ද්විතීය කතාව 26:1-19

26  “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට උරුම කර දෙන දේශයට ගොස් පදිංචි වූ පසු,+  යෙහෝවා දෙවි ඔබට ලබා දී තිබෙන ඒ දේශයෙන් නෙළාගන්නා මුල්ම පලදාවෙන් කොටසක්+ වෙන් කරගන්න. ඒ වෙන් කරගත් කොටස කූඩයක දමා යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයට රැගෙන යන්න.+  ඉන්පසුව ඒ කාලයේදී පූජකයා ලෙස සේවය කරන තැනැත්තා ළඟට ගොස්+ ඔබ ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රකාශයක් කළ යුතුයි. ‘අපේ දෙවි වන යෙහෝවාගේ පොරොන්දුවට එකඟව අද සෑම දෙයක්ම සිදු වී ඇති බව මම දැන් ප්‍රකාශ කරන්න කැමතියි. යෙහෝවා දෙවි අපේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වූ දේශයට මා දැන් ඇවිත් පදිංචි වී සිටිනවා.’+  “එවිට පූජකයා ඔබ ගෙනා කූඩය යෙහෝවා දෙවිගේ පූජාසනය ඉදිරියේ තැබිය යුතුයි.  ඉන්පසු යෙහෝවා දෙවි ඉදිරියේ ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘අපේ ආදිපියා සිරියානුවෙක්.*+ ඔහුගේ ජීවිතය නිතරම තිබුණේ අනතුරේ. ඔහු කුඩා පිරිසක්+ සමඟ ඊජිප්තු දේශයට ගොස්+ විදේශිකයෙකු ලෙස වාසය කරන්න පටන්ගත්තා. ඒ දේශයේදී ඔවුන් ඉතා විශාල බලවත් ජාතියක් බවට පත් වුණා.+  නමුත් අපට කුරිරු ලෙස හිරිහැර කළ ඊජිප්තුවරුන් අපව වහල්කමට ගත්තා.+  එවිට අපි ඒ ගැන අපේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට කන්නලව් කළා.+ අප අද්දකිමින් සිටි දුක් පීඩා හා හිරිහැර+ දුටු යෙහෝවා දෙවි අපේ හඬට සවන් දුන්නා.+  ඒ නිසා, යෙහෝවා දෙවි තම මහත් බලයෙන්+ විවිධ ලකුණු, ආශ්චර්යයන්+ හා භයානක දේවල් කරමින්+ අපිව ඊජිප්තුවෙන් නිදහස් කළා.  ඉන්පසු දෙවි අපට කිරියෙන් හා පැණියෙන් ගලා යන මේ දේශය උරුම කර දුන්නා.+ 10  ඒ නිසා මම දැන් යෙහෝවා දෙවි අපට ලබා දුන් මේ දේශයේ අස්වැන්නෙන් නෙළාගත් මුල්ම පලදාව දෙවිට ලබා දෙන්න කැමතියි.’+ “ඔබ එසේ පැවසූ පසු ඒ දේවල් යෙහෝවා දෙවි ඉදිරියේ තබා ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ වැඳ වැටී ඔහුට නමස්කාර කරන්න.+ 11  ඉන්පසුව යෙහෝවා දෙවි ඔබටත් ඔබේ පවුලේ සාමාජිකයන්ටත් දුන් සෑම යහපත් දෙයක් ගැනම ඔබට මෙන්ම ඔබ සමඟ වාසය කරන ලෙවීවරුන්ට හා විදේශිකයන්ටද+ ප්‍රීති විය+ හැකියි. 12  “සෑම අවුරුදු තුනකට වරක්, ඔබට ලැබෙන මුළු අස්වැන්නෙන් දසයෙන් කොටස+ වෙන් කරගත් පසු+ ඔබ එය ලෙවීවරුන්ට, ඔබ අතරේ වාසය කරන විදේශිකයන්ට, පියා නැති දරුවන්ට සහ වැන්දඹුවන්ට දිය යුතුයි. එවිට ඔබේ නුවරේ පදිංචි වී සිටින ඒ සියලුදෙනාට කා බී තෘප්තිමත් විය හැකියි.+ 13  ඒ දේ කළායින් පසු ඔබ යෙහෝවා දෙවි ඉදිරියේ මෙසේද කිව යුතුයි. ‘දෙවියනි, ඔබට කැප කළ දේ මගේ නිවසේ තබාගෙන සිටියේ නැහැ. ඔබ අණ කළ ආකාරයටම මම ඒ දේවල් ලෙවීවරුන්ට, අප අතරේ සිටින විදේශිකයන්ට, පියා නැති දරුවන්ට හා වැන්දඹුවන්ට දුන්නා.+ ඔබ අණ කළ දේ මම කඩ කළේවත් එය අමතක කළේවත් නැහැ.+ 14  මා ශෝකයෙන් සිටි කාලයේදීවත් මා චාරිත්‍රානුකූලව අපවිත්‍රව සිටි අවස්ථාවලදීවත් මරණයක් සිදු වූ අවස්ථාවකදීවත් ඒ කැප කළ දෙයින් කිසිවක් ගත්තේ නැහැ. යෙහෝවා දෙවියනි, ඔබ අණ කළ දේට කීකරු වී මම මගේ යුතුකම් ඉටු කළා. 15  දෙවියනි, ඔබේ ශුද්ධ වාසස්ථානය+ වන ස්වර්ගයේ සිට ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල් දෙස බලා ඔවුන්ට ආශීර්වාද කරන්න.+ ඔවුන්ගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ+ ලෙස ඔබ අපට ලබා දුන් කිරියෙන් හා පැණියෙන් ගලා යන මේ දේශයටත්+ ආශීර්වාද කරන්න කියා මම ඉල්ලා සිටිනවා.’ 16  “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට අද අණ කරන්නේ මෙම අණපනත් හා තීන්දු පිළිපදින්න කියායි.+ ඔබ ඒවා ඔබේ මුළු හදවතින්ම+ පිළිපැදීමට වෑයම් කළ යුතු අතර වෙහෙස මහන්සිය නොබලා+ ඒවා ඉටු කළ යුතුයි. 17  දෙවි දෙන මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙමින් ඔහුගේ තීන්දු+ හා අණපනත්+ පිළිපැදීමටත් ඔහුගේ හඬට කීකරු වීමටත්+ ඔබ එකඟ වූ නිසා යෙහෝවා දෙවි අද ඔහුගේ නමස්කාරකයන් ලෙස ඔබව භාරගන්නවා. 18  යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙස+ ඔහුට අයිති විශේෂ සෙනඟක්+ වෙන්නත් ඔහුගේ සියලු අණපනත් පිළිපදින්නත් කැමති බව ඔබත් අද ප්‍රකාශ කළා. 19  දෙවි ඔබට පොරොන්දු වූ ලෙස ඔහු අන් සියලුම ජාතීන්ට වඩා ඔබව උසස් කරයි.+ ඔබ දිගටම යෙහෝවා දෙවි ඉදිරියේ ශුද්ධ සෙනඟක්+ ලෙස කටයුතු කරන්න. ඔබ එසේ කළොත් ඔබ නිසා දෙවිට ප්‍රශංසාව, ගෞරවය හා කීර්ති නාමයක් ලැබෙන බව නිසැකයි.”

පාදසටහන්

මෙහි කතා කරන්නේ සිරියානු ප්‍රදේශයක් වන හාරාන්හි ජීවත් වූ යාකොබ් ගැනයි.