රූත් 2:1-23

2  නායොමිට ඉතා ධනවත්+ නෑදෑයෙක් සිටියේය. ඔහු ඇගේ ස්වාමිපුරුෂයා වූ එලිමෙලෙක්ගේ පවුලේ කෙනෙකි.+ ඔහුගේ නම බෝවස්ය.+  කලක් ගෙවුණු පසු මෝවබ් ජාතික රූත්, නායොමිගෙන් මෙසේ ඇසුවාය. “කෙතේ අතහැරුණු ධාන්‍ය කරල් එකතු කරන්න යන්න මට අවසර දෙන්න.+ මට කරුණාවෙන් සලකන කෙනෙක්ගේ කෙතකට ගිහින් මම කරල් අහුලන්නම්.” නායොමිද, “යන්න දුවේ. ගිහින් කරල් එකතු කරගෙන එන්න” කියා ඇයට කීවාය.  ඇයද අස්වැන්න කපන්නන් පිටුපස යමින් කෙතේ අතහැරුණු ධාන්‍ය කරල් ඇහින්දාය.+ මෙසේ, ඇය අහම්බෙන් මෙන් එලිමෙලෙක්ගේ+ පවුලට අයත් බෝවස් නම් තැනැත්තාගේ කෙතට ඇතුල් වුණාය.+  ඒ අතරතුරේදී, බෝවස් බෙත්ලෙහෙමේ සිට එතැනට පැමිණියේය. “යෙහෝවා දෙවි ඔබ සමඟ සිටීවා”+ යයි කියමින් ඔහු අස්වැන්න නෙළන්නන්ට ආචාර කළේය. ඔවුහුද ඔහුට ආචාර කරමින්, “ඔබට යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලැබේවා”+ යයි පැවසූහ.  ඉන්පසු බෝවස්,+ “මේ තරුණිය කාගේ කවුද” කියා අස්වැන්න නෙළන්නන්ගේ වැඩ අධීක්ෂණය කළ තරුණයාගෙන් ඇසීය.  ඔහු පිළිතුරු දෙමින් මෙසේ කීවේය. “ඇය මෝවබ් ජාතික තරුණියක්.+ නායොමි එක්ක මෝවබ් දේශයේ+ ඉඳලයි මෙහෙට ඇවිත් තියෙන්නේ.  ‘මට කෙතේ අත්හැරුණු කරල් අහුලන්න අවසර දෙනවාද?+ මම කපන අය පිටිපස්සේ ගිහින් තැනින් තැන වැටිලා තියෙන කරල් අහුලන්නද’ කියා ඇය ඇසුවා. ඉතින් ඇය කෙතට ඇවිත් උදේ ඉඳන් මේ වෙනකම්ම කරල් ඇහින්දා. ඇය පැලට ඇවිත් ඉඳගත්තේ සුළු මොහොතකට ඉස්සෙල්ලයි.”+  පසුව බෝවස් රූත්ට මෙසේ කීවේය. “මේ අහන්න දුවේ. මේ කෙත අත්හැරලා යන්න එපා.+ මගේ සේවිකාවන් එක්ක මේ කෙතේ කරල් අහුලන්න.+  ඔවුන් අස්වැන්න එකතු කරන්නේ කොහේද කියලා සොයා බලා ඔවුන් සමඟ එතැනට යන්න. ඔබට කිසි කරදරයක් කරන්න එපා+ කියලා මම තරුණයන්ට කිව්වා. ඔබට පිපාස වුණහම වතුර ඇදලා දෙන තරුණයන් ළඟට ගිහින් ඔවුන් පුරවන භාජනවලින් අරං වතුර බොන්න.”+ 10  එවිට ඇය දණින් වැටී හිස නමා+ ඔහුගෙන් මෙසේ ඇසුවාය. “මම විදේශිකයෙක්+ වෙලත් ඔබ මට කරුණාවෙන් සලකන්නේ ඇයි?” 11  බෝවස් ඇයට උත්තර දෙමින් මෙසේ කීවේය. “ඔබේ ස්වාමිපුරුෂයා මිය ගියාට පස්සේ නැන්දම්මා වෙනුවෙන් ඔබ කළ හැම දෙයක් ගැනම+ මට ආරංචි+ වුණා. ඔබේ අම්මා තාත්තා විතරක් නෙමෙයි ඔබේ නෑදෑයන් ඉන්න දේශය පවා අත්හැර, ඔබ නාඳුනන මේ දේශයට ආ බව මට දැනගන්න ලැබුණා.+ 12  ඔබේ යහපත් ක්‍රියාවලට යෙහෝවා දෙවිගෙන් ඔබට ආශීර්වාද ලැබේවා!+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ පියාපත් සෙවණේ රැකවරණය සොයන ඔබට+ ඔහුගෙන් බොහෝ ආශීර්වාද ලැබේවා!”+ 13  ඇයද ඔහුට මෙසේ කීවාය. “මාගේ ස්වාමීනි, මා ඔබේ මෙහෙකාරියන්ට වඩා ගොඩක් වෙනස්.+ එහෙත් ඔබ ඔබේ මෙහෙකාරිය වන මාව සනසා මගේ බිය සැක දුරු කළා.+ මට හැමදාම මේ විදිහට ඔබෙන් කරුණාව ලබාගන්න පුළුවන් නම් එය මොන තරම් ආශීර්වාදයක්ද!” 14  කෑම කන වේලාවේදී, බෝවස් ඇයට මෙසේ කීවේය. “ඇවිත් මෙතැන තියෙන රොටි අරං කන්න.+ ඒවා මේ ඇඹුල් වයින්වල පොඟවා කන්න.” එබැවින් ඇය අස්වැන්න කපන්නන් ළඟ හිඳගත්තාය. බෝවස් බැදපු ධාන්‍ය ඇගේ අතට දුන්නේය.+ ඇය එයින් කා තෘප්තියට පැමිණි පසුත් කෑම ඉතුරු වී තිබිණ. 15  ඉන්පසු ඇය නැඟිට ආපසු කරල් අහුලන්න ගියාය.+ එවිට බෝවස් ඔහුගේ තරුණයන්ට අණ දෙමින් මෙසේ කීවේය. “ඇයට හිරිහැර කරන්න එපා.+ ධාන්‍ය මිටි අතරේ වැටිලා තියෙන කරල් අහුලගන්න ඇයට ඉඩ දෙන්න. 16  ඇයට අහුලගන්න ධාන්‍ය මිටිවලින් කරල් කිහිපයකුත් අරන් බිමට දාන්න.+ ඇයට කරුණාවෙන් කතා කරන්න.” 17  ඇය සවස් වන තෙක් කෙතේ කරල් ඇහින්දාය.+ ඇය අහුලාගත් කරල් තළා+ සුද්ද කරගත් විට බාර්ලි ඒපාවක්*+ පමණ තිබිණ. 18  ඇය එම ධාන්‍ය රැගෙන නුවරට ගොස් ඇගේ නැන්දම්මාට පෙන්වූවාය. දහවල් කෑමෙන් ඉතුරු කරගත් ධාන්‍ය ටිකද+ නැන්දම්මාට දුන්නාය. 19  නායොමි රූත්ගෙන් මෙසේ ඇසුවාය. “අද කරල් ඇහින්දේ කොහෙද? අද දුව වැඩ කළේ කාගේ කෙතේද? දුවට හොඳින් සැලකූ තැනැත්තාට ආශීර්වාද ලැබෙන්න ඕනේ!”+ එවිට රූත්, “අද මම වැඩ කළේ බෝවස් කියන මිනිසාගේ කෙතේ” යයි තම නැන්දම්මාට පැවසුවාය. 20  එවිට නායොමි ඇගේ ලේලිට මෙසේ පැවසුවාය. “ජීවතුන් වගේම මළවුන්වත්+ කිසිදා අමතක නොකර නොසැලෙන ප්‍රේමයක්*+ පෙන්වූ යෙහෝවා දෙවිගෙන් ඔහුට ආශීර්වාද ලැබේවා!”+ නායොමි මෙසේද කීවාය. “බෝවස් අපේ නෑදෑයෙක්.*+ ඒ නිසා නෑදෑයෙකු අතින් ඉටු විය යුතු වගකීම් ඔහු ඉෂ්ට කරාවි.”+ 21  එවිට මෝවබ් ජාතික රූත් මෙසේ කීවාය. “‘මගේ සේවකයන් අස්වැන්න කපා අවසන් වෙනකම් ඔවුන් සමඟම ඉන්න’ කියලත් ඔහු මට කිව්වා.”+ 22  නායොමිද,+ “ඒක හොඳයි. වෙන කෙතකට ගියොත් දුවට කරදරයක් වෙන්න පුළුවන්.+ ඒ නිසා බෝවස්ගේ සේවිකාවන් එක්කම ඉන්න” කියා රූත්ට+ පැවසුවාය. 23  රූත් බෝවස්ගේ සේවිකාවන් සමඟ දිගටම කරල් ඇහින්දාය. බාර්ලි+ හා තිරිඟු අස්වැන්න නෙළා අවසන් වන තෙක්ම ඇය එසේ කළාය. රූත් දිගටම ඇගේ නැන්දම්මා සමඟ ජීවත් වුණාය.+

පාදසටහන්

නික් 16:36හි පාදසටහන බලන්න.
මූ.අ., “අපේ මුදවාගන්නෙක්.”
හෝ, “ළැදි ප්‍රේමය.”