යෝනා 1:1-17

1  යෙහෝවා දෙවි අමිත්තයිගේ පුත් යෝනාට+ කතා කර මෙසේ කීවේය.  “නිනිවය+ නම් මහත් නුවරේ වැසියන්ගේ දුෂ්ටකම් මට පෙනිණ.+ දැන් එතැනට ගොස් මගේ විනිශ්චය ගැන එහි වැසියන්ට කියන්න.”  නමුත් යෝනා, යෙහෝවා දෙවි වෙතින් පලා ගොස්+ තර්ෂිෂ්+ දෙසට ගමන් කළේය. ඔහු යොප්පාවට පැමිණි+ විට තර්ෂිෂ් බලා යන නැවක් දුටුවේය. ඔහු ගාස්තු ගෙවා එම නැවට ඇතුල් වුණේය. ඔහු එසේ කළේ යෙහෝවා දෙවි වෙතින් පලා යෑමටය.  පසුව යෙහෝවා දෙවි මුහුද දෙසට තද සුළඟක් හමන්න සැලැස්වූවේය.+ මහ කුණාටුවක් ඇති වී+ නැව ගිලෙන්න පටන්ගත්තේය.  එහි සිටි නැවියෝ භය වී එක් එක් කෙනා තම තමාගේ දෙවියන්ගෙන් උපකාර ඉල්ලා+ කෑගසන්න පටන්ගත්තෝය. පසුව ඔවුහු නැවේ බර සැහැල්ලු කිරීමට එහි තිබුණු බඩු බාහිරාදිය මුහුදට විසි කළෝය.+ මේ දේවල් සිදු වන විට යෝනා නැවේ පහළම තට්ටුවේ තද නින්දක සිටියේය.+  කපිතාන්වරයා ඔහු ළඟට ගොස් කෑගසා මෙසේ කීවේය. “මේ වගේ වෙලාවක ඔබ නිදාගෙන ඉන්නේ ඇයි? නැඟිට ඔබේ දෙවිට යාච්ඤා කරන්න.+ සමහරවිට සැබෑ දෙවි අපිට අනුකම්පා කර අපිව බේරාගනීවි.”+  “අපිට මේ විපත වුණේ කවුරු නිසාද කියා+ බලන්න අපි දාදු දමමු”+ කියා නැවියෝ එකිනෙකා අතරේ කතා කරගත්තෝය. දාදු දැමූ විට තෝරාගනු ලැබුවේ යෝනාවය.+  එවිට ඔවුහු, “අපිට මෙවැනි දෙයක් සිදු වෙන්නේ ඇයි කියලා කියන්න.+ ඔබ මොනවා කරන කෙනෙක්ද? ඔබ ආවේ කොයි ප්‍රදේශයේ ඉඳලද? ඔබේ ගම කොහේද? ඔබ කුමන ජාතියේ කෙනෙක්ද” යනුවෙන් යෝනාගෙන් ප්‍රශ්න කළෝය.  එවිට යෝනා ඔවුන්ට මෙසේ කීවේය. “මම හෙබ්‍රෙව් ජාතිකයෙක්.+ මම ගරුබිය දක්වන්නේ+ මුහුදත් ගොඩබිමත් නිර්මාණය කළ+ ස්වර්ගයේ දෙවි වන යෙහෝවාටයි.”+ 10  එය ඇසූ විට ඒ මිනිස්සු බොහෝ සෙයින් භය වී, “ඔබ මේ වගේ දෙයක් කළේ ඇයි”+ කියා යෝනාගෙන් ඇසුවෝය. මන්ද තමා යෙහෝවා දෙවි වෙතින් පලා යන බව යෝනා ඔවුන්ට කියා තිබිණ. 11  ඉන්පසු ඔවුහු ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “මුහුද නිශ්චල කරන්න අපි මොනවද කරන්න ඕනේ?”+ මන්ද ඒ වන විට කුණාටුව තව තවත් දරුණු වෙමින් තිබිණ. 12  යෝනා ඔවුන්ට මෙසේ කීවේය. “මේ මහ කුණාටුව ඇති වුණේ මම නිසයි. ඒ නිසා දැන් මාව මුහුදට විසි කරන්න. එවිට මුහුද නිශ්චල වෙයි.”+ 13  නමුත් ඒ මිනිස්සු එසේ කිරීමට අකමැති වී, ආපසු ගොඩබිම බලා යාත්‍රා කිරීමට උත්සාහ කළෝය. එහෙත් මුහුද එන්න එන්නම කැලඹුණු නිසා ඔවුන්ට එසේ කිරීමට නොහැකි විය.+ 14  අන්තිමේදී ඔවුහු යෝනා කී දේට එකඟ වී ශබ්ද නඟා යෙහෝවා දෙවිට මෙසේ කන්නලව් කළෝය.+ “අනේ යෙහෝවා දෙවියනි, අපි දැන් කරන්න යන දේ නිසා උදහස් වෙන්න එපා! යෙහෝවා දෙවියනි, ඔබ මේ හැම දෙයක්ම කළේ ඔබේම කැමැත්තට එකඟවයි.+ ඒ නිසා මේ අහිංසක මිනිසාගේ ජීවිතය නැති කළා කියා අපිට දඬුවම් කරන්න එපා!”+ 15  එසේ කියා ඔවුහු යෝනාව ඔසවා මුහුදට විසි කළෝය. එවෙලේම කුණාටුව නතර විය.+ 16  මේ දේවල් සිදු වූ පසු ඒ මිනිසුන්ට යෙහෝවා දෙවි කෙරෙහි මහත් ගරුබියක් ඇති විය.+ පසුව ඔවුහු යෙහෝවා දෙවිට පූජාවක් ඔප්පු කර,+ ඔහු වෙනුවෙන් නොයෙකුත් දේවල් කිරීමට පොරොන්දු වූහ.+ 17  යෙහෝවා දෙවි යෝනාව ගිලගන්න විශාල මත්ස්‍යයෙකුව එව්වේය.+ යෝනා ඒ මත්ස්‍යයාගේ බඩේ දහවල් තුනක්ද රාත්‍රි තුනක්ද සිටියේය.+

පාදසටහන්