ද්විතීය කතාව 19:1-21

19  “යෙහෝවා දෙවි ඔබට උරුම කර දෙන දේශයේ ජීවත් වන ජාතීන්ව ඔබ යෙහෝවා දෙවිගේ උපකාරයෙන් පන්නා දමයි.+ ඉන්පසු එහි නුවරවල හා නිවෙස්වල පදිංචි වෙන්න ඔබට පුළුවන්.+  යෙහෝවා දෙවි ඔබට හිමි කර දෙන එම දේශයේ ඔබ පදිංචි වූ පසු එහි ඇති නුවරවල් තුනක් වෙන් කරන්න.+  මෙසේ, යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශය කොටස් තුනකට බෙදා ඒ නුවරවලට පහසුවෙන් යෑමට හැකි වන පිණිස මාර්ගද පිළියෙල කළ යුතුය. ඔබ එසේ කළ යුත්තේ යම් පුද්ගලයෙක් අතින් කෙනෙකු මිය ගියොත් ඒ පුද්ගලයාට ඉන් එක් නුවරකට පලා යෑමට හැකි වන පිණිසයි.+  “එවැනි පුද්ගලයෙකුට පලා ගොස් එම නුවරක රැඳී සිටීමට හැකි වන්නේ මෙවැනි අවස්ථාවකදී පමණයි. ඒ පුද්ගලයා අතින් මිය ගිය තැනැත්තා මිය ගියේ අත්වැරදීමකින් නම් එසේම ඒ තැනැත්තා සමඟ ඔහුට කිසිම අමනාපයක් නොතිබුණු බවට සාක්ෂි ඇත්නම් ඔහුට එම නුවරකට පලා ගොස් එහි දිගටම රැඳී සිටිය හැකියි.+  උදාහරණයකට කෙනෙක් තම මිතුරෙක් සමඟ එක්ව දර කැපීම සඳහා කැලෑවට යනවා කියා සිතන්න. ඒ තැනැත්තා දර කපමින් සිටින අතරතුර පොරෝ තලය ගැලවී+ තම මිතුරාට වැදී ඔහු මිය ගියොත් ඒ තැනැත්තාට එම නුවරකට පලා ගොස් එහි ජීවත් විය හැකියි.+  මිය ගිය පුද්ගලයා සමඟ ඔහුට කිසි අමනාපයක් නොතිබුණ නිසාත් එය හිතාමතාම කළ දෙයක් නොවන නිසාත් ඔහුව මරා දැමීමට තරම් වරදක් ඔහු සිදු කර නැහැ.+ නමුත් ඔබ එවැනි නුවරවල් වෙන් කළේ නැත්නම් මරණය සිදු කළ තැනැත්තාට බොහෝ ඈතකට පලා යන්න සිදු වෙයි. එසේ පලා යන අතරේ ඔහුව මරා දැමීමට අයිතිය ඇති තැනැත්තා+ ඔහු පසුපස මහත් කෝපයකින් ලුහුබැඳ ඔහුව අල්ලාගෙන මරා දමන්න ඉඩ තිබෙනවා. එවිට ඔහු මිය යන්නේ නිරපරාදෙයි.  ‘ඔබ නුවරවල් තුනක් වෙන් කරගත යුතුයි’+ කියා මා අණ කරන්නේ ඒ නිසයි.  “ඔබට හිමි වන ප්‍රදේශය තවත් පුළුල් කරමින්+ යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ සම්පූර්ණ දේශයම හිමි කරගන්න ඔබට හැකියාව තිබෙනවා.+  ඔබට එසේ කළ හැකි වන්නේ මා අද ඔබට කියා දෙන සියලුම අණපනත් පිළිපදිමින්, යෙහෝවා දෙවිට ප්‍රේම කර ඔහුගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙනවා නම් පමණයි.+ එසේ මුළු දේශයම හිමි කරගන්න ඔබට හැකි වුණොත් මුල් නුවරවල් තුනට අමතරව තවත් නුවරවල් තුනක් ඔබ වෙන් කළ යුතුයි.+ 10  ඔබ එසේ කළ යුත්තේ යෙහෝවා දෙවි ඔබට උරුමයක් ලෙස ලබා දෙන දේශයේදී නිරපරාදේ අහිංසක කෙනෙකුගේ ලේ+ නොවගුරුවන පිණිසයි. නමුත් කෙනෙකුව නිකරුණේ මරා දැමුවොත් ඔහුගේ ලේවලට වග කිව යුත්තේ ඔබයි.+ 11  “නමුත් මිනිසෙක් යම් පුද්ගලයෙකුට වෛර කරමින්+ ඔහුව හිතාමතාම මරා දැමුවා කියා සිතමු. ඔහු මඟ රැක සිට ඒ පුද්ගලයාට පහර දී ඔහුව මරා දැමූ පසු+ ඒ එක් නුවරකට පලා ගියොත් 12  එම නුවරේ සිටින වැඩිමහල්ලන්, ඔහුව මරා දැමීමට අයිතිය ඇති තැනැත්තාට ඔහුව භාර දිය යුතුයි. ඒ තැනැත්තා ඔහුව මරා දැමිය යුතුයි.+ 13  එවැනි කෙනෙකුට කිසිම අනුකම්පාවක් නොපෙන්වන්න.+ කිසි වරදක් නොකළ කෙනෙකුගේ ලේ වැගිරෙවූ ඔහුව මරා දමා ඒ වරදින් නිදහස් වෙන්න.+ ඔබ එසේ කළේ නැත්නම් ඒ වරදට මුළු ඊශ්‍රායෙල් සෙනඟටම වගකියන්න සිදු වෙයි. 14  “යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශය ඔබට උරුම වූ පසු, ඔබේ මුතුන්මිත්තන් විසින් බෙදා වෙන් කරනු ලැබූ ඉඩම්වල මායිම් වෙනස් නොකිරීමට වගබලා ගන්න. ඔබේ වාසිය තකා ඔබේ අසල්වාසියාගේ ඉඩමේ මායිම වෙනස් නොකළ යුතුයි.+ 15  “යම් කෙනෙක් අතින් යම් වරදක් හෝ පාපයක් සිදු වුණොත්+ ඔහුව වරදකරුවෙකු ලෙස තීන්දු කිරීමට එක් කෙනෙකුගේ සාක්ෂිය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් ඒ කාරණය ස්ථිර කළ යුතුයි.+ 16  කෙනෙක් යම් පුද්ගලයෙකුට හානියක් කිරීමේ අදහසින් ඔහු වරදක් කළ බවට බොරු චෝදනාවක් කරයි නම්+ 17  ඒ දෙදෙනාම යෙහෝවා දෙවිව නියෝජනය කරන පූජකයන් හා විනිශ්චයකරුවන් ඉදිරියේ පෙනී සිටිය යුතුයි.+ 18  විනිශ්චයකරුවන් ඒ කාරණය ගැන හොඳින් සොයා බැලිය යුතුයි.+ චෝදනාව කළ තැනැත්තා තම සහෝදරයාට විරුද්ධව බොරු චෝදනාවක් කර ඇති බව ඔප්පු වෙනවා නම් 19  ඔබ අතරේ එවැනි දුෂ්ටකමක් පැවතීමට කොහෙත්ම ඉඩ නොදිය යුතුයි.+ ඒ තැනැත්තා තමාගේ සහෝදරයා පිටට ගෙන ඒමට උත්සාහ කළ දඬුවමම ඔහුට ලබා දෙන්න.+ 20  එවිට ජනයාට ඒ ගැන ආරංචි වී ඔවුන් තුළ බියක් ඇති වෙයි. ඒ නිසා ඔබ අතරේ එවැනි දුෂ්ට දෙයක් නැවත කිසිදා සිදු නොවෙයි.+ 21  එවැනි කෙනෙකුට කිසිම විදිහකින් අනුකම්පාව පෙන්වන්න එපා.+ ජීවිතයකට ජීවිතයක්, ඇසකට ඇසක්, දතකට දතක්, අතකට අතක්, පයකට පයක් යන ප්‍රතිපත්තියට අනුව ඔහුට ප්‍රතිඵල දෙන්න.+

පාදසටහන්