ද්විතීය කතාව 27:1-26

27  ඉන්පසුව මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින වැඩිමහල්ලන්ව එකතු කරගෙන සෙනඟට මෙසේ අණ කළේය. “අද මා ඔබට කියා දෙන සියලුම අණපනත් පිළිපැදීමට ඔබ වගබලා ගත යුතුයි.+  ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වී+ යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයට යන දවසේදී විශාල ගල් කිහිපයක් තෝරාගෙන ඒවාට සුදු හුණු ගාන්න.  ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔබට පොරොන්දු වූ ලෙසම කිරියෙන් හා පැණියෙන් ගලා යන ඒ දේශය ඔබට ලබා දෙයි.+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබට ලබා දෙන දේශයට ගිය පසු+ මා ඔබ ඉදිරියේ ප්‍රකාශ කළ නීතියේ සඳහන් සියලුම වචන ඒ ගල් මත ලිවිය යුතුයි.+  ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වූ පසු මා අද ඔබට අණ කළ ලෙස ඒබාල්+ කන්දට ඒ ගල් රැගෙන ගොස් ඒවාට සුදු හුණු ගා එහි තබන්න.+  මීට අමතරව තවත් ගල් කිහිපයක් ගෙන යෙහෝවා දෙවි වෙනුවෙන් පූජාසනයක් එම ස්ථානයේ ගොඩනඟන්න. නමුත් යකඩ ආයුධයකින් කපාගත් ගල් ඒ සඳහා භාවිත නොකරන්න.+  ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් සාදන ඒ පූජාසනය ගොඩනැඟීමට භාවිත කළ යුත්තේ නොකැපූ ගල්. ඉන්පසුව ඔබට ඒ මත යෙහෝවා දෙවිට දවන පූජාද+  හවුල් පූජාද ඔප්පු කළ හැකියි.+ හවුල් පූජාව ඔප්පු කළ පසු, ඒ ස්ථානයේදීම ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ප්‍රීති වෙමින්+ එය අනුභව කරන්න.+  ඔබට ලබා දුන් මෙම නීතියේ සඳහන් සියල්ල සුදු හුණු ගෑ ගල්වල+ ඉතා පැහැදිලිව ලියා තැබිය යුතුයි.”+  ඉන්පසුව මෝසෙස්ද පූජකයෝද ලෙවීවරුද එකතු වී ඊශ්‍රායෙල් ජනයාට මෙසේ පැවසූහ. “ඊශ්‍රායෙල්වරුනි, හොඳින් සවන් දෙන්න. අද ඔබට ඉතා වැදගත් දවසක්. මන්ද අද ඔබේ දෙවි වන යෙහෝවා ඔහුගේ සෙනඟ වශයෙන් ඔබව භාරගන්නවා.+ 10  ඒ නිසා ඔබේ දෙවි වන යෙහෝවාගේ හඬට සවන් දෙන්න. අද ඔබට පැහැදිලි කර දුන් ඔහුගේ සියලු අණපනත් පිළිපදින්න.”+ 11  මෝසෙස් ඒ අවස්ථාවේදී සෙනඟට මෙසේද අණ කළේය. 12  ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වූ පසු සිමියොන්, ලෙවී, යූදා, ඉසකාර්, යෝසෙප් සහ බෙන්ජමින් යන ගෝත්‍රවලට ගෙරිසීම් කන්ද පාමුල+ රැස් වෙන්න කියන්න. ඔවුන් ඒ ස්ථානයේ සිට සෙනඟට ආශීර්වාද ප්‍රකාශ කළ යුතුයි. 13  රූබෙන්, ගාද්, ආෂෙර්, සෙබ්‍යූලන්, දාන් සහ නෆ්තලී යන ගෝත්‍රවලට ඒබාල් කන්ද පාමුලට+ යන්න කියන්න. ඔවුන් ඒ ස්ථානයේ රැස් විය යුත්තේ සෙනඟට ශාප ප්‍රකාශ කිරීම+ සඳහායි. 14  ඒ අවස්ථාවේදී රැස්ව සිටින මුළු ඊශ්‍රායෙල් සෙනඟට ලෙවීවරුන් පැහැදිලි හඬකින් මෙසේ පැවසිය යුතුයි.+ 15  “‘යමෙක් වඩුවෙකුගේ හෝ කම්මල්කරුවෙකුගේ උපකාරයෙන්+ රූපයක්+ සාදා එය තමා ළඟ තබාගන්නවා නම් එය යෙහෝවා දෙවිට පිළිකුලක්.+ ඒ පුද්ගලයාට ශාප වේවා!’ (එවිට සියලුදෙනා ‘ආමෙන්’* කියා පැවසිය යුතුයි.)+ 16  “‘තම පියාට හෝ මවට නින්දා කරන්නාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) 17  “‘තම අසල්වාසියාගේ ඉඩමේ මායිම තමාගේ වාසිය සඳහා වෙනස් කරන්නාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) 18  “‘අන්ධ කෙනෙකුව නොමඟ යවන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) 19  “‘ඔබ අතරේ සිටින විදේශිකයෙකුට,+ පියා නැති දරුවෙකුට හා වැන්දඹුවකට+ යුක්තිය+ ඉටු නොකරන්නාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) 20  “‘තම පියාගේ භාර්යාව සමඟ සයනය කර පියාට මහත් නින්දාවක් ගෙන දෙන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) 21  “‘යම් සතෙකු සමඟ ලිංගිකව හැසිරෙන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) 22  “‘තමාගේ සහෝදරිය එනම්, තම පියාගේ දියණිය හෝ තම මවගේ දියණිය සමඟ සයනය කරන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) 23  “‘තමාගේ නැන්දම්මා සමඟ සයනය කරන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) 24  “‘මඟ රැක සිට තම අසල්වාසියාට පහර දී මරා දමන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) 25  “‘අහිංසක කෙනෙකුව මරා දමන පිණිස අල්ලසක් ලබාගන්නා තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) 26  “‘මේ නීතියේ සඳහන් දේවල් පිළිපැදීමට උත්සාහ නොකරන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.)

පාදසටහන්

එනම්, එසේම වේවා!