ගණන් කතාව 12:1-16

12  මෝසෙස් කූෂ් ජාතික ස්ත්‍රියක සමඟ විවාහ වී සිටි නිසා මිරියම් සහ ආරොන් ඔහු ගැන විවේචනාත්මක ලෙස කතා කළෝය.+  “යෙහෝවා දෙවි කතා කරන්නේ මෝසෙස් මාර්ගයෙන් විතරද? අපි මාර්ගයෙනුත් දෙවි කතා කරන්නේ නැද්ද”+ කියමින් ඔවුහු කොඳුරන්න පටන්ගත්තෝය. ඔවුන් පැවසූ දේට යෙහෝවා දෙවි සවන් දීගෙන සිටියේය.+  පොළොවේ ජීවත් වූ අන් සියලු මනුෂ්‍යයන්ට වඩා මෝසෙස් මෘදු ගුණැති+ කෙනෙක් විය.  යෙහෝවා දෙවි මෝසෙස්ට, ආරොන්ට හා මිරියම්ට ඒ මොහොතේම කතා කර “ඔබ තිදෙනාම සම්මුඛ වීමේ කූඩාරම ළඟට දැන්මම යන්න” කියා කීවේය. ඔවුහුද එතැනට ගියෝය.  වලා ටැඹ+ තුළින් යෙහෝවා දෙවි සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයට පැමිණ ආරොන්ට හා මිරියම්ට ඉදිරියට එන්න කියා කීවේය. ඔවුහුද ගියෝය.  ඉන්පසු දෙවි ඔවුන්ට මෙසේ කීවේය. “දැන් මම කියන දේට හොඳින් සවන් දෙන්න. මීට පෙරත් යෙහෝවා දෙවි වන මාව නියෝජනය කළ අනාගතවක්තෘවරු ඔබ අතරේ සිටි නමුත් ඔවුන්ට මා ගැන තොරතුරු දැන්නුවේ දර්ශන+ මාර්ගයෙනි. මම ඔවුන්ට කතා කළේ සිහින+ මාර්ගයෙනි.  මගේ සේවකයා වන මෝසෙස්+ සමඟ මම කටයුතු කරන්නේ එලෙස නොවෙයි. විශ්වාසයෙන් යුතුව මම මාගේ මුළු සෙනඟව*+ ඔහුට භාර දුන්නෙමි.  වෙනත් මාර්ගවලින් නොව මම ඔහු සමඟ කෙළින්ම කතා කරමි.+ කිව යුතු දේ පැහැදිලිව ඔහුට ප්‍රකාශ කරමි.+ ඒ විතරක් නොවෙයි, යෙහෝවා දෙවි වන මම ඔහු ඉදිරියේ පෙනී සිටිමි.+ එසේනම් මාගේ සේවකයා වන මෝසෙස් ගැන විවේචනාත්මකව කතා කරන්න තරම් ඔබ එඩිතර වුණේ කොහොමද?”+  යෙහෝවා දෙවි ඔවුන් සමඟ මහත් සේ උදහස් වී එතැනින් පිටත්ව ගියේය. 10  කූඩාරමට ඉහළින් තිබූ වලා ටැඹද එතැනින් අහක්ව ගියේය. ආරොන් හැරී බලන විට මිරියම්ගේ ඇඟ පුරා කුෂ්ඨයක්*+ හටගෙන තිබිණ. එය හිම මෙන් සුදට පෙනෙන්න තිබිණ.+ 11  එවිට ආරොන් මෝසෙස්ට මෙසේ කීවේය. “අනේ මගේ ස්වාමීනි, අප මෝඩකමට කළ මේ දේ පාපයක් ලෙස සලකන්න එපා.+ 12  මව්කුසෙන් පිටතට ආ මළ දරුවෙක් මෙන් මේ රෝගය නිසා මිරියම්ගේ ශරීරය කුණු වී යන්න ඉඩ දෙන්න එපා.”+ 13  එවිට මෝසෙස් යෙහෝවා දෙවිට මෙසේ කන්නලව් කළේය. “අනේ දෙවියනි, ඇයට සුවය ලබා දෙන්න.”+ 14  යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඇගේ පියා ඇගේ මූණට කෙළ ගැසුවා නම්+ දවස් හතක් යන තුරු ඇය ලැජ්ජාවෙන් සිටිය යුතුයි. එමනිසා දවස් හතක් යන තෙක් ඇයට කඳවුරෙන්+ පිටතට වී+ සිටින්න කියා කියන්න. දවස් හතක් ගත වූ පසු ඇයට කඳවුරට එන්න පුළුවන.”+ 15  එබැවින් මිරියම්ව දවස් හතකට කඳවුරෙන් පිටතට යවන ලදි.+ එම දවස් හත අවසන් වන තෙක් සෙනඟ එම ස්ථානයෙන් පිටත්ව ගියේ නැත. 16  ඉන්පසු සෙනඟ හෂේරොත්+ සිට පාරාන් පාළුකරය+ දක්වා ගමන් කර එහි කඳවුරු බැඳගත්තෝය.

පාදසටහන්

මූ.අ., “මුළු ගෘහයම.”
හෝ, “ලාදුරු රෝගය.”