ආමොස් 8:1-14

8  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මට පලතුරු* කූඩයක් පෙන්වූවේය.+  එවිට දෙවි, “ආමොස්, ඔබට පෙනෙන්නේ කුමක්ද”+ කියා මගෙන් ඇසීය. “පලතුරු කූඩයක්* මට පෙනේ”+ කියා මම කීවෙමි. එවිට යෙහෝවා දෙවි මට මෙසේ කීවේය. “මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ අවසානය* ළංව තිබේ.+ මම තවදුරටත් ඔවුන්ට සමාව නොදෙන්නෙමි.+  ‘ඒ දවසේදී, දේවමාලිගාවේ සිට ගීතිකා ගයනවා වෙනුවට ඔවුහු විලාප නඟන්නෝය.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය. ‘ඒ දවසේදී දේශයේ සෑම තැනකම මළ කඳන් දක්නට ලැබෙයි.+ ඒ මළ කඳන් පිටතට විසි කර දමනු ඇත. එදින මුළු දේශයම නිහඬ වනු ඇත.’  “නිහතමානී, අසරණ අයව පාගා දමා+ ඔවුන්ව නැති කර දැමීමට මාන බලන දුෂ්ටයෙනි,+ ඇහුම්කන් දෙන්න.  ඔබ මෙසේ කියන්නහුය. ‘අපේ ධාන්‍ය* විකුණාගන්න+ නව සඳ පායන දවස පසු වන තුරුත්+ සබත් දවස ගෙවෙන තුරුත්+ අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු. ඒ දවස එන තුරු අපි හොර තරාදි ලෑස්ති කරගෙන බලා සිටිමු.+ එවිට බඩු හොරට කිරා වැඩි මිලකට විකුණන්න පුළුවන.+  රිදී කාසි කිහිපයකට දුප්පතෙකුව මිල දී ගන්නත් පාවහන් කුට්ටමක මිලට දිලිඳෙකුව මිල දී ගන්නත් පුළුවන. ධාන්‍ය වෙනුවට රොඩු විකුණන්නත් පුළුවන.’+  “යාකොබ්ගේ තේජස වන යෙහෝවා දෙවි තමාගේ නාමයෙන් මෙසේ දිවුරා තිබේ.+ ‘ඔවුන් කරන සෑම දෙයක්ම මම අමතක නොකරන්නෙමි.+  ඔවුන්ගේ ක්‍රියා නිසා මුළු දේශයම කැලඹෙනු ඇත.+ එහි සියලු වැසියෝ වැලපෙනු ඇත.+ ඔවුහු සියලුදෙනා ඊජිප්තුවේ නයිල් ගඟ මෙන් කැලඹී පහව යන්නෝය.’+  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඒ දවසේදී, මම මධ්‍යාහ්න වේලාවේදී ඉර බැස යන්න සලස්වන්නෙමි.+ මහ දවාලේදී දේශය අන්ධකාරයෙන් වැසී යන්න සලස්වන්නෙමි. 10  ඔබේ උත්සව දවස්වලදී ඔබට වැලපෙන්න සිදු වෙයි.+ ඔබේ ගීතිකා විලාප ගීවලට හරවන්නෙමි. සියල්ලන්ටම ගෝණි රෙදි අඳින්නත් හිස මුඩු කරගන්නත් සලස්වන්නෙමි.+ එකම පුතා මිය ගිය කෙනෙකු වැලපෙන්නාක් මෙන් ඔබත් වැලපෙනු ඇත.+ ඒ දවස ඉතා දුක්මුසු දවසක් වනු ඇත.’ 11  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මම මේ දේශය තුළ සාගතයක් ඇති කරන්නෙමි. එය කෑම හිඟයක් නිසාවත් වතුර හිඟයක් නිසාවත් ඇති වන සාගතයක් නොව යෙහෝවා දෙවි වන මාගේ වචන අසන්න නොලැබීම නිසා ඇති වන සාගතයකි.+ 12  ඒ දිනයේදී මිනිස්සු යෙහෝවා දෙවි වන මාගේ වචනය සොයමින් එක මුහුදක සිට තවත් මුහුදක් දක්වාද උතුරේ සිට නැඟෙනහිර දක්වාද ඒ මේ අත දුවන්නෝය. නමුත් ඔවුන්ට කොතැනකදීවත් එය සොයාගැනීමට ලැබෙන්නේ නැත.+ 13  ඒ දවසේදී ඇති වන පිපාසය නිසා+ රුවැති කන්‍යාවෝද තරුණයෝද ක්ලාන්ත වී වැටෙන්නෝය. 14  “දාන්, ඔබේ දෙවියන් ජීවමානයි!+ බෙයර්-ෂෙබා, ඔබේ මාවත් සැමදා පවතිනු ඇත”+ කියමින් සමාරියේ බොරු දෙවිවරුන්ගේ නම්වලින් දිවුරන ඒ සියලුදෙනා+ වැටී විනාශ වී යන්නෝය.’”+

පාදසටහන්

මූ.අ., “ගිම්හාන පලතුරු.” මෙය විශේෂයෙන්ම යොමු දක්වන්නේ, අත්තික්කාවලටය. සමහරවිට රටඉඳිත් ඊට ඇතුළත් විය හැකියි.
මූ.අ., “ගිම්හාන පලතුරු.” මෙහි භාවිත කර ඇති ‘කායිට්ස්’ නම් හෙබ්‍රෙව් වචනය භාවිත කරන්නේ, අවුරුද්දේ අන්තිම අස්වැන්න සඳහාය.
“අවසානය” යන අර්ථය ඇති ‘හාකෙට්ස්’ නම් හෙබ්‍රෙව් වචනය හා, “ගිම්හාන පලතුරු” යන අර්ථය ඇති ‘කායිට්ස්’ නම් වචනය අතර යම් සමානකමක් ඇත.
සමහරවිට තිරිඟු හෝ බාර්ලි විය හැක.