ද්විතීය කතාව 11:1-32

11  “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ ප්‍රේම කළ යුතුයි.+ ඔබ නිතරම දෙවිගේ අණපනත් හා තීන්දු+ පිළිපදිමින් ඔහුට පොරොන්දු වූ සෑම දෙයක්ම එලෙසම ඉටු කරන්න.  මම දැන් මතක් කර දෙන කාරණා ඔබ හොඳින්ම දන්නවා. (මම අද කතා කරන්නේ ඔබේ දරුවන්ට නොව ඔබටයි. මන්ද යෙහෝවා දෙවි තම සෙනඟව හික්මවන ආකාරය ඔවුන් අද්දැක නැහැ.+ දෙවිගේ තේජස+ හා අතිමහත් බලයවත්,+  ඊජිප්තුවේදී පාරාවෝ හා ඔහුගේ මුළු සෙනඟ ඉදිරියේ දෙවි කළ පුදුම දේවල්වත් ඔවුන් දුටුවේ නැහැ.+  පාරාවෝ තම සේනාව සමඟ ඊශ්‍රායෙල් සෙනඟ ලුහුබැඳ ආ විට,+ යෙහෝවා දෙවි ඊජිප්තුවේ මුළු අශ්ව රථ සේනාවම රතු මුහුදේ ජලයෙන් යට කර විනාශ කර දැමූ ආකාරයත්+ ඔවුන් දුටුවේ නැහැ.  ඔබ පාළුකරයේ ගමන් කළ මුළු කාලය පුරාම දෙවි ඔබ වෙනුවෙන් කළ දේවල් ඔවුන් අද්දැක්කේ නැහැ.  රූබෙන්ගේ පුත් එලියාබ්ගේ පුත්‍රයන් වන දාතාන් හා අබිරාම්ටද+ ඔවුන්ගේ පවුල්වලටද ඔවුන් ජීවත් වූ කූඩාරම්වලටද ඔවුන්ගේ පැත්ත ගත් සියලු ඊශ්‍රායෙල්වරුන්ටද දෙවි කළ දේ ඔබේ දරුවන් දුටුවේ නැහැ. එදා පොළොව දෙබෑ වී ඔවුන් සියලුදෙනාවම ගිලගත් ආකාරය ඔවුන් දැක්කේ නැහැ.)+  නමුත් ඔබ යෙහෝවා දෙවි කළ මේ සෑම පුදුම ක්‍රියාවක්ම ඔබේ ඇස් දෙකෙන්ම දැක්කා.+  “අද මා ඔබට අණ කරන මේ සියලු දේවල්+ ඒ විදිහටම පිළිපදින්න. එවිට ගඟෙන් එගොඩ තිබෙන ඒ දේශය අල්ලාගන්න අවශ්‍ය ධෛර්යය ඔබට ලැබෙයි.+  එසේම යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන්ට හා ඔවුන්ගේ දරු මුනුපුරන්ට පොරොන්දු වූ+ කිරියෙන් හා පැණියෙන්+ ඉතිරී යන ඒ දේශයේ ඔබට බොහෝ කාලයක් ජීවත් වෙන්න ලැබෙයි.+ 10  “ඒ දේශය ඔබ වහලුන්ව සිටි ඊජිප්තු දේශය වගේ නොවෙයි. ඊජිප්තුවේදී ඔබට සිදු වුණා දහඩිය මහන්සියෙන් බීජ වපුරන්න. ඔබේ එළවළු වතුවලට අවශ්‍ය වතුර සපයන්න පවා ඔබට වෙහෙසෙන්න* සිදු වුණා. 11  නමුත් ඔබ අයිති කරගන්න යන දේශය නිසි කලට වැසි ලැබෙන, කඳු හෙල් හා තැනිතලාවලින්+ නොඅඩු දේශයක්. 12  යෙහෝවා දෙවි ඒ දේශය ආදරයෙන් රැකබලා ගන්නවා. අවුරුද්ද පුරාම යෙහෝවා දෙවි ඒ දේශය දෙස බලාගෙනයි+ සිටින්නේ. 13  “මා අද ඔබට කියා දෙන මේ අණපනත්වලින්+ එකක්වත් කඩ නොකර ඒවාට කීකරු වෙන්න. ඔබ යෙහෝවා දෙවිට ප්‍රේම කර මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න. ඔබේ මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කරන්න.+ 14  ඔබ එසේ කළොත් ඔබට හිමි වන දේශයට දෙවි නියම කාලයේදී+ එනම්, වසන්ත සමයේ හා සරත් සමයේදී වැසි ලබා දෙයි.+ අස්වැන්න නෙළන කාලයේදී ඔබට ධාන්‍ය බහුලව එකතු කරගත හැකි වන අතර අලුත් වයින්වත් තෙල්වත් ඔබට කිසි දිනක හිඟ වෙන්නේ නැහැ. 15  හොඳින් කා බී සතුටින් සිටින්න ඔබට හැකි වන අතර+ දෙවි ඔබ ඇති කරන සතුන්ටද ඇති තරම් ආහාර ලබා දෙයි.+ 16  නමුත් කල්පනාකාරී වන්න. ඔබේ සිත ඔබව නොමඟ යවන්න ඉඩ තිබෙනවා.+ එහෙම වුණොත් ඔබ දෙවිගෙන් ඈත් වී වෙනත් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටී නමස්කාර කරයි.+ 17  එසේ කළොත් යෙහෝවා දෙවිගේ උදහස ඔබට විරුද්ධව ඇවිළී ඔහු අහසේ කවුළු වසා දමයි. එවිට ඔබට අවශ්‍ය වැස්ස හා භූමියෙන් නිසි පලදාව නොලැබෙයි.+ යෙහෝවා දෙවි ඔබට ලබා දෙන ඒ සරුසාර දේශය ඔබට  ඉක්මනින්ම අහිමි වී ඔබත් විනාශ වී යයි.+ 18  “මා ඔබට කියා දෙන මේ වචන ඔබේ සිතට ගන්න.+ ඒවා ඔබේ ජීවිතයට අදාළ කරගන්න. ඒවා ඔබේ අතෙත් නළලෙත් බැඳගන්න.+ 19  ඔබ ඒ දේවල් ඔබේ දූපුතුන්ට ඉගැන්විය යුතුයි. ඔබ නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවෙන් සිටින විටත් අවදි වන විටත් ඒ දේවල් ඔවුන් සමඟ කතාබහ කරන්න.+ 20  ඒ දේවල් ඔබේ නිවසේ උළුවහුවලත් නුවරේ දොරටුවලත් ලියා තබන්න.+ 21  ඔබ එසේ කළොත් යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ ඒ දේශයේ+ බොහෝ කල් ජීවත් වෙන්න ඔබටත් ඔබේ දරුදැරියන්ටත් හැකි වෙයි.+ අහස පොළොව පවතින තාක් කල්+ ඔබත් ඒ දේශයේ පදිංචි වී සිටියි. 22  “මා ඔබට කියා දෙන මේ අණපනත්වලින්+ එකක්වත් කඩ නොකර ඒවා පිළිපැදීමට වගබලා ගන්න. එසේම ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කර+ ඔහුගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න+ නිතරම උත්සාහ කරන්න. නිතරම ඔහු මත රඳා සිටින්න.+ ඔබ එසේ කළොත් 23  යෙහෝවා දෙවි ඒ දේශයේ සිටින ජාතීන්ව පලවාහැර ඔබට එය ලබා දෙයි.+ ඔබටත් වඩා බලවත් ඒ ජාතීන්ව දේශයෙන් පන්නා දමන්න ඔබට පුළුවන් වෙයි.+ 24  ඔබ පා තබන සෑම ප්‍රදේශයක්ම ඔබට හිමි වෙයි.+ ඔබේ දේශ සීමාව පාළුකරයේ සිට ලෙබනොන් දේශය දක්වාත් යුප්‍රටීස් ගඟ සිට බස්නාහිර දෙසට පිහිටි මුහුද දක්වාත් විහිදී යයි.+ 25  ඔබට විරුද්ධව නැඟී සිටින කිසිම කෙනෙක් සාර්ථක වෙන්නේ නැහැ.+ ඔබට පොරොන්දු වූ ලෙසම ඔබ ඒ දේශයේ වැසියන් අතරට යන්නත් කලින්ම ඔවුන් යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන අසා භයෙන් වෙවුලයි.+ 26  “ඊශ්‍රායෙල්වරුනි, ආශීර්වාද හා ශාප ගැන යමක් මා ඔබට දැන් පවසන්නම්.+ 27  අද මම ඔබට කියා දෙන ඔබේ දෙවි වන යෙහෝවාගේ සියලු අණපනත්වලට ඔබ කීකරු වුණොත් ඔබට ආශීර්වාද ලැබෙයි.+ 28  නමුත් ඔබ යෙහෝවා දෙවිගේ අණපනත්වලට අකීකරු වී,+ මා ඔබට ලබා දෙන මඟ පෙන්වීම් නොසලකාහැර ඔබ නොදන්නා වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළොත් ඔබට අත් විඳින්න සිදු වෙන්නේ ශාප+ පමණයි. 29  “ඔබට හිමි වන දේශයට යෙහෝවා දෙවි ඔබව රැගෙන ගිය පසු+ ඔබ ගෙරිසීම් කන්ද පාමුල සිට ඒ ආශීර්වාද ගැනත්+ ඒබාල් කන්ද පාමුල සිට ඒ ශාප ගැනත්+ සියලුදෙනාට ඇසෙන සේ ප්‍රකාශයක් කළ යුතුයි. 30  මෙම කඳු දෙක පිහිටා තිබෙන්නේ යොර්දාන් ගඟට බස්නාහිර දෙසින් ජීවත් වන කානානිවරුන්ගේ දේශයේයි. අරබා+ ප්‍රදේශයේ තිබෙන ගිල්ගාල්+ නුවරට නුදුරින් මොරේගේ+ විශාල ගස් අසල ඒ කඳු දැකගන්න පුළුවන්. 31  ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වන්නේ යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශය හිමි කරගන්නයි. එමනිසා ඔබ එය යටත් කරගෙන එහි පදිංචි වෙන්න.+ 32  එහි පදිංචි වූ පසුත් මා අද ඔබට කියා දෙන නීතිරීති හා තීන්දු+ සියල්ලම පිළිපැදීමට වගබලා ගත යුතුයි.+

පාදසටහන්

ඇතැම්විට ජල රෝද පෑගීමෙන් හෝ දිය අගල් කැපීමෙන් හෝ ඔවුන් වතුර සපයාගන්න ඇති.