මලාකි 1:1-14

1  මෙය අනතුරු ඇඟවීමේ පණිවිඩයකි. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් ගැන මලාකි මාර්ගයෙන් කියන මේ පණිවිඩයට+ සවන් දෙන්න.  යෙහෝවා දෙවි ඔබට මෙසේ පැවසුවේය. “මා ඔබට මොන තරම් ප්‍රේම කළාද!”+ එහෙත් ඔබ ඔහුගෙන් මෙසේ ඇසුවහුය. “ඔබ අපට ප්‍රේමය පෙන්වූයේ මොන අවස්ථාවලදීද?”+ එවිට යෙහෝවා දෙවි මෙසේ පිළිතුරු දුන්නේය. “ඒසව් සහ යාකොබ් එක කුසේ උපන් දරුවන් නොවෙයිද?+ එහෙත් මා ප්‍රේම කළේ යාකොබ්ටය.+  එහෙත් ඒසව්ව+ මම ප්‍රතික්ෂේප* කළෙමි. කාලයක් ගෙවුණු පසු, ඔහුට අයිති කඳුකර පළාත මම පාළු ස්ථානයක් බවට පත් කළෙමි.+ ඔහුට උරුම වූ දේශය හිවලුන්ට දුන්නෙමි.”+  “එහෙත් ඒදොම් දේශයේ වැසියෝ මෙසේ කීවෝය. ‘අපව සීසීකඩ විසුරුවාහැරියත් අපි ආපසු ඇවිත් පාළුවට ගිය තැන් ගොඩනඟන්නෙමු.’ නමුත් ස්වර්ගයේ සේනාවල අධිපති* වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඔවුන් එය නැවත ගොඩනැඟුවත් මම එය කඩා දමන්නෙමි.+ එබැවින් අවට සිටින සෙනඟ ඔවුන්ගේ දේශය, “දුෂ්ටකම රජයන දේශයක්” ලෙසද ඔවුන්ව, “යෙහෝවා දෙවි සදහටම හෙළාදකින ජාතියක්”+ ලෙසද හඳුන්වන්නෝය.  ඔවුන්ට සිදු වන දේ දැක ඔබ මෙසේ පවසනු ඇත. “මුළු ඊශ්‍රායෙල් දේශය පුරාම යෙහෝවා දෙවිව ගෞරවයට පත් වේවා!”’”+  “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මගේ නාමයට අගෞරව කරන පූජකයෙනි,+ මේ ගැන සිතා බලන්න. සාමාන්‍යයෙන් පුතෙකු තම පියාට ගෞරව කරන්නේ නැද්ද?+ එසේනම්, ඔබේ පියා වන මට+ ඔබ ගෞරව නොකරන්නේ මන්ද?+ සේවකයෙකු තම ස්වාමියාට නිසි ගෞරවය දෙන්නේ නැද්ද?+ එසේනම්, ඔබේ ස්වාමීන් වන මට ගරුබිය නොපෙන්වන්නේ මන්ද?’+ “‘නමුත් ඔබ මගෙන් මෙසේ අසන්නහුය. “අපි ඔබේ නාමයට අගෞරව කළේ කෙසේද?”’  “‘ඔබ මගේ පූජාසනය මත අපවිත්‍ර ආහාර ඔප්පු කළහුය.’+ “‘එවිට ඔබ, “අපි ඔබේ නාමයට අගෞරවයක් වන ලෙසින් පූජා ඔප්පු කළා කියා ඔබ පවසන්නේ ඇයි” කියා මගෙන් අසන්නහුය.’ “‘යෙහෝවා දෙවි වන මාගේ පූජාසනය*+ ඔබ හෙළාදකින්නහුය.+  ඔබ පූජාවක් ලෙස ඔප්පු කිරීමට අන්ධ සතෙකුව රැගෙන ආ විට, “මේ සතාව පූජා කළාට කමක් නැහැ” කියා සිතන්නහුය. කොර සතෙකුව හෝ ලෙඩ සතෙකුව හෝ ඔප්පු කළ විටත් ඔබ සිතන්නේ එයින් කිසිදු හානියක් සිදු වන්නේ නැත කියාය.’”+ එහෙත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ අසන්නේය. “ඔබ ඒ වගේ සතෙකුව ඔබේ ආණ්ඩුකාරයාට දුන්නොත් ඔහු කුමක් කියාවිද? ඔහු ඒ ගැන සතුටු වෙයි කියා ඔබ සිතනවාද?”  “මෙපමණ කාලයක් පුරා ඔබ කළ මේ දේවල් ගැන දෙවි සතුටු වෙයි කියා ඔබ සිතනවාද? දැන් දෙවිගෙන් සමාව අයැදින්න.+ එවිට දෙවි ඔහුගේ අනුමැතිය අපට ලබා දී+ අපට ආශීර්වාද කරනු ඇත.” එය ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගෙන් ලද පණිවිඩයකි. 10  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “ඔබ මගේ ගෘහයේ දොරටු වැසීමටත්+ මුදලක් අය කරන්නහුය. මගේ පූජාසනයේ ගිනි දල්වන්නෙත් මුදලක් බලාපොරොත්තුවෙනි.+ වාසියක් නොබලා ඒ සේවාවන් කරන එක් කෙනෙකුවත් ඔබ අතරේ සිටිනවාද? මම කිසිසේත් ඔබ ගැන සතුටු නොවන්නෙමි. ඔබ මට තෑගි වශයෙන් ගෙනෙන පූජා මම කොහොමටවත් පිළිගන්නේ නැත.”+ 11  “පොළොවේ එක් සීමාවක සිට අනික් සීමාව දක්වා සිටින සියලු ජාතීන් අතරේ මාගේ නාමය ගෞරවයට පත් වනු ඇත.+ පොළොවේ සියලු වැසියෝ මාගේ නාමයට ප්‍රශංසා කිරීම සඳහා සුවඳ දුම්+ හා පූජා ඔප්පු කරන්නෝය. ඔවුන් ගෙනෙන ඒ පූජා+ මම පිළිගන්නෙමි. මෙසේ, සියලු ජාතීන් අතරේ මාගේ නාමය අතිශයින් උසස් වන්නේය”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය. 12  “නමුත් ඔබ, ‘යෙහෝවා දෙවිගේ පූජාසනයෙන් අපට කිසි වැඩක් නැහැ. ඒ නිසා වටිනාකමක් නැති පූජා ඔප්පු කළාට ප්‍රශ්නයක් නැහැ’+ කියමින් මට අගෞරව කරන්නහුය.+ 13  එමෙන්ම පූජා ඔප්පු කරන විට, ‘මේ මොන කරදරයක්ද’+ කියමින් ඔබ මැසිවිලි නඟන්නහුය” කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය. “ඔබ තෑගි හැටියට මා ළඟට ගෙනෙන්නේ කුමක්ද? සොරකම් කළ, තුවාල වූ, ලෙඩින් සිටින, කොර සතුන්වය!+ එවැනි තෑග්ගකින් මා සතුටට පත් වෙයි කියා ඔබ සිතනවාද?”+ එසේ අසන්නේ යෙහෝවා දෙවිය. 14  “රැළේ හොඳ බැටළුවෙක් සිටියදී, යෙහෝවා දෙවි වන මට කිසිදු වටිනාකමක් නැති සතෙකුව භාරයක් ලෙස ඔප්පු කරන ඒ කපටි තැනැත්තා ශාප ලද්දෙක් වනු ඇත.+ මන්ද මා ශ්‍රේෂ්ඨ රජෙකි.+ සියලු ජාතීහු මාගේ නාමයට ගරුබිය දක්වන්නෝය”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.

පාදසටහන්

මුල් භාෂාවේ, “වෛර” ලෙස සඳහන් වේ.
“ස්වර්ගයේ සේනාවල අධිපති” යන යෙදුම මෙම පොතේ 24 වතාවක් භාවිත කර ඇත.
මූ.අ., “මේසය.”