විනිශ්චයකරුවෝ 10:1-18

10  අබිමෙලෙක්ගේ මරණයෙන් පසු දෝදෝගේ පුත්‍රයෙකු වූ පුවාගේ පුත් තෝලා, ඊශ්‍රායෙල්වරුන්ට සේවය කිරීම සඳහා විනිශ්චයකරුවෙකු ලෙස පත් විය.+ ඔහු ඉසකාර් ගෝත්‍රයේ කෙනෙකි. ඔහු ජීවත් වූයේ එෆ්‍රායිම් කඳුකරයේ+ ෂාමීර් නම් ස්ථානයෙහිය.  ඔහු ඊශ්‍රායෙල් දේශයේ අවුරුදු විසිතුනක් පුරා විනිශ්චයකරුවෙකු ලෙස සේවය කළේය. ඔහු මිය ගිය විට ඔහුව තැන්පත් කරන ලද්දේ ෂාමීර් නම් ස්ථානයෙහිය.  ඉන්පසු ඊශ්‍රායෙල්හි විනිශ්චයකරුවෙකු ලෙස පත් වූයේ ගිලියද් දේශයේ වැසියෙකු වූ+ යායිර්ය. ඔහු අවුරුදු විසිදෙකක් පුරා විනිශ්චයකරුවෙකු ලෙස සේවය කළේය.  ඔහුට පුතුන් තිස්දෙනෙක් සිටියෝය. හොඳින් වැඩුණු බූරුවන්+ තිස්දෙනෙකු පිට ගමන් කළ ඔවුහු නුවරවල් තිහක් පාලනය කළෝය. ගිලියද් දේශයේ තිබූ මෙම නුවරවල් තිහම ඔවුහු හව්වෝත්-යායිර්+ යන නමින් හැඳින්වූහ. අද දක්වාම ඒ නුවරවල් හඳුන්වන්නේ ඒ නමින්ය.  යායිර් මිය ගිය විට ඔහුව තැන්පත් කරන ලද්දේ කාමොන් නම් ස්ථානයෙහිය.  ඔහුගේ මරණයෙන් පසු ඊශ්‍රායෙල්වරු නැවතත් යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කිරීමට පටන්ගත්තෝය.+ ඔවුහු බාල් දෙවිවරුන්ටත්+ අෂ්ටොරෙත්+ දෙවඟනගේ රූපවලටත් සිරියාවේ දෙවිවරුන්ටත්+ සීදොන් වැසියන්ගේ දෙවිවරුන්ටත්+ මෝවබ්වරුන්ගේද+ අම්මොන්වරුන්ගේද+ පිලිස්තිවරුන්ගේද+ දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කිරීමට පටන්ගත්තෝය. මෙසේ යෙහෝවා දෙවිට නමස්කාර කිරීම අත්හැර දැමූ ඔවුහු දෙවිගෙන් ඈත් වූහ.+  ඔවුන් කළ මේ දේවල් නිසා බොහෝ සෙයින් උදහස් වූ යෙහෝවා දෙවි+ ඔවුන්ව පිලිස්තිවරුන්ගේ+ හා අම්මොන්වරුන්ගේ+ අතට හසු වීමට ඉඩහැරියේය.+  ඔවුහු ඊශ්‍රායෙල් සෙනඟට අවුරුදු දහඅටක් පුරා දරුණු ලෙස හිරිහැර කළෝය. යොර්දාන් ගඟෙන් එගොඩ අමෝරිවරුන්ගේ දේශයේ එනම්, ගිලියද් දේශයේ විසූ සියලුම ඊශ්‍රායෙල්වරු ඔවුන්ගේ කුරිරු පාලනය නිසා බොහෝ සේ හිංසා පීඩා වින්දෝය.  එපමණක්ද නොව අම්මොන්වරු යොර්දාන් ගඟෙන් මෙගොඩට ඇවිත් එහි සිටි යූදා, බෙන්ජමින් සහ එෆ්‍රායිම් යන ගෝත්‍රවලට විරුද්ධව සටන් කළෝය. මෙසේ ඔවුහු ඊශ්‍රායෙල් දේශයේ සිටි සියලුදෙනාටම බොහෝ සේ හිරිහැර කළෝය.+ 10  එවිට ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිගේ පිහිට පතමින්+ දෙවිට මෙසේ පැවසූහ. “දෙවියනි, අපි ඔබව අත්හැර බාල් දෙවිවරුන්ට පුදපූජා ඔප්පු කළා.+ එය අප අතින් සිදු වූ බරපතළ පාපයක්.”+ 11  පසුව යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ පැවසීය. “මම ඔබව ඊජිප්තුවරුන් අතින්ද+ අමෝරිවරුන්,+ අම්මොන්වරුන්+ හා පිලිස්තිවරුන් අතින්ද+ 12  සීදොන්වරුන්,+ අමලෙක්වරුන්+ හා මිදියන්වරුන් අතින්ද+ ගලවාගත්තේ නැද්ද? ඔවුන් ඔබට හිංසා පීඩා කළ විට+ මම ඔබේ මොරගැසීම්වලට ඇහුම්කන් දී ඔබව ඔවුන්ගෙන් බේරාගත් ආකාරය ඔබට මතක නැද්ද? 13  නමුත් ඔබ මාව අත්හැර+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළහුය.+ එමනිසා මම නැවත වරක් ඔබේ සතුරන්ගෙන් ඔබව ගලවා නොගන්නෙමි.+ 14  ඔබ නමස්කාර කරන ඔබේ දෙවිවරුන්+ වෙතටම දැන් යන්න. ඔවුන්ගෙන් පිහිට පතන්න.+ ඔබ දැන් අද්දකින මේ හිංසා පීඩාවලින් ඔබව ගලවාගන්න කියා ඔවුන්ටම පවසන්න.” 15  නමුත් ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිට මෙසේ පැවසූහ. “දෙවියනි, අප කළේ බරපතළ පාපයක්.+ ඒ නිසා ඔබ කැමති විදිහට අපට දඬුවම් කරන්න.+ ඒත් අප ඔබෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේදී අපේ සතුරන්ගෙන් අපව ගලවාගන්න කියලයි.”+ 16  එසේ පැවසූ ඊශ්‍රායෙල්වරු තමන් පුදපූජා ඔප්පු කරමින් සිටි සියලුම බොරු දෙවිවරුන්ව ඉවත් කර,+ යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පටන්ගත්තෝය.+ ඔවුන් කළ ඒ දේ දෙවි දුටුවේය. ඔහුට තවදුරටත් ඊශ්‍රායෙල්වරුන් අද්දකිමින් සිටි ඒ මහත් වේදනාව බලා සිටීමට නොහැකි විය.+ 17  කල් යත්ම අම්මොන්වරු+ ගිලියද් දේශයට+ විරුද්ධව යුද්ධ කිරීම සඳහා එහි ගොස් කඳවුරු බැඳගත්තෝය. එහෙයින් ඊශ්‍රායෙල්වරුද යුද්ධ කිරීම සඳහා මිෂ්පාහි+ කඳවුරු බැඳගත්තෝය. 18  ඒ අවස්ථාවේදී ගිලියද්හි වැසියන් හා එහි අධිපතීන් අතරේ සාකච්ඡාවක් ඇති විය. ඔවුහු මෙසේ කතා වූහ. “අම්මොන්වරුන්ට විරුද්ධව යුද්ධයට යද්දී අපේ නායකයා හැටියට අපි කාව හරි පත් කරගන්න ඕනේ.+ ඒ නිසා ඊට සුදුසු කෙනෙක්ව ගිලියද්හි වැසියන්ගේ ප්‍රධානියා හැටියට අපි පත් කරමු.”+

පාදසටහන්