රෝම 9:1-33

9  ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු ලෙස මා ඔබට පවසන දේවල් සැබෑය.+ මම බොරු නොකියමි.+ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයට එකඟව ක්‍රියා කරන මගේ හෘදය සාක්ෂිය මා පවසන දේ සැබෑවක් බව සාක්ෂි දරයි.  එහෙයින් මගේ සිතේ මහත් දුකක් හා වේදනාවක් ඇති බව+ පවසන විට මාව විශ්වාස කරන්න.  ඇත්තෙන්ම දෙවිගෙන් ඈත්ව සිටින මගේම ජාතියට අයත්+ මගේ සහෝදරයන්ට+ උපකාර කිරීම වෙනුවෙන් ක්‍රිස්තුස්ගෙන් ඈත් කර ඇති විනාශයට නියමිත කෙනෙකු ලෙස වෙන් කරනු ලබනවාට පවා මා කැමතිය.  මන්ද ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ය.+ පුත්‍රයන් ලෙස භාරගෙන තිබුණේ ඔවුන්වය.+ මහත් ගෞරවයක් ලැබුවෙත්+ ගිවිසුම්වලින් බැඳුණෙත්+ නීතිය ලැබුවෙත්+ පරිශුද්ධ සේවයක් කිරීමේ ප්‍රස්තාව ලැබුවෙත්+ දෙවිගේ පොරොන්දු ලැබුවෙත්+ ඔවුන්ය.  අපගේ මුතුන්මිත්තන්ගෙන්+ පැවතෙන්නේ ඔවුන්ය. ඔවුන්ගේම දරුවෙකු ලෙස ක්‍රිස්තුස්ද බිහි වුණේය.+ ඒ සෑම දෙයක්ම එසේ සිදු කළ සියල්ලේ අධිපතියාණන් වන දෙවිට+ ප්‍රශංසාව හිමි වේවා! ආමෙන්.  ඔවුන් දෙවිගෙන් ඈත්ව සිටියත් දෙවි පොරොන්දු වූ දේ ඉටු නොවන බව සිතිය නොහැක.+ මන්ද උපතින්ම ඊශ්‍රායෙල්වරුන් වන සියලුදෙනාම සැබෑ “ඊශ්‍රායෙල්වරු” නොවෙති.+  එසේම ඔවුන් ආබ්‍රහම්ගෙන් පැවත ආ පමණින් ඔවුහු ඇත්තටම ඔහුගේ සැබෑ දරුවෝ නොවෙති.+ මන්ද, “‘ඔබට පොරොන්දු වූ තැනැත්තා’ පැවතෙන්නේ ඊසාක්ගෙන්ය”+ කියා සඳහන් වී ඇත.  ඉන් අදහස් වන්නේ ආබ්‍රහම්ගෙන් පැවතෙන සියලුදෙනාම+ අනිවාර්යයෙන්ම දෙවිගේ දරුවන් ලෙස සලකන්නේ නැති බවයි.+ ඒ අනුව සැබෑ දරුවන් ලෙස සලකන්නේ පොරොන්දුව ලබන දරුවන්+ පමණක් බව පැහැදිලිය.  ඇත්තෙන්ම දෙවි එදා ඒ පොරොන්දුව ලබා දුන්නේ මෙසේ පවසමිනි. “ඒ කාලයේදී මම නැවත පැමිණෙන්නෙමි. ඒ වන විට සාරාට පුත්‍රයෙක් සිටීවි.”+ 10  එවැනි පොරොන්දුවක් දෙනු ලැබුවේ ඒ අවස්ථාවේදී පමණක් නොවේ. අපගේ මුතුන්මිත්තා වන ඊසාක් මාර්ගයෙන් රෙබෙකාගේ කුස තුළ නිවුන් දරුවන්+ පිළිසිඳගත් අවස්ථාවේදීත් එවැනිම පොරොන්දුවක් දෙන ලදි. 11  ඒ දරුවන් දෙදෙනා ඉපදෙන්නත් පෙර එනම්, ඔවුන් කිසි යහපතක් හෝ වරදක් කරන්නත් පෙර දෙවි තේරීමක් කළේය.+ එයින් පැහැදිලි වූයේ දෙවි යමෙකුව තෝරාගන්නේ ඔහු කරන ක්‍රියා අනුව නොව දෙවි අරමුණු කර ඇති දේට අනුව බවයි. එහෙයින් කැඳවීම කරන්නේ දෙවිය.+ 12  ඒ අනුව දෙවි රෙබෙකාට මෙසේ පැවසුවේය. “වැඩිමලා බාලයාට දාසයෙක් වන්නේය.”+ 13  එසේම, “මම ප්‍රේම කළේ යාකොබ්ටය. නමුත් ඒසව්ව මම ප්‍රතික්ෂේප කළෙමි”+ කියාද ලියා තිබේ. 14  මේ දේවල් සලකා බලද්දී දෙවි අතින් යම් අසාධාරණයක් සිදු වී ඇති බව අප සිතිය යුතුද?+ නැත. එලෙස කිසිවිටකත් නොසිතන්න. 15  දෙවි මෝසෙස්ට පැවසූ දෙයින් එය පැහැදිලි වේ. එනම්, “මා යමෙකුට දයාව පෙන්වන්න කැමති නම් මම ඔහුට දයාව පෙන්වමි. මා යමෙකුට අනුකම්පාව පෙන්වන්න කැමති නම් මම ඔහුට අනුකම්පාව පෙන්වමි”+ යනුවෙන්ය. 16  එහෙයින් දෙවිගේ තේරීමට පදනම සපයන්නේ කෙනෙකුගේ පෞද්ගලික ආශාව හෝ ඔහු දරන වෑයම නොවේ. ඒ දේ තීරණය කරන්නේ දයාව පෙන්වන+ දෙවිය.+ 17  උදාහරණයකට දෙවි පාරාවෝට පැවසූ දේ ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ සඳහන් වේ. “මා මේ වන තුරු ඔබට ජීවත් වන්න ඉඩහැරියේ ඔබට සිදු වන දේ තුළින් මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.”+ 18  ඒ අනුව ඔහු දයාව පෙන්වන්නේ ඔහු කැමති තැනැත්තාටය.+ නමුත් මුරණ්ඩු වන තැනැත්තාට එසේ මුරණ්ඩු වීමට දෙවි ඉඩහරියි.+ 19  මා දැන් පැවසූ දේවල් සලකා බලන විට, “කිසි කෙනෙකුට දෙවි අරමුණු කර ඇති දේට හරස් විය නොහැකි නිසා+ දෙවි මිනිසුන් කරන දේවලට දොස් කියන්නේ ඇයි” කියා ඔබට සිතෙන්න පුළුවන. 20  නමුත් සහෝදරයෙනි,+ දෙවිට විරුද්ධව එසේ සිතන්න ඔබ කවුද?+ “ඔබ මාව මේ විදිහට හැදුවේ ඇයි”+ කියා කුඹල්කරුගෙන් ඇසීමට මැටිවලින් අඹනු ලැබූ බඳුනකට හැකිද? 21  එකම මැටි පිඩෙන් එක බඳුනක් ගෞරවනීය කාර්යයක් සඳහාද තවත් එකක් ගෞරවනීය නොවන කාර්යයක් සඳහාද සෑදීමට+ කුඹල්කරුට+ අයිතියක් නැද්ද? 22  ඇත්තෙන්ම දුෂ්ට මිනිසුන්ට විරුද්ධව තම උදහස ප්‍රකාශ කර ඒ තුළින් තමා කොතරම් බලවත්ද කියා පෙන්වීමට දෙවිට හැකියාව තිබිණ. එසේවුවත් ඔහු මහත් ඉවසිල්ලක් පෙන්වමින් විනාශ කිරීමට සුදුසු බඳුන් හා සමාන ඒ පුද්ගලයන්ට විරුද්ධව තම උදහස ප්‍රකාශ නොකර සිටියේය.+ 23  දෙවි එසේ කළේ දයාව ලැබීමට සුදුසු බඳුන් හා සමාන පුද්ගලයන්ට+ ඔහුගේ තේජස බහුලව+ ලබා දීම සඳහාය. ඒ පුද්ගලයන්ව තේජසට පත් කරන්න ඔහු කල්තියාම පියවර ගත්තේය.+ 24  ඒ පුද්ගලයන් නම් අපය. අපව ගෙන තිබෙන්නේ යුදෙව්වන් අතරින් පමණක් නොවේ. වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් අතරින්ද අපව ගෙන තිබේ.+ දෙවි එසේ කර ඇත්නම් ඒ ගැන ප්‍රශ්න නැඟිය හැක්කේ කාටද? 25  දෙවි හොෂෙයාගේ ලියවිල්ලෙහි සඳහන් කළ දෙයින්ද එය සනාථ වේ. එනම්, “මට අයිති නැති සෙනඟකට+ මම, ‘මාගේ සෙනඟ’ කියා අමතන්නෙමි. ප්‍රේම නොකළ තැනැත්තියට ‘ප්‍රේමණීය’ තැනැත්තිය+ කියාද පවසන්නෙමි. 26  ‘ඔබව මාගේ සෙනඟ ලෙස පිළි නොගන්නෙමි’ කියා පැවසූ ස්ථානයේදීම ඔවුන්ව, ‘ජීවමාන දෙවිගේ පුත්‍රයන්’ ලෙස හඳුන්වනු ලැබේ”+ කියාද සඳහන් වේ. 27  මීට අමතරව යෙසායා ඊශ්‍රායෙල්වරුන් ගැන හඬ නඟා පැවසුවේ මෙසේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්+ වුවත් ගලවාගනු ලබන්නේ කුඩා පිරිසක් පමණි.+ 28  මන්ද යෙහෝවා දෙවි ප්‍රමාද නොවී පොළොවේ වාසය කරන අයව සම්පූර්ණයෙන්ම විනිශ්චය කරන්නේය.”+ 29  යෙසායා මෙවැනි අනාවැකියක්ද පැවසුවේය. “ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිගේ+ කරුණාව නිසා අපගෙන් පැවතෙන්නෝ ඉතුරු වී සිටිති. එසේ නැත්නම් අපි සොදොම් සහ ගොමෝරාව මෙන් සහමුලින්ම නැති වී යනු ඇත.”+ 30  එයින් අප තේරුම්ගන්නේ කුමක්ද? වෙනත් ජාතීන්ට අයත් අය ධර්මිෂ්ඨ වීමට උත්සාහ නොකළත් ඔවුහු දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨයන් බවට පත් වූහ.+ ඒ ඔවුන් තුළ තිබූ විශ්වාසය නිසාය.+ 31  නමුත් ඊශ්‍රායෙල්වරු ඒ නීතිය තුළින් ධර්මිෂ්ඨ වීමට උත්සාහ කළත් ඔවුන්ට එය සම්පූර්ණයෙන්ම පිළිපැදීමට නොහැකි විය.+ 32  ඒ කුමන හේතුවක් නිසාද? ඔවුන් ධර්මිෂ්ඨ වීමට උත්සාහ කළේ ඔවුන්ගේ ක්‍රියාවලින් පමණි. ඔවුන් තුළ විශ්වාසයක් තිබුණේ නැත.+ එහෙයින් ඔවුහු, “වැටීමට හේතු වන ගල” නිසා ඇද වැටුණෝය.+ 33  එය සිදු වූයේ ලියවිලිවල සඳහන් ආකාරයටය. එනම්, “මම සියොන්හි, ඔබේ වැටීමට හේතු වන ගලක්ද+ ඔබේ ඇද වැටීමට තුඩු දෙන පර්වතයක්ද+ තබන්නෙමි. නමුත් ඒ මත විශ්වාසය තබන තැනැත්තාගේ බලාපොරොත්තු කිසිදාක කඩ වන්නේ නැත.”+

පාදසටහන්