යොෂුවා 14:1-15

14  පසුව කානාන් දේශයේ+ ඉඩම්ද ඊශ්‍රායෙල් සෙනඟට උරුමයක් ලෙස දෙනු ලැබීය. පූජක එලියාසර්ද නූන්ගේ පුත්‍රයා වූ යොෂුවාද ඊශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝද ඔවුන්ට උරුමය බෙදා දුන්නෝය.+  යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කර තිබූ ලෙස දාදු දමා+ ඉතුරු ගෝත්‍ර නවයටත් මනස්සේ ගෝත්‍රයේ අනික් කොටසටත් දේශයේ ඉඩම් බෙදා දෙන ලදි.+  මෝසෙස් ඒ වන විටත් යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි ප්‍රදේශය අනික් ගෝත්‍ර දෙකටත් මනස්සේ ගෝත්‍රයෙන් කොටසකටත් උරුමයක් ලෙස දී තිබිණ.+ එහෙත් ඊශ්‍රායෙල්හි අනික් ගෝත්‍රවලට මෙන් ලෙවී ගෝත්‍රයට ඔහු දේශයේ උරුමයක් ලබා දුන්නේ නැත.+  යෝසෙප්ගේ පුතුන් දෙදෙනාගෙන් පැවතෙන්නන් මේ වන විට මනස්සේ+ සහ එෆ්‍රායිම්+ ලෙස ගෝත්‍ර දෙකකට බෙදා තිබිණ.+ ලෙවී ගෝත්‍රයට තමන්ටම කියා උරුමයක් ලැබුණේ නැත. වාසය කිරීම සඳහා නගරද+ සතුන් සඳහා තණබිම්ද හැර වෙන කිසිවක් ඔවුන්ට නොලැබිණ.+  යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ආකාරයටම ඊශ්‍රායෙල්වරු දේශයේ ඉඩම් බෙදුවෝය.  එක් දිනක් යූදා ගෝත්‍රයේ සෙනඟ යොෂුවාව හමු වීමට ගිල්ගාල් නගරයට+ පැමිණියෝය. ඔවුන්ගෙන් කෙනෙකු වන කෙනිෂ්ෂිවරයෙකු+ වූ යෙෆුන්නෙගේ පුත් කාලෙබ්+ යොෂුවාට මෙසේ කීවේය. “සැබෑ දෙවි+ වන යෙහෝවා තම සේවකයෙක් වූ මෝසෙස්ට කාදෙෂ්-බර්නේයේදී+ මා ගැනත් ඔබ ගැනත් කියූ දේ+ ඔබ හොඳාකාරයෙන්ම දන්නවා.  යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස් දේශයේ තොරතුරු සොයා බලන්න කාදෙෂ්-බර්නේයේ ඉඳන් මාව යැව්වා.+ ඒ කාලයේදී මගේ වයස අවුරුදු හතළිහයි. එහි තිබූ සැබෑ තත්වය ගැන මම ඇවිත් මෝසෙස්ට වාර්තා කළා.+  එහෙත් මා සමඟ ගිය අනික් අය කියූ දේවල් නිසා ඊශ්‍රායෙල් සෙනඟ හොඳටම භය වුණා.+ මම මුළු හදවතින්ම මගේ දෙවි වන යෙහෝවාව විශ්වාස කළා.+  ඒ නිසා එදා මෝසෙස් දිවුරා මෙහෙම කිව්වා. ‘ඔබ මගේ දෙවි යෙහෝවාව මුළු හදවතින්ම විශ්වාස කළ නිසා ඔබ තොරතුරු බලන්න ගිය දේශය+ ඔබටත් ඔබේ දරුවන්ටත් සදාකාලයටම උරුමයක් ලෙස ලැබෙනවා.’+ 10  යෙහෝවා දෙවි එම පොරොන්දුව+ මෝසෙස් මාර්ගයෙන් දුන්නේ ඊශ්‍රායෙල් සෙනඟ පාළුකරයේ ගමන් කළ කාලයේදීයි.+ ඒ පොරොන්දුව ඉටු වෙනවා දකින්න යෙහෝවා දෙවි මගේ ජීවිතය මේ අවුරුදු හතළිස්පහ පුරාම ආරක්ෂා කර තිබෙනවා.+ දැන් මට වයස අවුරුදු අසූපහයි. 11  ඒත් මෝසෙස් මාව දේශයේ තොරතුරු සොයා බලන්න යැවූ දා වගේම මම තවමත් ශක්තිමත්ව ඉන්නවා.+ එදා වගේම අදත් මම යුද්ධ කරන්න දක්ෂයි.+ 12  එදා යෙහෝවා දෙවි මට දෙන බවට පොරොන්දු වූ ඒ කඳුකර පළාත යටත් කරගන්න දැන් මට අවසර දෙන්න.+ එහි අනාක්වරු+ ඉන්න බවද පවුරුවලින් වට කළ විශාල නුවරවල්+ එහි තිබෙන බවද ඔබටත් දැනගන්න ලැබුණා. නමුත් යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙස මට ඔවුන්ව පන්නා දමන්න පුළුවන් වෙයි.+ ඒ සඳහා යෙහෝවා දෙවි මට ශක්තිය දෙන බවත් මට විශ්වාසයි.”+ 13  එවිට යොෂුවා යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ට ආශීර්වාද කර ඔහුට හෙබ්‍රොන් උරුමයක් ලෙස දුන්නේය.+ 14  කෙනිෂ්ෂිවරයෙකු වූ යෙෆුන්නෙගේ පුත් කාලෙබ් මුළු හදවතින්ම ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාව විශ්වාස කළ නිසා ඔහුට හෙබ්‍රොන් උරුම විය. අද වන තුරු එය ඔහුට අයිතිය.+ 15  මීට කලින් හෙබ්‍රොන් නගරය හැඳින්වූයේ කිර්යත්-අර්බා+ යන නමින්ය. (අර්බා+ යනු අනාක් ජාතිකයන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූ මනුෂ්‍යයෙකි.) ඒ දේවල් සිදු වූ පසු යුද්ධයෙන් තොර සාමකාමී වාතාවරණයක් දේශය පුරා පැවතිණ.+

පාදසටහන්