මීකා 1:1-16

1  යෝතම්,+ ආහස්+ සහ හෙසකියා+ යූදාහි රජකම් කළ දවස්වලදී+ මොරෂෙත් නගරයේ විසූ මීකා+ සමාරිය+ හා යෙරුසලම+ පිළිබඳව දර්ශන දුටුවේය. යෙහෝවා දෙවිගෙන් මීකාට ලැබුණු එම පණිවිඩය මෙයයි.  “සියලු ජනයෙනි, මා පවසන දේට සවන් දෙන්න. යෙහෝවා දෙවි තම ශුද්ධ මාලිගාවේ සිට+ පවසන දේට පොළොවත් එහි ජීවත් වන සියලුදෙනාත්+ සවන් දෙන්න. විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔබට විරුද්ධව සාක්ෂි දෙයි.+  යෙහෝවා දෙවි තම වාසස්ථානයෙන් බැස ඇවිත්+ පොළොවේ කඳු මුදුන් පාගා පොඩි කර දමනු ඇත.+  එවිට කඳු දිය වී යන්නේය.+ තැනිතලා බිම්ද ඉරි තැළී ගොස් කඩා වැටෙයි.+ ඒවා ගින්නට දිය වී යන ඉටි මෙන්ද උස් තැනකින් ඇද හැළෙන ජල ධාරාවක් මෙන්ද වැටෙනු ඇත.  “යාකොබ් කැරලිගැසුවේය. ඊශ්‍රායෙල් පව් කළේය. මේ සෑම දෙයක්ම සිදු වී ඇත්තේ ඒ නිසාය.+ යාකොබ්ගේ කැරලිගැසීමට වග කිව යුත්තේ කවුද? සමාරියේ වැසියන් නොවෙයිද?+ යූදාහි සාදා තිබෙන පූජනීය ස්ථානවලට වග කිව යුත්තේ කවුද?+ යෙරුසලමේ වැසියන් නොවෙයිද?  ‘මම සමාරිය නටබුන් ගොඩක් බවට පත් කරන්නෙමි.+ මිදිවත්තක් සඳහා සකසන වගාබිමක් මෙන් සමතලා කරන්නෙමි. මම සමාරියේ ගොඩනැඟිලි අත්තිවාරම දක්වාම කඩා දමා ඇගේ ගල් නිම්නයට විසි කර දමන්නෙමි.+  ඇගේ දේවතා රූප සියල්ලම කැබලි කරන්නෙමි.+ ගණිකාවකට ගෙවන කුලිය හා සමානව ඇයට ලැබී තිබෙන තෑගි සියල්ල මම පුලුස්සා දමන්නෙමි.+ ඇගේ රූප සියල්ලම මම විනාශ කරන්නෙමි. මන්ද ඒ සියල්ල ඇය වේශ්‍යාකම් කර ලබාගත් තෑගිය. තවද ඒ සියල්ල වෙනත් ගණිකාවන්ට කුලී ගෙවන පිණිස රැගෙන යනු ඇත.’”+  ඒ නිසා මම හඬා වැලපෙන්නෙමි.+ පාවහන්වත් ඇඳුම්වත් නැතුව ඇවිදින්නෙමි.+ මම හිවලුන් මෙන් කෑගසමින් පැස්බරුන් මෙන් හඬන්නෙමි.  මන්ද සමාරියට ඇති වූ තුවාලය සුව කළ නොහැකි තරම් දරුණුය.+ ඒ තුවාලය යූදා දේශය දක්වාම ඔඩු දුවන්නේය.+ මගේ සෙනඟ වාසය කරන යෙරුසලමේ දොරටුව දක්වාද එය පැතිර යන්නේය.+ 10  “මේ දේවල් ගැන ගාත් නගරයේ කිසිවෙකුටවත් නොපවසන්න. ඔවුන් ඉදිරියේ නොවැලපෙන්න.+ “බෙත්-අප්‍රාහිදී* දූවිල්ලේ පෙරළෙමින් හඬන්න.+ 11  ෂාපීර්හි වැසියෙනි, නග්නව ඔබේ දේශයෙන් පිටත්ව යන්න.+ නමුත් ෂයනාන් නගරයේ වැසියෝ පිටත්ව නොයන්නෝය. බෙත්-ඒෂෙල් නගරයේ වැසියන්ටද හඬා වැලපෙන්න සිදු වෙයි. එබැවින් ඒ ස්ථානයෙන්වත් ඔබට කිසි ආරක්ෂාවක් නොලැබෙන්නේය. 12  මාරොත් නගරයේ වැසියන් යහපතක් සිදු වේයයි බලාපොරොත්තුවෙන් සිටියද+ යෙහෝවා දෙවි යෙරුසලමේ දොරටුව දක්වාම විපතක් ඇති වෙන්න සැලැස්වූවේය.+ 13  ඊශ්‍රායෙල්වරුන් මෙන් සියොන් දියණියද කැරලිගැසුවාය.+ ඇය පව් කරන්න පටන්ගත්තේ ලාකිෂ් නගරයේදීය.+ ලාකිෂ් නගරයේ වැසියෙනි, දැන් ඔබේ අශ්ව රථ සූදානම් කරගන්න. 14  දේශයෙන් පිටත්ව යන විට මොරෂෙත්-ගාත් නගරයට තෑගි දෙන්න ඔබට සිදු වන්නේය.+ අක්ෂිබ්+ නගරය ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ බලාපොරොත්තු සුන් කර ඇත. 15  මරේෂාහ් නගරයේ වැසියෙනි,+ ඔබේ උරුමය පැහැරගැනීමට මම යමෙකුව එවන්නෙමි.+ ඊශ්‍රායෙල්හි තේජාන්විත තැනැත්තා* අදුල්ලාම් නගරය දක්වාම යන්නේය.+ 16  ඔබේ ප්‍රිය දරුවන් නිසා ඔබේ හිසකෙස් කපාගන්න. හිස මුඩු කරගන්න.+ මන්ද ඔබේ දරුවන්ව ඔබෙන් උදුරාගෙන දේශයෙන් පිටතට රැගෙන ගොස් ඇත. එබැවින් රාජාලියෙකුගේ හිස මෙන් ඔබේ හිසත් බූ ගාගන්න.”+

පාදසටහන්

හෝ, “දූවිලි නිවසේ.”
මූ.අ., “ඊශ්‍රායෙල්හි තේජස.”