නෙහෙමියා 13:1-31

13  එදින සියලුදෙනාටම ඇසෙන්න මෝසෙස්ගේ ලියවිල්ල+ ශබ්ද නඟා කියවන ලදි.+ ඒ ලියවිල්ලෙහි සඳහන් ආකාරයට අම්මොන්+ ජාතිකයන්ටවත් මෝවබ්+ ජාතිකයන්ටවත් සැබෑ දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වන්න අවසර නැති+ බව සියලුදෙනාටම අවබෝධ විය.  එයට හේතුව වූයේ, ඔවුන් අතීතයේදී ඊශ්‍රායෙල් සෙනඟට කෑම බීම නොදී+ ඔවුන්ට ශාප කරන්න+ බාලාම්ව+ කුලියට ගත් නිසාය. එහෙත් බාලාම් ඔවුන්ට ශාප කිරීමට උත්සාහ කරද්දී දෙවි එයට ඉඩ නොදී ඔහු ලවාම තම සෙනඟට ආශීර්වාද කළේය.+  නීතියේ සඳහන් දේ ඇසූ වහාම+ ඊශ්‍රායෙල් සෙනඟ අතරින් සියලුම විදේශිකයන්ව* වෙන්+ කරන ලදි.  ඒ කාලයේදී, පූජකයෙකු වූ එලියාෂිබ්+ අපගේ දෙවිගේ ගෘහයේ පිහිටි එක්තරා භෝජන ශාලාවක්+ භාරව කටයුතු කළේය. ඔහු ටොබියාගේ+ නෑදෑයෙකු විය.  එලියාෂිබ් ටොබියා වෙනුවෙන්ම විශාල භෝජන ශාලාවක්+ වෙන් කර තිබිණ. මීට පෙර එම භෝජන ශාලාව භාවිත කර තිබුණේ ධාන්‍ය පූජා+ සඳහා ගෙනා ද්‍රව්‍ය, කට්ටකුමංජල් හා භාජන ගබඩා කිරීමටය. ලෙවීවරුන්ට,+ ගායකයන්ට, දොරටු පාලකයන්ට හා පූජකයන්ට ධාන්‍යවලින්, අලුත් වයින්වලින්+ හා තෙල්වලින්+ හිමි වූ දසයෙන් කොටස් ගබඩා කළෙත් එම භෝජන ශාලාවේමය.  මම යම් කාලයක් යෙරුසලමෙහි නොසිටියෙමි. මන්ද බැබිලෝනියේ රජුව සිටි අර්තක්ෂස්තාගේ+ තිස්දෙවන+ අවුරුද්දේදී මා නැවතත් රජ්ජුරුවන් වෙතට ගොස් එහි සේවය කරමින් සිටි බැවිනි. යම් කලක් ගත වූ පසු මම රජ්ජුරුවන්ගෙන් අවසර ලබාගෙන,+  නැවත යෙරුසලමට පැමිණියෙමි. සැබෑ දෙවිගේ ගෘහයේ මළුවක+ ටොබියා+ වෙනුවෙන් ශාලාවක් වෙන් කර තැබීමෙන් එලියාෂිබ්+ කළ ලොකු වරද ගැන මට දැනගන්න ලැබුණේ එවිටයි.  එය දැක මා තුළ මහත් පිළිකුලක් ඇති විය.+ මම භෝජන ශාලාවට ගොස් ටොබියාගේ සියලු ගෘහ භාණ්ඩ පිටතට විසි කර දැමුවෙමි.+  ඉන්පසුව මාගේ අණ පරිදි සියලුම භෝජන ශාලා+ පවිත්‍ර කරන ලදි.+ මම සැබෑ දෙවිගේ ගෘහයේ භාවිතය සඳහා තිබූ භාජනද+ ධාන්‍ය පූජා සඳහා ගෙනා ද්‍රව්‍යද කට්ටකුමංජල්ද+ එහි නැවත ගබඩා කිරීමට පියවර ගත්තෙමි. 10  මේ අතර ලෙවීවරුන්ට දිය යුතු නියමිත කොටස්+ ඔවුන්ට ලබා නොදී තිබුණු බවත් මට දැනගන්න ලැබිණ. එහි ප්‍රතිඵලය වූයේ, ලෙවීවරුන් සහ ගායකයන් තම තමන්ගේ අවශ්‍යතා පිරිමසාගැනීම සඳහා තමන්ට පවරා තිබූ සේවාවන් අත්හැර තම කෙත්වතුවල වැඩ කිරීමට යෑමය.+ 11  මම මේ සම්බන්ධයෙන් නිලධාරීන්ට+ දොස් කියමින්,+ “සැබෑ දෙවිගේ ගෘහයේ වැඩකටයුතු මේ විදිහට නොසලකාහැර තිබෙන්නේ ඇයි”+ කියා ඇසුවෙමි. ඉන්පසුව මම සියලුම ලෙවීවරුන්ව එකතු කරගෙන තම තමන්ට නියමිත කාර්යයන්වල ඔවුන්ව නැවත යෙදෙව්වෙමි. 12  ඉන් අනතුරුව, යූදාහි සියලුම වැසියෝ ධාන්‍යවලින්,+ අලුත් වයින්වලින්+ සහ තෙල්වලින්+ ලබා දිය යුතු දසයෙන් කොටස්+ ගෙනැවිත් ගබඩාවල තැන්පත් කළෝය.+ 13  ගබඩා භාරව කටයුතු කිරීමට පූජක ෂෙලෙමියාව, පිටපත්කරුවෙකු වූ සාදොක්ව සහ ලෙවීවරයෙකු වූ පෙදායාව මම පත් කළෙමි. ඔවුන් යටතේ මත්තනියාගේ+ පුත්‍රයෙකු වූ සක්කූර්ගේ පුත් හානාන්ද සේවය කළේය. ඔවුන්ට මෙම වගකීම භාර දුන්නේ ඔවුන් විශ්වාසවන්ත+ පුරුෂයන් වූ නිසාය. ඔවුන්ගේ සහෝදරයන් වන ලෙවීවරුන්ට හා පූජකයන්ට නියමිත කොටස් ලබා දීමේ+ වගකීම පැවරුණේ ඔවුන්ටය. 14  “මාගේ දෙවියනි, මා මේ කළ කිසි දෙයක් අමතක නොකරන්න.+ ඔබේ ගෘහය+ වෙනුවෙනුත් එහි විවිධ වැඩකටයුතු බලා කියා ගැනීම වෙනුවෙනුත් මා විශ්වාසවන්තව* කළ සියලුම ක්‍රියා අමතක නොකරන+ මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි.” 15  ඒ කාලයේදී යූදාහි විසූ මනුෂ්‍යයෝ සබත් දවසේදී මිදි යන්ත්‍රවල මිදි මඩින ආකාරයත්+ කපාගත් ධාන්‍ය ගොඩවල් බූරුවන් පිට+ පටවන ආකාරයත්+ වයින්, මිදි, අත්තික්කා+ සහ වෙනත් බඩු බාහිරාදිය යෙරුසලමට රැගෙන එන ආකාරයත් මම දුටුවෙමි.+ ඔවුන් ඒ සියලුම දේවල් රැගෙන ඇවිත් සබත් දවසේදී විකුණන්න පටන්ගත් නිසා මම ඔවුන්ට තරවටු කළෙමි. 16  මීට අමතරව යෙරුසලමෙහි වාසය කළ තීර්හි+ වෙළෙන්දෝ විවිධ මසුන් වර්ග හා වෙනත් බඩු බාහිරාදිය+ ගෙන්වාගනිමින් ඒවා යෙරුසලමෙහි විසූ යුදෙව්වරුන්ට සබත් දවසේදී විකුණමින් සිටියෝය. 17  එහෙයින් යූදාහි වංශවත්+ අයට දොස් කියමින් මම මෙසේ ඇසුවෙමි. “ඔබ මොනවාද මේ කරන්නේ? ඔබ සබත් දවසේදී මේ දේවල් කරන්නේ ඇයි? එය දෙවිට කරන මහත් අගෞරවයක් කියා ඔබට තේරෙන්නේ නැද්ද? 18  අපේ දෙවි මීට කලින් මේ නුවර විනාශ කර අපට බොහෝ විපත් ඇති කළේ+ අපේ මුතුන්මිත්තන් මෙවැනිම දේවල් කළ නිසා නොවේද?+ නමුත් දැන් ඔබත් ඒ දේම කරනවා. සබත් දවසට ගරු නොකරන+ ඔබ ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව දෙවිගේ උදහස තවත් වැඩි කරනවා.” 19  සබත් දවසට පෙර දවසේදී අඳුර වැටෙන්න කලින් යෙරුසලමෙහි දොරටු වසා දමන්න මම අණ කළෙමි. දොරටු වහාම වසා දමනු ලැබීය.+ ඉන්පසු, සබත් දවස නිමා වන තුරු දොරටු නැවත විවෘත නොකළ යුතු බව මම අණ කළෙමි. එමෙන්ම මාගේ සේවකයන් කිහිපදෙනෙකුවද දොරටු අසල රඳවා, සබත් දවස අතරතුරේදී නුවර තුළට කිසිම දෙයක් ප්‍රවාහණය කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න කියා ඔවුන්ට පැවසුවෙමි.+ 20  ඒ නිසා, වෙළෙන්දෝ හා නොයෙකුත් බඩු බාහිරාදිය අළෙවි කරන්නෝ යෙරුසලමෙන් පිටත රාත්‍රිය ගත කළෝය. මේ දේ දෙවරක්ම සිදු විය. 21  ඒ නිසා මම ඔවුන්ට තරවටු කරමින්+ මෙසේ පැවසුවෙමි. “ඔබ මොකටද පවුර ළඟට වී රාත්‍රිය ගත කරන්නේ? ඔබ නැවතත් මේ දේ කළොත් මම ඔබ සියලුදෙනාව මෙතැනින් පන්නා දමනවා!”+ එදා පටන් ඔවුහු සබත් දවසේදී වෙළඳ කටයුතු සඳහා නුවරට නොපැමිණියෝය. 22  සබත් දවස ගෞරවනීය+ ලෙස පැවැත්වීම සඳහා පවිත්‍ර වී+ නුවර දොරටු අසල නිතරම මුර සේවයේ යෙදීමට+ තමන් වගබලා ගත යුතු බව මම ලෙවීවරුන්ට+ පැවසුවෙමි. “මාගේ දෙවියනි, මා කළ මේ දේවල්ද අමතක නොකරන්න.+ ඔබේ අතිමහත් කරුණාව*+ පෙන්වා මට අනුකම්පා කරන්න.” 23  ඒ කාලයේදී සමහර යුදෙව්වරුන් අෂ්දොද්,+ අම්මොන් සහ මෝවබ්+ ජාතික ස්ත්‍රීන්ව විවාහ+ කරගෙන සිටි බවත් මගේ අවධානයට ලක් විය. 24  ඔවුන්ගේ දරුවන්ගෙන් අඩක්ම අෂ්දොද්වරුන්ගේ භාෂාව කතා කළත් ඉන් එක් කෙනෙකුටවත් යුදෙව් භාෂාව+ කතා කිරීමට නොහැකි විය. ඔවුන් කතා කළේ වෙනත් භාෂාවන්ය. 25  මම ඔවුන්ට දොස් කියමින් තදින්ම තරවටු කළෙමි.+ මම ඔවුන්ගෙන් සමහරෙකුට පහර දී+ ඔවුන්ගේ කෙස් උගුලා දැමුවෙමි. මින් ඉදිරියට එසේ නොකරන බවට ඔවුන්ගෙන් පොරොන්දුවක්+ ගත් පසු මෙසේ කීවෙමි. “ඔබේ දූවරුන්ව වෙනත් ජාතිකයන්ගේ පුතුන්ට විවාහ කර දෙන්න එපා. ඔබේ පුතුන්ට ඔවුන්ගේ දූවරුන් සමඟ විවාහ වීමට ඉඩ දෙන්නත් එපා.+ 26  ඊශ්‍රායෙල්හි රජු වූ සලමොන්ට සිදු වූ දේ ඔබට මතක නැද්ද? සියලු ජාතීන් අතරේ ඔහු හා සමාන රජ කෙනෙක් සිටියේ නැහැ.+ දෙවිත් ඔහුට බොහෝ සෙයින් ප්‍රේම කළා.+ දෙවි ඔහුව මුළු ඊශ්‍රායෙල් ජාතියේ රජු ලෙස පත් කළේ ඒ නිසයි. නමුත් ඔහුත් දෙවිට විරුද්ධව පව් කළා.+ ඒ දේ සිදු වුණේ ඔහුගේ විදේශීය භාර්යාවන්ගේ බලපෑම නිසයි.+ 27  මේ සෑම දෙයක්ම දැන දැනත් ඔබ අපගේ දෙවිට ද්‍රෝහි වී විදේශීය ස්ත්‍රීන්ව විවාහ කරගෙන සිටිනවා.+ ඔබ මේ වගේ දෙයක් කරන්නේ කොහොමද කියා මට හිතාගන්නවත් බැහැ.” 28  උත්තම පූජක එලියාෂිබ්ගේ+ පුත් යෝයාදාගේ+ එක් පුත්‍රයෙක් හෝරොන්හි+ වැසියෙකු වූ සන්බලට්ගේ+ බෑනා විය. එහෙයින් මම ඔහුව එළවා දැමුවෙමි.+ 29  “මාගේ දෙවියනි, පූජකයන් කරන සේවයත් පූජකයන් සහ ලෙවීවරුන්+ සමඟ ඔබ කළ ගිවිසුමත්+ සුළුවට ගෙන තිබෙන මේ අයගේ වැරදි ක්‍රියා+ අමතක නොකරන මෙන් මම ඉල්ලමි.” 30  මම විදේශිකයන්ගේ සියලු බලපෑම්වලින් සෙනඟව නිදහස් කර ඔවුන්ව පවිත්‍ර තත්වයකට+ ගෙනාවෙමි. ඉන්පසු මම පූජකයන්ට හා ලෙවීවරුන්ට නියම වී තිබූ වගකීම්වලට නැවත ඔවුන්ව යොමු කළෙමි.+ 31  මේ අනුව, නියම වේලාවට දරද+ මුලින්ම නෙළාගත් ඉදුණු පලතුරුද ගෙන ඒම අරඹන ලදි. “මාගේ දෙවියනි, මට කරුණාව පෙන්වා+ මාව සිහි කරන මෙන් ඉල්ලා සිටිමි.”+

පාදසටහන්

මූ.අ., “මිශ්‍ර ජාතිකයන්ව.”
හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”