විනිශ්චයකරුවෝ 17:1-13

17  එෆ්‍රායිම්හි කඳුකර ප්‍රදේශයේ+ මීකා නම් මිනිසෙක් ජීවත් විය.  දිනක් ඔහු තම මවට මෙසේ කීවේය. “මතකද දවසක් අම්මාගේ රිදී ෂෙකෙල් එක්දහස් එකසියයක් නැති වුණා? අම්මා මටත් ඇහෙන්න ඒ ෂෙකෙල් ගත්ත කෙනාට ශාප කළා.+ අම්මේ, ඒ රිදී ෂෙකෙල් ගත්තේ මමයි.+ මා ළඟ ඒවා තියෙනවා.” එහෙයින් ඔහුගේ මව, “පුතේ, ඔයාට යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලැබෙන්න ඕනේ”+ කියා පැවසුවාය.  ඔහු එම රිදී ෂෙකෙල් එක්දහස් එකසියය තම මවට නැවත දුන්නේය.+ එවිට ඔහුගේ මව මෙසේ පැවසුවාය. “මම මේ රිදී ෂෙකෙල් ටික යෙහෝවා දෙවිට කැප කරනවා. මම ඒවායින් රූප දෙකක්*+ හදවලා, මට පුතා දුන් දේ නැවතත් මම පුතාට ලැබෙන්න සලස්වනවා.”  මීකා දුන් රිදී ෂෙකෙල් ටිකත් රැගෙන රිදීකරුවෙකුව+ හමු වූ ඇය ඔහුට රිදී ෂෙකෙල් දෙසියයක් දී රූප දෙකක්+ සාදාගත්තාය. පසුව ඒවා මීකාගේ නිවසට රැගෙන යන ලදි.  මීකාට දේවාලයක්+ තිබුණු අතර ඔහු ඒෆොද් හැට්ටයක්ද+ ටෙරෆිම් රූපද+ සාදාගෙන එහි සේවය කිරීම සඳහා තමාගේ පුතෙකුව පූජකයෙකු ලෙස+ පත් කළේය.+  ඒ කාලයේදී ඊශ්‍රායෙල් දේශයෙහි රජෙක් සිටියේ නැත.+ සෑම කෙනෙක්ම තමන්ට හරියි කියා සිතූ දේ කළෝය.+  මේ අතරතුර තරුණ ලෙවීවරයෙක්+ යූදා ගෝත්‍රයට අයත් බෙත්ලෙහෙම් නුවරේ+ වාසය කරමින් සිටියේය.  කලක් ගත වූ පසු බෙත්ලෙහෙම් නුවරින් පිටත් වූ ඔහු, පදිංචි වීම සඳහා තවත් තැනක් සොයමින් ගියේය. බොහෝ දුරක් ගමන් කළ ඔහු එෆ්‍රායිම්හි කඳුකර ප්‍රදේශයේ පිහිටි මීකාගේ නිවසට පැමිණියේය.+  මීකා ඔහුව දැක, “ඔබ ආවේ කොහේ ඉඳන්ද” කියා ඇසුවේය. එවිට ඔහු, “මම ලෙවීවරයෙක්. මම කලක් ජීවත් වුණේ යූදා ගෝත්‍රයට අයත් බෙත්ලෙහෙම් නුවරේ. මම මේ පදිංචියට අලුත් තැනක් හොයාගෙන යන ගමන්” කියා පිළිතුරු දුන්නේය. 10  එවිට මීකා ඔහුට මෙසේ පැවසීය. “ඔබ කැමතිද මාත් එක්ක ඉන්න? එතකොට ඔබට පුළුවන් උපදේශකයෙක්*+ හා පූජකයෙක්+ හැටියට මා වෙනුවෙන් සේවය කරන්න. ඒ සඳහා ඔබට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, ආහාර පාන සහ අවුරුද්දකට රිදී ෂෙකෙල් දහයක් මම ඔබට දෙන්නම්.” එම ආරාධනාව සතුටින් පිළිගත් ලෙවීවරයා, 11  මීකා සමඟ නැවතීමට එකඟ විය. මීකා තමාගේම පුතෙකුට මෙන් ඒ තරුණයාට සැලකුවේය. 12  මීකා එම ලෙවීවරයාව පූජකයෙකු ලෙස+ පත් කළ+ අතර ඔහු දිගටම මීකාගේ නිවසේ වාසය කළේය. 13  එහෙයින් මීකා මෙසේ කීවේය. “ලෙවීවරයෙක් දැන් මා වෙනුවෙන් පූජකයෙක් හැටියට සේවය කරනවා. දැන් නම් යෙහෝවා දෙවි මට ආශීර්වාද කරයි.”+

පාදසටහන්

මූ.අ., “නෙළූ රූපයක් හා වාත්තු කළ රූපයක්.”
මූ.අ., “පියෙක්.”