විනිශ්චයකරුවෝ 16:1-31

16  දිනක් ගාසා නුවරට+ පැමිණි සැම්සන්, ගණිකා ස්ත්‍රියකව දැක ඇගේ නිවසට ගියේය.+  සැම්සන් ගාසා නුවරට පැමිණි බව එහි වැසියන්ට ආරංචි වූ විට ඔවුහු ඔහු සිටි ස්ථානය වටලා+ මුළු රාත්‍රිය පුරාම නුවරේ දොරටුව අසලට වී රැක සිටියෝය.+ එසේ රැක සිටි ඔවුහු, “අපි එළි වෙනකම් මෙතනට වෙලා ඉමු. ඊටපස්සේ ගිහින් ඔහුව අල්ලගෙන මරලා දාමු”+ කියා පැවසුවෝය.  නමුත් සැම්සන් මධ්‍යම රාත්‍රියේ නැඟිට නුවරේ දොරටුව අසලට ගියේය.+ එහි අගුලු දමා තිබූ දොරවල් දෙක උළුවහු කණු දෙකත් සමඟම ගලවා කරට ගත් ඔහු, හෙබ්‍රොන්+ අසල පිහිටි කන්ද දක්වාම ඒවා රැගෙන ගියේය.+  කල් යත්ම සැම්සන් සෝරෙක් නම් නිම්නයේ ජීවත් වූ දෙලීලා+ නම් ස්ත්‍රියක සමඟ පෙමින් බැඳුණේය.  මෙය දැනගත් පිලිස්තිවරුන්ගේ අධිපතීහු+ ඇයව හමු වී මෙසේ පැවසුවෝය. “ඔබ කොහොමහරි සැම්සන්ව චාටුවෙන් රවට්ටගෙන+ ඔහුට මේ තරම් ශක්තියක් ලැබිලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඔහුව මෙල්ල කරගන්න පුළුවන් විදිහත් ඔබ ඔහුගෙන් දැනගෙන ඇවිත් අපිට කියන්න. එහෙම කළොත් අපි හැමෝම රිදී ෂෙකෙල් එක්දහස් එකසියයක් බැගින් ඔබට දෙනවා.”+  පසුව දෙලීලා, “සැම්සන්, ඔයාට තියෙන ඔය ශක්තියට රහස මොකක්ද කියලා මට කියන්න. කාට හරි ඔයාව මෙල්ල කරගන්න ඕනේ නම් ඔයාව බඳින්න ඕනේ මොන වගේ දෙයකින්ද” කියා සැම්සන්ගෙන් ඇසුවාය.+  එවිට ඔහු ඇයට මෙසේ පිළිතුරු දුන්නේය. “කවුරු හරි මාව සතුන්ගේ නහර*+ හතකින් බැන්දොත් මගේ මේ ශක්තිය නැති වෙලා මමත් සාමාන්‍ය මිනිසෙක් වගේ වෙයි.”  ඇය පිලිස්තිවරුන්ගේ අධිපතීන්ට+ ඒ ගැන දැන්වූ විට ඔවුහු ඇයට සතුන්ගේ නහර හතක් ගෙනැවිත් දුන්නෝය. ඇය ඒවායින් ඔහුව බැන්දාය.  සැම්සන්ව අල්ලාගැනීම සඳහා ඒ වන විටත් මිනිසුන් කිහිපදෙනෙක් ඇගේ නිවසේ වෙනත් කාමරයක සැඟවී සිටියෝය.+ ඇය එකවරම, “සැම්සන්! මෙන්න ඔබව අල්ලාගන්න පිලිස්තිවරුන් ඇවිත්”+ කියා පැවසුවාය. එවිට ගින්නකට හසු වූ සිහින් නූල් කැඩී යන්නාක් මෙන් ඔහු තමාව බැඳ තිබූ නහර හතම ඉතා පහසුවෙන් කඩා දැමුවේය.+ එහෙයින් ඔහු සතු මහත් ශක්තියට රහස හෙළි නොවීය.+ 10  පසුව දෙලීලා+ සැම්සන්ට මෙසේ පැවසුවාය. “ඔයා මට කිව්වේ බොරුවක්නේ. ඒ බොරුව විශ්වාස කරන්න තරම් මමත් මෝඩ වුණා.+ දැන් මට ඇත්ත කියන්න. ඔයාව මෙල්ල කරන්න නම් බඳින්න ඕන මොන වගේ දෙයකින්ද?” 11  ඔහු ඇයට පිළිතුරු දෙමින්, “කිසිම වැඩකට පාවිච්චි නොකළ අලුත්ම කඹවලින් මාව බැන්දොත් මගේ මේ ශක්තිය නැති වෙලා මමත් සාමාන්‍ය මිනිසෙක් වගේ වෙයි” කියා පැවසුවේය. 12  එහෙයින් දෙලීලා අලුත්ම කඹ ගෙන ඔහුව බැඳ, “සැම්සන්, මෙන්න පිලිස්තිවරුන් ඇවිත්” කියා පැවසුවාය. ඇය එසේ පවසන විටත් ඔහුව අල්ලාගැනීමට පැමිණි පිරිස ඇගේ නිවසේ වෙනත් කාමරයක සැඟවී සිටියෝය.+ නමුත් සිහින් නූල් පොටක් දෙකට කඩා දමන්නාක් මෙන් ඔහු එම කඹද පහසුවෙන්ම කඩා දැමීය.+ 13  දෙලීලා සැම්සන්ට මෙසේ කීවාය. “ඔයා මේ වතාවෙත් මට කිව්වේ බොරු. ඒවා විශ්වාස කරන්න තරම් මම ආයෙත් මෝඩ වුණා.+ දැන්නම් සැම්සන් ඔයා මට ඇත්තම කියන්න ඕනේ. ඔයාව මෙල්ල කරන්න නම් බඳින්න ඕනේ මොන වගේ දෙයකින්ද?”+ එවිට ඔහු ඇයට මෙසේ පැවසුවේය. “මගේ මේ ගොතපු කොණ්ඩ කැරලි හත රෙදි වියන යන්ත්‍රයකට තබා නූල් සමඟ වියා ඇබයකින් තද කර තිබ්බොත්+ මගේ ශක්තිය නැති වෙලා යයි.” 14  සැම්සන් කී ලෙස ඇය කළේය. ඉන්පසු ඇය ඔහුට නැවතත් මෙසේ පැවසුවාය. “සැම්සන්, මෙන්න පිලිස්තිවරුන් ඇවිත්!”+ එවිට නින්දෙන් අවදි වූ ඔහු ඇබය ගලවා රෙදි වියන යන්ත්‍රයෙන් මිදුණේය. 15  දෙලීලා සැම්සන්ට මෙසේ කීවාය. “ඔයා මට ආදරෙයි කියලා කිව්වට ඔයාට මාව විශ්වාස නැහැ.+ දැන් තුන් පාරක්ම ඔයා මාව රැවැට්ටුවා. මම ඔයාගෙන් කොච්චර ඇහැව්වත් ඔයාගේ ශක්තියට රහස මොකද්ද කියලා ඔයා මට කිව්වේ නැහැ.”+ 16  ඒ රහස තමන්ට හෙළි කරන්න කියා ඇය දිගින් දිගටම ඔහුට කරදර කිරීමට පටන්ගත්තාය.+ ඔහුට එය මොන තරම් කරදරයක් වූවාද කිවහොත් එය තවදුරටත් දරාගැනීමට ඔහුට නොහැකි විය.+ 17  අන්තිමේදී ඔහු ඇයට රහස හෙළි කරමින්+ මෙසේ කීවේය. “මව්කුසේ සිට මම දෙවිට කැප වුණු නසරීතවරයෙක්.+ ඒ නිසා මගේ හිසට දැළි පිහියක් ළං කරලවත් නැහැ.+ හැබැයි කවුරු හරි මගේ හිස බූ ගෑවොත් මගේ මේ ශක්තිය නැති වෙලා මම සාමාන්‍ය මිනිසෙක් වගේ වෙයි.”+ 18  සැම්සන් මෙවර ඇත්ත පැවසූ බව තේරුම්ගත් දෙලීලා ඉක්මනින් ගොස් පිලිස්තිවරුන්ගේ අධිපතීන්ව හමු වී,+ “ඔහු මට මේ වතාවේ නම් ඇත්තම කිව්වා. දැන් ඇවිත් ඔහුව අල්ලගන්න”+ කියා පැවසුවාය. පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඇයට දීමට පොරොන්දු වූ මුදල්ද රැගෙන පැමිණියෝය.+ 19  සැම්සන්ව තම උකුල මත නිදි කෙරෙවූ දෙලීලා, කෙනෙකුව ගෙන්වාගෙන ඔහු ලවා සැම්සන්ගේ කොණ්ඩ කැරලි හත කපා හිස බූ ගෑවාය. මෙසේ දෙලීලා සැම්සන්ව යටත් කරගත්තාය. සැම්සන්ගේ ශක්තියද පහ වී ගියේය. 20  පසුව ඇය, “සැම්සන්, මෙන්න පිලිස්තිවරුන් ඇවිත්” කියා පැවසුවාය. ඔහු නින්දෙන් අවදි වී, “මේ වතාවෙත් මම ගැලවිලා යනවා”+ කියා කීවේය. එහෙත් ඒ වන විට යෙහෝවා දෙවිගේ බලය ඔහු තුළ නොතිබුණු බව ඔහු දැන සිටියේ නැත.+ 21  පිලිස්තිවරු පැමිණ ඔහුව අල්ලාගෙන ඔහුගේ ඇස් උගුල්ලා+ ගාසා නුවරට+ ගෙනාවෝය. ඔවුහු ඔහුට තඹ විලංගු+ දෙකක් දමා සිරගෙදරට දැමුවෝය.+ එහිදී විශාල ඇඹරුම් ගලකින් ධාන්‍ය ඇඹරීමට ඔහුට සිදු විය.+ 22  කලක් ගත වන විට ඔහුගේ හිසකෙස් නැවතත් හොඳින් වැඩීමට පටන්ගත්තේය.+ 23  දිනක් පිලිස්තිවරුන්ගේ අධිපතීහු එකතු වී ඔවුන්ගේ දෙවියන් වන දාගොන්+ වෙනුවෙන් මහා පූජාවක් ඔප්පු කිරීමට සංවිධානය කළෝය. “අපේ දෙවියෝ අපේ සතුරා වන සැම්සන්ව අපේ අතට හසු කර දුන්නා”+ කියා සතුටින් පැවසූ ඔවුහු එය උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු පිළියෙල කළෝය. 24  එක් රොක් වූ ජනතාව සැම්සන්ව දුටු විගස තම දෙවියන්ට ප්‍රශංසා කරමින්+ මෙසේ පැවසුවෝය. “බලන්න, අපේ දෙවියෝ අපි වෙනුවෙන් කළ දේ! අපේ දේශය වනසා දැමූ,+ අපෙන් බොහෝදෙනෙකුව මරා දැමූ+ අපේ සතුරාව අපේ අතට හසු කර දුන්නා.”+ 25  ප්‍රීතියෙන් කුල්මත්ව සිටි ඔවුහු,+ “සැම්සන්ව මෙහාට රැගෙන එන්න. ඔහු දිහා බලලා අපිට තවත් විනෝද වෙන්න පුළුවන්”+ කියා පැවසුවෝය. එහෙයින් ඔවුහු සැම්සන්ව සිරගෙයින් ගෙනැවිත් සෙනඟට විනෝද වීම සඳහා+ ඔවුන් රැස්ව සිටි ගොඩනැඟිල්ලේ කුලුනු අතර සිටවා තැබුවෝය. 26  එවිට තමාගේ අත අල්ලාගෙන සිටි පිරිමි දරුවාට සැම්සන් මෙසේ කීවේය. “මේ ගොඩනැඟිල්ලේ ප්‍රධාන කුලුනු දෙක අතරට මාව ගෙන යන්න. මට ඕනේ ඒවාට හේත්තු වෙලා ඉන්න.” 27  (එම ගොඩනැඟිල්ල පුරුෂයන් හා ස්ත්‍රීන්ගෙන් පිරී තිබුණේය. පිලිස්තිවරුන්ගේ සියලුම අධිපතීහුද එහි සිටියෝය.+ එහි උඩුමහලේ පුරුෂයන් හා ස්ත්‍රීන් තුන්දහසක් පමණ සිටි අතර ඔවුහු සැම්සන් දෙස බලමින් විනෝද වෙමින් සිටියෝය.)+ 28  ඒ අවස්ථාවේදී සැම්සන්+ යෙහෝවා දෙවිට කන්නලව් කරමින්+ මෙසේ පැවසීය. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මගේ මේ කන්නලව්වට සවන් දෙන්න.+ මේ වතාවේදී විතරක් මට ඔබේ බලය දෙන්න.+ සැබෑ දෙවියනි, උගුල්ලා දැමූ මගේ ඇස් දෙකෙන් එක ඇහැක් වෙනුවෙන්වත් පිලිස්තිවරුන්ගෙන් වන්දියක් ගන්න මට උදව් කරන්න.”+ 29  ඉන්පසු සැම්සන් ගොඩනැඟිල්ලේ මැද තිබූ ප්‍රධාන කුලුනු දෙකට අත් දෙක තබා, 30  “පිලිස්තිවරුන්ව මරාගෙන මමත් මැරෙනවා”+ කියා පවසමින් මුළු වැර යොදා ඒ කුලුනු දෙක දෙපැත්තට තල්ලු කළේය. එවිට මුළු ගොඩනැඟිල්ලම කඩාගෙන වැටෙන්න පටන්ගත්තේය. පිලිස්තිවරුන්ගේ අධිපතීන් ඇතුළුව එහි රැස්ව සිටි මුළු මහත් සෙනඟ මතට එය කඩා වැටුණේය.+ මෙසේ සැම්සන්, ඔහුගේ ජීවිත කාලය පුරාම මරා දැමූ මිනිසුන්ගේ ගණනට වඩා ඔහු මැරෙන මොහොතේදී මරා දැමූ අයගේ ගණන වැඩි විය.+ 31  ඉන්පසු සැම්සන්ගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ පවුලේ සියලු නෑදෑයෝද පැමිණ ඔහුගේ මළ සිරුර රැගෙන ඔහුගේ පියා වූ මානෝවා+ තැන්පත් කළ ස්ථානයේ තැන්පත් කළෝය. එම ස්ථානය පිහිටා තිබුණේ ෂොරා+ සහ එෂ්තායොල්+ යන නුවරවල් දෙක අතරය. සැම්සන් ඊශ්‍රායෙල් දේශයේ විනිශ්චයකරුවෙකු ලෙස අවුරුදු විස්සක් සේවය කර තිබුණේය.+

පාදසටහන්

මූ.අ., “පේශී සහ අස්ථි සම්බන්ධ කරන දැඩි තන්තුමය පටක.”