විනිශ්චයකරුවෝ 11:1-40

11  යෙප්තා+ නම් ඉතා එඩිතර බලසම්පන්න පුරුෂයෙක්+ සිටියේය. ඔහු ගිලියද්හි වැසියෙකි.+ ඔහුගේ මව ගණිකාවකි.+ ඔහුගේ පියාගේ නම ගිලියද්ය.  ගිලියද්ගේ භාර්යාව* ගිලියද්ට දාව පුතුන් කිහිපදෙනෙකුව බිහි කළාය. එම පුතුන් ලොකු මහත් වූ විට ඔවුහු යෙප්තාට මෙසේ පැවසූහ. “ඔබ වෙනත් ස්ත්‍රියකගේ පුතෙක්. ඒ නිසා අපේ පියාගෙන් ඔබට කිසිම උරුමයක් ලැබෙන්නේ නැහැ.”+ ඔවුහු එසේ පවසා ඔහුව ගෙදරින් පන්නා දැමූහ.  තම සහෝදරයන් නිසා පලා ගිය යෙප්තා, ටෝබ් නම් දේශයෙහි+ වාසය කිරීමට පටන්ගත්තේය. ආදායම් මාර්ගය අහිමි වූ කිහිපදෙනෙක් ඒ කාලය අතරතුර යෙප්තාට එකතු වූහ.+ ඔවුහු කණ්ඩායමක් ලෙස සංවිධානය වී සතුරන්ට ප්‍රහාර එල්ල කළෝය.  කලක් ගත වූ පසු අම්මොන්වරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටනට ආවෝය.+  ඔවුන් එසේ සටනට පැමිණි වහාම+ ගිලියද් දේශයෙහි වැඩිමහල්ලෝ ටෝබ් දේශයට ගොස්+ එහි සිටි යෙප්තාව මුණගැසුණෝය.  ඔවුහු යෙප්තාට මෙසේ පැවසූහ. “ඔබ කැමතිද අපේ හමුදාපති වෙන්න? එතකොට අපිට පුළුවන් අම්මොන්වරුන්ට විරුද්ධව සටන් කරන්න.”  එහෙත් යෙප්තා ඔවුන්ට+ මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබම නේද මට වෛර කරලා මගේ පියාගේ නිවසෙන් මාව පන්නා දැමුවේ?+ ඔබ දැන් කරදරේක වැටිලා ඉන්න නිසා මා ළඟට ඇවිත් උදව් ඉල්ලනවා.”+  එවිට ගිලියද්හි වැඩිමහල්ලෝ යෙප්තාට මෙසේ පැවසූහ. “අප අතින් වරදක් සිදු වුණා කියා අපි පිළිගන්නවා.+ ඒකයි අපි ඔබ ළඟට ආවේ. ඉතින් දැන් අපිට එකතු වෙන්න. අපි අම්මොන්වරුන්ට විරුද්ධව සටන් කරමු. අපි කැමතියි ඔබව ගිලියද් දේශයේ වැසියන්ගේ ප්‍රධානියා හැටියට පත් කරන්න.”+  එහෙයින් යෙප්තා මෙසේ පැවසුවේය. “ඔබ මට එන්න කියන්නේ අම්මොන්වරුන්ට විරුද්ධව සටන් කරන්න නිසා මම ඔබ සමඟ එන්නම්. මේ සටනේදී යෙහෝවා දෙවි මට ජය අත් කර දුන්නොත්+ මම ඔබේ දේශයේ ප්‍රධානියා හැටියට සේවය කරන්නම්.” 10  ගිලියද්හි වැඩිමහල්ලෝ යෙප්තාට මෙසේ පැවසූහ. “ඔබ පැවසූ සෑම දෙයක්ම ඒ විදිහටම ඉටු කරනවා කියා අපි යෙහෝවා දෙවි ඉදිරියේ+ පොරොන්දු වෙනවා.”+ 11  එහෙයින් යෙප්තා ගිලියද්හි වැඩිමහල්ලන් සමඟ පිටත්ව ගියේය. ජනතාව ඔහුව ඔවුන්ගේ ප්‍රධානියා හා හමුදාපති ලෙස පත් කළෝය.+ යෙප්තා වැඩිමහල්ලන් සමඟ මිෂ්පා+ වෙතට ගොස් ඔවුන් ඇති කරගත් ගිවිසුම යෙහෝවා දෙවි ඉදිරියෙහි+ ස්ථිර කරගත්තේය. 12  ඉන්පසු යෙප්තා පණිවිඩකරුවන්ව යවා අම්මොන්වරුන්ගේ+ රජුට මෙසේ දැන්වීය. “ඔබ මගේ දේශයට ඇවිත් අපට විරුද්ධව සටනට සූදානම් වී සිටින්නේ කුමන හේතුවක් නිසාද?”+ 13  ඊට පිළිතුරු වශයෙන් අම්මොන්වරුන්ගේ රජ යෙප්තාට මෙසේ දන්වා එවීය. “ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් නිදහස් වී පැමිණි විට ඔවුන් මගේ දේශය එනම්, ආනොන් ඔයේ+ සිට යබ්බොක් ඔය දක්වා යොර්දාන් ගඟට+ එගොඩින් පිහිටි මුළු දේශය පැහැරගත්තා.+ ඒ නිසයි මම ඔබට විරුද්ධව යුද්ධයට සැරසෙන්නේ. ඔබේ සෙනඟ අයිති කරගත් ඒ දේශය නැවත අපට සමාදානයෙන් භාර දෙන්න කියා මම ඔබෙන් ඉල්ලා සිටිනවා.” 14  එවිට අම්මොන්වරුන්ගේ රජු වෙතට යෙප්තා තවත් පණිවිඩකරුවන්ව යවා 15  ඔහුට මෙසේ දැන්වීය. “යෙප්තා පවසන මේ දේට සවන් දෙන්න. ‘ඊශ්‍රායෙල්වරුන් මෝවබ් දේශයත්+ අම්මොන්වරුන්ගේ දේශයත්+ පැහැරගත් බව ඔබ පවසනවා. නමුත් ඒ කතාව වැරදියි. 16  ඔවුන් ඊජිප්තුවෙන් නිදහස ලබා පැමිණෙන විට රතු මුහුද+ දක්වා විහිදී යන පාළුකරය පුරා ගමන් කර ඔවුන් කාදෙෂ්+ වෙතට ආවා. 17  ඉන්පසු ඊශ්‍රායෙල්වරුන් ඒදොම්හි+ රජු වෙතට පණිවිඩකරුවන්ව යවා, “ඔබේ දේශය මැදින් ගමන් කරන්න අපට අවසර දෙන්න” කියා ඉල්ලා සිටියා. ඒත් ඒදොම්හි රජ ඔවුන්ට අවසර දුන්නේ නැහැ. ඔවුන් මෝවබ්හි+ රජුගෙන්ද අවසර ඉල්ලුවත් ඔහුත් ඊට එකඟ වුණේ නැහැ. ඒ නිසා ඊශ්‍රායෙල්වරුන් දිගටම කාදෙෂ්හි+ රැඳී සිටියා. 18  ඉන්පසු ඔවුන් ඒදොම් දේශ සීමාවටත්+ මෝවබ් දේශයේ+ නැඟෙනහිර දේශ සීමාවටත් එපිටින් බොහෝ දුරක් පාළුකරයේ ගමන් කර ආනොන් ඔය ළඟට ඇවිත් ඒ අවට කඳවුරු බැඳගත්තා. මෝවබ් දේශයේ මායිම+ වූ ආනොන් ඔය+ පසු කර ඔවුන් කිසි දවසක මෝවබ් දේශයට නම් ඇතුල් වුණේ නැහැ. 19  “‘ඉන්පසු ඊශ්‍රායෙල්වරුන්, හෙෂ්බොන් නුවරේ සිට අමෝරිවරුන්ව පාලනය කළ සීහොන් රජුට+ පණිවිඩකරුවන්ව යවා, “ඔබේ දේශය මැදින් ගමන් කර අපේ දේශයට යන්න අපට අවසර දෙන්න පුළුවන්ද”+ කියා ඔහුගෙන් ඉල්ලා සිටියා. 20  ඊශ්‍රායෙල්වරුන්ට තමාගේ දේශය මැදින් ගමන් කිරීමට ඉඩ දීම අවදානම් සහිත දෙයක් කියා සිතූ සීහොන්, තමාගේ ජනතාව එක් රැස් කරවා යහෂ්හි+ කඳවුරු බැඳගෙන ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කළා.+ 21  ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මැදිහත් වී සීහොන්වත් ඔහුගේ හමුදාවත් ඊශ්‍රායෙල්වරුන් අතට හසු කර දුන්නා. ඔවුන්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ ඊශ්‍රායෙල්වරුන් අමෝරිවරුන්ට අයිතිව තිබූ මුළු දේශයම අත් පත් කරගත්තා.+ 22  ආනොන් ඔයේ සිට යබ්බොක් ඔය දක්වාද පාළුකරයේ සිට යොර්දාන් ගඟ දක්වාද වූ අමෝරිවරුන්ට අයිතිව තිබූ ඒ දේශය ඊශ්‍රායෙල්වරුන්ට අයිති වූයේ එයාකාරයටයි.+ 23  “‘මේ හැම දෙයක්ම සිදු කළේ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවායි. ඊශ්‍රායෙල් සෙනඟට අමෝරිවරුන්ව පලවාහරින්න පුළුවන් වුණේ ඒ නිසයි.+ ඒත් ඔබ හදන්නේ දෙවි අත් කර දුන් ඒ දේශයෙන් ඊශ්‍රායෙල්වරුන්ව පන්නා දමන්නද? 24  කෙමොෂ්+ නම් ඔබේ දෙවියාගේ පිහිටෙන් ඔබත් ඒ වගේ දේවල් කරලා ඇති. ඒ විදිහටම තමයි අපිත් කටයුතු කරන්නේ. අපේ දෙවි වන යෙහෝවා දෙන තීරණයට අනුවයි අපිත් යම් දේශයකට විරුද්ධව සටන් කර එහි සිටින මිනිසුන්ව පන්නා දමන්නේ.+ 25  මෝවබ්හි රජු වූ ෂිප්පෝර්ගේ පුත් බාලාක්+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කිසිවිටක සටන් කළාද? ඔවුන්ට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියාද? ඉතින් ඔබ හිතන්නේ ඔබ බාලාක්ට වඩා බලවත් කියාද? 26  ඊශ්‍රායෙල් සෙනඟ අවුරුදු තුන්සියයක් පුරා හෙෂ්බොන් නුවර හා ඒ අවට පිහිටි කුඩා නුවරවලත්+ අරෝයේර් නුවර+ හා ඒ අවට පිහිටි කුඩා නුවරවලත් ආනොන් ඔයේ ඉවුර දිගේ තිබෙන සියලුම නුවරවලත් වාසය කරමින් සිටි කාලයේදී ඇයි ඔබ ඔවුන්ව පන්නා දැමුවේ නැත්තේ?+ 27  ඉතින් මෙහිදී වරදක් කරන්නේ අපි නෙවෙයි. වරද ඔබේ අතෙයි. ඔබයි අපට විරුද්ධව සටන් කරන්නේ. ඊශ්‍රායෙල්වරුන් හා අම්මොන්වරුන් අතර තිබෙන මේ ප්‍රශ්නය නිරාකරණය කරන්නේ ශ්‍රේෂ්ඨ විනිශ්චයකරු වන යෙහෝවා දෙවියි.’”+ 28  එහෙත් යෙප්තා එවූ පණිවිඩයට අම්මොන්වරුන්ගේ රජ ඇහුම්කන් දුන්නේ නැත.+ 29  එවිට යෙහෝවා දෙවිගේ බලය යෙප්තා තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ ඔහු ගිලියද් සහ මනස්සේ දේශ මැදින් ගොස් ගිලියද් දේශයේ මිෂ්පේ නම් නුවර+ හරහා ගමන් කර අම්මොන්වරුන් අසලටම පැමිණියේය. 30  ඒ අවස්ථාවේදී යෙප්තා යෙහෝවා දෙවිට පොරොන්දුවක්+ වෙමින් මෙසේ පැවසීය. “දෙවියනි, ඔබ අම්මොන්වරුන්ව මගේ අතට හසු කර දුන්නොත් 31  යුද්ධයෙන් ජය ලබාගෙන+ මම මගේ නිවසට යන විට මාව හමු වීමට මුලින්ම පැමිණෙන කෙනාව යෙහෝවා දෙවි වන ඔබට පූජා කරනවා.+ මම ඒ පූජාව ඔබට දවන පූජාවක් ලෙස ඔප්පු කරන බවට පොරොන්දු වෙනවා.”+ 32  යෙප්තා අම්මොන්වරුන්ට විරුද්ධව සටන් කිරීම සඳහා ඔයෙන් එගොඩ වූ විට යෙහෝවා දෙවි ඔවුන්ව ඔහුගේ අතට හසු කර දුන්නේය. 33  ඔවුහු ඔහු ඉදිරියේ අන්ත පරාජයකට ලක් වූහ. අරෝයේර් සිට මින්නිත්+ දක්වා වූ නුවරවල් විස්සටද ආබෙල්-කෙරාමීම් නුවරටද ඔහු පහර දුන් අතර එයින් බොහෝදෙනෙක් මරුමුවට පත් වූහ. ඊශ්‍රායෙල් සෙනඟ අම්මොන්වරුන්ව පරාජය කළේ එයාකාරයෙනි. 34  සටනින් ජය ගත් යෙප්තා මිෂ්පාහි+ පිහිටි තම නිවස බලා ගියේය. තම නිවසට ළඟා වූ විට ඔහු දුටු දේ ඔහුට අදහාගත නොහැකි විය. රබානක් අතැතිව නටමින්+ ඔහුව හමු වීමට පැමිණියේ ඔහුගේම දුවයි. ඒ දුව හැර ඔහුට තවත් පුතෙක්වත් දුවෙක්වත් සිටියේ නැත. ඔහුගේ එකම දරුවා ඇයයි. 35  ඇයව දුටු ඔහු තම වස්ත්‍ර ඉරාගනිමින්+ මෙසේ පැවසීය. “අනේ මගේ දුවේ! මට දැනෙන මේ දුක විස්තර කරන්න මට වචන නැහැ. මා යෙහෝවා දෙවිට වූ පොරොන්දුව නිසා ඔබට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා. දුවේ, මම දුන් ඒ පොරොන්දුව කඩ කරන්න නම් මට කොහොමටවත් බැහැ.”+ 36  එහෙත් ඇය ඔහුට මෙසේ පැවසුවාය. “තාත්තේ, යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් සටන් කර ඔබේ සතුරන් වූ අම්මොන්වරුන්ව පරාජය කරන්න ඔබට උදව් කළා! ඉතින් ඔබ යෙහෝවා දෙවිට පොරොන්දුවක් වෙලා තියෙනවා නම් ඒ පොරොන්දුව ඉටු කරන්න මම කැමතියි.+ 37  නමුත් තාත්තේ මට මාස දෙකක කාලයක් දෙන්න. මම දන්නවා මට කවදාවත් විවාහ වෙන්න ලැබෙන්නේ නැති බව. ඒ නිසා මගේ යෙහෙළියන් සමඟ කඳුකරයට ගිහින් ඒ ගැන ශෝක වෙන්න+ මට කාලයක් දෙනවා නම් මම කැමතියි.” 38  ඔහුද, “ඒ සඳහා ඔබට යන්න පුළුවන්” කියා ඇයට පැවසීය. ඔහුගෙන් ඒ සඳහා මාස දෙකක කාලයක් ඇයට ලැබිණ. ඒ කාලයේදී ඇය තම යෙහෙළියන් සමඟ කඳුකරයේ සැරිසරමින්, තමාට විවාහ වීමට නොලැබීම ගැන දුක් වෙමින් කඳුළු සැලුවාය. 39  ඒ මාස දෙක අවසන් වූ පසු ඇය තම පියා වෙතට නැවත පැමිණියාය. එවිට ඔහු තමා දෙවිට දුන් පොරොන්දුව ඉටු කළේය.+ ඔහු ඇයව කිසිම පුරුෂයෙකුට විවාහ කර දුන්නේ නැත. ඇය වෙනුවෙන් ඊශ්‍රායෙල් දේශයේ චාරිත්‍රයක්ද ආරම්භ කරන ලදි. 40  එය නම් අවුරුද්දකට වතාවක් ඊශ්‍රායෙල් දේශයේ කාන්තාවන් ගිලියද් දේශයේ වැසියෙකු වූ යෙප්තාගේ දියණිය හමු වීමට පැමිණ දවස් හතරක් පුරා ඇයට ප්‍රශංසා කිරීමේ චාරිත්‍රයයි.+

පාදසටහන්

බොහෝදුරට ඇය ගිලියද්ගේ තවත් භාර්යාවක් විය හැකියි.