එස්තර් 8:1-17

8  එදින අහෂ්වේරොෂ් රජ, යුදෙව්වරුන්ට සතුරුකම් කළ+ හාමාන්ගේ නිවස එස්තර් බිසවට භාර දුන්නේය.+ මොර්දෙකයි හා තමා අතර ඇති නෑකම එස්තර් බිසව රජුට පැවසූ පසු, රජ මොර්දෙකයිව තමා ඉදිරියට කැඳවීය.+  රජ තම මුද්ද*+ ගලවා මොර්දෙකයිට දුන්නේය. රජ එම මුද්ද, කලින් හාමාන්ට දී තිබුණත් එය ආපසු ඔහුගෙන් ගෙන තිබිණ. එස්තර් බිසව හාමාන්ගේ නිවස මොර්දෙකයිගේ භාරයේ තැබුවාය.+  පසුව ආගග්ගෙන් පැවත ආ හාමාන්, යුදෙව්වරුන්ට නපුරක් කිරීමේ අටියෙන්+ කළ කුමන්ත්‍රණය+ නිෂ්ප්‍රභ කරන ලෙස+ එස්තර් බිසව රජුගේ පාමුල වැටී කන්නලව් කළාය.+ බිසව රජු ඉදිරියේ හඬමින් රජුගේ කරුණාව අයැදුවාය.  එවිට රජ තම රන් යෂ්ටිය+ එස්තර් බිසව වෙතට දිගු කළේය. එස්තර් බිසව නැඟිට රජු ඉදිරියේ සිටගෙන,  රජුට මෙසේ කීවාය. “රජතුමනි, ඔබේ කරුණාව මා දිනාගෙන තිබේ නම්,+ මා ඔබෙන් ඉල්ලන දේ සාධාරණයි කියා ඔබට සිතෙනවා නම්, එය ඉටු කර දීමට ඔබ සතුටු නම්, මගේ මේ ඉල්ලීම ඉටු කරන්න. ආගග්ගෙන්+ පැවත ආ හම්මෙදාතාගේ පුත් හාමාන්, රාජධානියේ සෑම පළාතකම+ ජීවත් වන යුදෙව්වරුන්ව විනාශ කර දැමීමේ අටියෙන්+ කූට ලෙස නීතියක් පනවා එය ලිඛිතව දැනුම් දී තිබෙනවා.+ එහෙයින් රජතුමනි, මා ඔබෙන් ඉල්ලන්නේ ඒ නීතිය අවලංගු කර දැමීමට ලිපියක් යවන ලෙසයි.  මගේ සෙනඟ පිටට පැමිණෙන්න යන විපත්තිය දැක දැකත් මම එය ඉවසාගෙන ඉන්නේ කොහොමද? මගේ නෑදෑයන් විනාශ වෙද්දී මම එය කොහොම දරාගන්නද!”  එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් බිසවට හා යුදෙව් ජාතික මොර්දෙකයිට මෙසේ කීවේය. “හාමාන් යුදෙව්වරුන්ට විරුද්ධව කුමන්ත්‍රණය කළ නිසා ඔහුව කණුවක එල්ලා දැමීමට+ මම නියම කළා. ඔහුගේ නිවස මම එස්තර් බිසවට භාර දුන්නා.+  දැන් ඔබ, යුදෙව්වරුන්ගේ යහපත වෙනුවෙන් සුදුසුයි කියා සිතෙන දෙයක් රජුගේ නමින් ලියා+ රජුගේ මුද්දෙන් මුද්‍රා කරන්න. මන්ද යම් ලියවිල්ලක් රජුගේ නමින් ලියා රජුගේ මුද්දෙන් මුද්‍රා කළොත් එහි සඳහන් දේ කිසිම කෙනෙකුට අවලංගු කරන්න බැහැ.”+  තුන්වන මාසයේ එනම්, සීවාන් මාසයේ විසිතුන්වනදා රජුගේ ලේකම්වරුන්ව+ කැඳවීය. මොර්දෙකයි අණ කළ සියල්ල ලේකම්වරුන් ලවා ලියවිල්ලක ලියා යුදෙව්වරුන්ටත් දිසාපතීන්ටත්+ ආණ්ඩුකාරයන්ටත් යවන ලදි. එමෙන්ම ඉන්දියාවේ සිට ඉතියෝපියාව දක්වා තිබූ සියලු පළාත්වල එනම්, පළාත් එකසිය විසිහතක+ වෙසෙන අධිපතීන්ටද එය යවන ලදි. ඒ ඒ පළාත්වල ජීවත් වූ සෙනඟගේ භාෂාවලින්+ හා ඔවුන්ට කියවිය හැකි අකුරුවලින් ඒවා ලියන ලදි.+ යුදෙව්වරුන්ට යැවූ ලියවිල්ල ලියන ලද්දේ ඔවුන්ගේම භාෂාවෙන් හා ඔවුන්ට කියවිය හැකි අකුරුවලින්ය.+ 10  මොර්දෙකයි ඒ ලියවිලි අහෂ්වේරොෂ් රජුගේ නමින් ලියා+ රජුගේ මුද්දෙන්+ මුද්‍රා තබා+ රජුගේ සේවාවන් සඳහාම යොදාගත්, ඉතා වේගවත් අශ්වයන් පිට නැඟ යන පණිවිඩකරුවන් අතේ යැව්වේය.+ 11  සෑම නුවරකම ජීවත් වූ යුදෙව්වරුන්ට තම ජීවිත රැකගැනීම සඳහා සංවිධානය වීමට+ රජු අවසර දෙන බව එම ලියවිල්ලේ සඳහන් විය. යුදෙව්වරුන්ට දුෂ්ටකම් කරන පිණිස නැඟී සිටින, ඕනෑම පළාතක වෙසෙන ජන පිරිසක්ව+ ඔවුන්ගේ භාර්යාවන් හා දරුවන් සමඟ සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමටත් ඔවුන්ගේ දේපළ පැහැරගැනීමටත්+ රජු යුදෙව්වරුන්ට අවසර දෙන බව එම ලියවිල්ලේ සඳහන් විය. 12  අහෂ්වේරොෂ් රජු යටතේ තිබූ සෑම පළාතක්ම එකම දවසක+ එනම්, දොළොස්වන මාසය වන ආදාර් මාසයේ+ දහතුන්වනදා+ එසේ කළ යුතු බවද එහි සඳහන් විය. 13  ලියවිල්ලේ සඳහන් දේ සෑම පළාතකම ජීවත් වූ සෙනඟට දන්වන ලදි.+ මන්ද එහි සඳහන් දේ නීතියක් ලෙස පිළිපැදිය යුතු විය. එමෙන්ම යුදෙව්වරුන්ටද ඒ දවසේදී තම සතුරන්ට විරුද්ධව පියවර ගැනීමට සූදානම් වන පිණිස එසේ කරන ලදි.+ 14  රජු අණ කළ ලෙස පණිවිඩකරුවෝ+ එම ලිපි රැගෙන රජුගේ සේවාවන් සඳහාම යොදාගත් වේගවත් අශ්වයන් පිට නැඟී පිටත්ව ගියෝය.+ ෂූෂන් මාලිගාවේද+ එම නීතිය ගැන දැනුම් දෙන ලදි. 15  මොර්දෙකයි නිල් පැහැති රෙදිවලින් හා ලිනන් රෙදිවලින් නිමැවූ රාජ වස්ත්‍රයක්ද+ රත්නිල් පැහැගැන්වූ+ ලොම්වලින් නිමැවූ අනර්ඝ සළුවක්ද+ රන් ඔටුන්නක්ද පැළඳ, රජු ඉදිරියෙන් පිටතට ගියේය. ෂූෂන් නුවරෙහි වැසියෝ ප්‍රීති ඝෝෂා නැඟුවෝය.+ 16  මන්ද එහි සිටි යුදෙව්වරුන්ට මහත් බලාපොරොත්තුවක්ද ගෞරවයක්ද ලැබිණ. ඔවුන්ගේ ප්‍රීතිය බොහෝ සෙයින් වැඩි විය.+ 17  රජු පැනවූ නීතිය ගැන ප්‍රකාශ කළ සෑම පළාතකම හා සෑම නුවරකම ජීවත් වූ යුදෙව්වරුද එදින බොහෝ සෙයින් ප්‍රීති වෙමින් උත්සව පැවැත්වූහ.+ යුදෙව්වරුන්ට භය වූ+ ජනයාගෙන් බොහෝදෙනෙක්+ තමන් යුදෙව්වරුන් බව කියා සිටියෝය.+

පාදසටහන්

මූ.අ., “මුද්‍රා තබන මුද්ද.”