස්, ඔබට පෙනෙන්නේ කුමක්ද” කියා මගෙන් ඇසීය. “මට ලඹයක් පෙනේ” කියා මම කීවෙමි. එවිට යෙහෝවා දෙවි මෙසේ කීවේය. “මම මේ ලඹය යොදාගෙන මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්ව සෝදිසි කර බලන්නෙමි.+ මේ වතාවේදී නම් මම ඔවුන්ට සමාව නොදෙන්නෙමි.+  ඊසාක්ගේ පූජනීය ස්ථාන+ විනාශ කරනු ලබන්නේය. ඊශ්‍රායෙල් සෙනඟගේ දේවාල+ වනසා දමනු ලබන්නේය.+ මම යෙරොබොවම්ගේ* පවුලට විරුද්ධව කඩුවක් රැගෙන එන්නෙමි.”+ 10  ඒ කාලයේදී බෙතෙල් නගරයේ+ සේවය කළ පූජක අමෂියා, ඊශ්‍රායෙල්හි රජු වූ යෙරොබොවම්ට+ මෙසේ දන්වා යැවීය. “ආමොස් ඊශ්‍රායෙල් සෙනඟ අතරට පැමිණ ඔබට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේය.+ ඔහු පවසන දේ ජනයාට දරාගත නොහැක.+ 11  ‘යෙරොබොවම් කඩුවෙන් මැරුම් කන්නේය. ඊශ්‍රායෙල්වරුන්ව අනිවාර්යයෙන්ම වෙනත් දේශයකට රැගෙන යනු ලබන්නේය’+ කියා ඔහු ජනයාට පවසයි.” 12  ඉන්පසු අමෂියා ආමොස්ට මෙසේ කීවේය. “ඔබ+ යූදා දේශයට ගොස් එහි අනාවැකි කියන්න. ඒ දේශයට වී කෑම බීම සොයාගන්න. 13  බෙතෙල් නගරය ශුද්ධස්ථානයක්. රාජධානියේ ප්‍රධාන පූජනීය ස්ථානය+ මෙයයි. ඒ නිසා බෙතෙල් නගරයේ තවදුරටත් අනාවැකි නොකියන්න.”+ 14  එවිට ආමොස් අමෂියා රජුට පිළිතුරු දෙමින් මෙසේ කීවේය. “මම අනාගතවක්තෘවරයෙකුවත් අනාගතවක්තෘවරයෙකුගේ පුත්‍රයෙකුවත් නොවෙමි.+ මම කලින් එඬේරෙකු+ ලෙසත් අත්තික්කා ගස් බලාගන්නෙකු ලෙසත් වැඩ කළෙමි. 15  මා බැටළු රැළ රැකබලා ගෙන සිටියදී යෙහෝවා දෙවි මාව කැඳෙව්වේය. ‘මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් අතරට ගොස් අනාවැකි කියන්න’+ කියා යෙහෝවා දෙවි මට කීවේය. 16  දැන් ඔබ යෙහෝවා දෙවි පැවසූ දේට ඇහුම්කන් දෙන්න. ‘“ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව අනාවැකි නොකියන්න”+ කියාත්, “ඊසාක්ගේ පෙළපතට විරුද්ධව වචනයක්වත් නොකියන්න”+ කියාත් ඔබ කී නිසා 17  යෙහෝවා දෙවි ඔබට මෙසේ කියන්නේය. “නගරයේදී ඔබේ බිරිඳට ගණිකාවකට මෙන් සලකනු ලබන්නේය.+ ඔබේ දූවරුද පුත්‍රයෝද කඩුවෙන් මැරුම් කන්නෝය. ඔබේ දේශය මැන අන්‍යයන්ට බෙදා දෙනු ලබන්නේය. ඊශ්‍රායෙල්වරුන්ව වෙනත් දේශයකට බලහත්කාරයෙන් රැගෙන යනු ලබන්නේය.+ ඔබ අපවිත්‍ර දේශයක මිය යනු ඇත.”’”+

පාදසටහන්

මෙහි සඳහන් කරන්නේ, දෙවන යෙරොබොවම් රජ ගැනයි. ඔහු යෝවාෂ්ගේ පුත්‍රයා විය. ආමො 1:1 බලන්න.