විනිශ්චයකරුවෝ 18:1-31

18  ඊශ්‍රායෙල් දේශය පාලනය කිරීමට ඒ වන විට රජෙකුව පත් කර නොතිබිණ.+ ඒ කාලයේදී දාන් ගෝත්‍රයේ අය+ තම පදිංචිය සඳහා තවත් ප්‍රදේශයක් සොයමින් සිටියෝය. ඊට හේතුව නම් ඒ වන විටත් ඊශ්‍රායෙල් ජාතියේ අනිකුත් ගෝත්‍ර අතරේ ඔවුන්ට උරුමයක් ලෙස හිමි වී තිබූ ප්‍රදේශය ප්‍රමාණවත් නොවීමය.+  එහෙයින් දාන් ගෝත්‍රයේ සෙනඟ තමන් අතරෙන් බලසම්පන්න පුරුෂයන් පස්දෙනෙකුව තෝරාගෙන තම ගෝත්‍රයේ අයට ජීවත් වීමට සුදුසු ප්‍රදේශයක් සොයා බැලීම සඳහා ඔවුන්ව පිටත් කර යවමින්,+ “ඔබ දේශයේ ඇවිද පදිංචියට සුදුසු ප්‍රදේශයක් සොයා බලන්න” කියා ඔවුන්ට පැවසුවෝය. ඔවුන් පිටත් වූයේ ෂොරා+ සහ එෂ්තායොල්+ යන නුවරවල සිටය. දින කිහිපයකට පසු ඔවුහු එෆ්‍රායිම්හි කඳුකර ප්‍රදේශයට+ ඇතුල් වූහ. ඔවුහු එදින රාත්‍රිය මීකාගේ+ නිවසේ ගත කළෝය.  මීකාගේ නිවසේ සිටි ඔවුන්ට තරුණ ලෙවීවරයාගේ කටහඬ ඇසිණ. ඔහුව හඳුනාගත් ඔවුහු, “ඔබ මොනවාද මෙහෙට වෙලා කරන්නේ? කවුද ඔබව මෙහාට ගෙන්නගත්තේ” කියා ඔහුගෙන් ඇසුවෝය.  ඔහු පිළිතුරු දෙමින්, “මට මෙහෙ ඉන්න කිව්වේ මීකා. ඔහු වෙනුවෙන් මම පූජකයෙකු හැටියට සේවය කරනවා.+ ඒ සඳහා ඔහු මට පඩියකුත් දෙනවා”+ කියා පැවසීය.  එවිට ඔවුහු ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “ඔබට පුළුවන්ද අපි මේ යන ගමන සාර්ථක වෙයිද නැද්ද කියා දෙවිගෙන්+ අහලා+ අපට කියන්න?”  “ඔව් මට පුළුවන්. ඔබේ ගමනට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබිලයි තියෙන්නේ. ඒ නිසා කිසිම දෙයකට භය වෙන්න එපා. ඔබ යන ගමන සාර්ථක වෙයි” කියා ඔහු පිළිතුරු දුන්නේය.  ඔවුහු එතැනින් පිටත් වී ලායිෂ් නම් නුවරට+ පැමිණියෝය. එහි ජීවත්ව සිටියේ කිසිවෙකුට කරදරයක් නොකරන සාමකාමී සෙනඟකි.+ ඔවුහු සීදොන් වැසියන් හා සමාන ස්වාධීන සෙනඟකි. ඔවුන් සීදොන් වැසියන්ගෙන්+ ඈත්ව හුදෙකලාව ජීවත් වූ අතර කිසිම ජාතියක් හෝ පාලකයෙක් ඔවුන්ට හිරිහැර කිරීමට පැමිණියේ නැත.  මේ සෑම දෙයක්ම හොඳින් සැලකිල්ලට ගත් ඒ පුරුෂයෝ පස්දෙනා එතැනින් පිටත් වී තම සහෝදරයන් විසූ ෂොරා+ සහ එෂ්තායොල්+ යන නුවරවලට ආපසු පැමිණියෝය. එවිට ඔවුන්ගේ සහෝදරයෝ පැමිණ, “කොහොමද ඔබ ගිය ගමන” කියා ඔවුන්ගෙන් විමසුවෝය.  ඔවුහු ඒ ගැන ඔවුන්ට මෙසේ පැවසුවෝය. “අපි හොඳ දේශයක් දැක්කා.+ ඒ දේශය අපිට පහසුවෙන්ම යටත් කරගන්න පුළුවන්. ඉතින් තවත් කල් දාන්නේ මොකටද? අපි ඉක්මනින්ම ගිහින් ඒ දේශය අල්ලගනිමු.+ 10  ඒ දේශය හරිම සමෘද්ධිමත්, විශාල දේශයක්. අපට ඕනේ කරන සෑම දෙයක්ම එහි තියෙනවා.+ එහි ඉන්නේ සතුරු තර්ජනයක් නැති සාමකාමී සෙනඟක්.+ දෙවි අනිවාර්යයෙන්ම අපට ඒ දේශය ලබා දෙයි.”+ 11  ඉන්පසු දාන් ගෝත්‍රයට අයත් පුරුෂයන්+ හයසියදෙනෙක් අවිආයුධ අතැතිව ෂොරා සහ එෂ්තායොල් යන නුවරවලින්+ පිටත් වී 12  යූදා ගෝත්‍රයට අයත් නුවරක් වන කිර්යත්-යෙයාරීම්ට+ බටහිර දෙසින් කඳවුරු බැඳගත්තෝය. ඔවුන් එම ස්ථානය මහනේ-දාන්*+ කියා නම් කළ අතර එම නම අද දක්වාම භාවිත කෙරේ. 13  එතැනින් පිටත්ව එෆ්‍රායිම්හි කඳුකර ප්‍රදේශයට ඇතුල් වූ ඔවුහු මීකාගේ නිවස අසලට පැමිණියෝය.+ 14  එවිට ලායිෂ් දේශයේ+ තොරතුරු සොයා බැලීමට ගිය පස්දෙනා+ තම සහෝදරයන්ට මෙසේ කීවෝය. “මේ ගෙදර ඒෆොද් හැට්ටයකුත් ටෙරෆිම් රූපත්+ තව රූප දෙකකුත්+ තියෙන බව ඔබ දන්නවාද? ඉතින් දැන් ටිකක් කල්පනා කරලා බලන්න අපි මොනවාද කරන්න ඕනේ කියලා.”+ 15  එවිට ඒ පස්දෙනා මීකාගේ නිවසට යාබදව තිබූ තරුණ ලෙවීවරයාගේ+ නිවසට ගොස් ඔහුගෙන් සැප දුක් විමසුවෝය.+ 16  ඒ අතරතුර අවිආයුධ අතැතිව+ පැමිණි දාන් ගෝත්‍රයට අයත්+ හයසියදෙනා ගේට්ටුව අසල රැඳී සිටියෝය. 17  එවිට ඒ පුරුෂයෝ පස්දෙනා+ ඒෆොද් හැට්ටයත්+ ටෙරෆිම් රූපත්+ අනික් රූප දෙකත්+ රැගෙන යෑමේ අදහසින් ලෙවීවරයාගේ නිවසට ඇතුල් වූහ. (ලෙවීවරයා+ සිටියේ අවිආයුධ අතැතිව ගේට්ටුව අසලට වී සිටි මිනිසුන් හයසියදෙනාත් සමඟය.) 18  ඒ පස්දෙනා නිවසට ඇතුල් වී ඒෆොද් හැට්ටයත් ටෙරෆිම් රූපත් අනික් රූප දෙකත්+ ගත් විට එය දුටු ලෙවීවරයා,+ “ඔබ මොනවාද මේ කරන්නේ” කියා ඔවුන්ගෙන් ඇසුවේය. 19  එවිට ඔවුහු ඔහුට මෙසේ පැවසුවෝය. “කට වහගෙන අපිත් එක්ක එන්න. ටිකක් හිතලා බලන්න, එක මිනිසෙකුගේ පූජකයෙක් වෙලා ඉන්න එකද හොඳ+ නැත්නම් ඊශ්‍රායෙල් ජාතියට අයත් ගෝත්‍රයක පූජකයෙක් වෙන එකද හොඳ?+ ඔබ අපි එක්ක ආවොත් ඔබට පුළුවන් අපි හැමෝම වෙනුවෙන් උපදේශකයෙක්+ හා පූජකයෙක්+ හැටියට සේවය කරන්න.” 20  ඔවුන්ගේ යෝජනාවට සතුටින් එකඟ වූ+ ලෙවීවරයා ඒෆොද් හැට්ටයත් ටෙරෆිම් රූපත් අනික් රූපයත්*+ රැගෙන ඔවුන් සමඟ ගියේය. 21  ඔවුහු තම කුඩා දරුවන්වද සත්ව රැළවල්ද තමන් සතු වටිනා බඩු බාහිරාදියද ඔවුන්ට පෙරටුවෙන් යවමින්+ නැවතත් ගමන් ඇරඹූහ. 22  මීකාගේ+ නිවස අවට සිටි අය එකතු වී දාන් ගෝත්‍රයේ සෙනඟ පසුපස ලුහුබැඳ ගියෝය. ඒ වෙද්දී දාන් ගෝත්‍රයේ සෙනඟ මීකාගේ නිවසේ සිට බොහෝ දුරක් ගමන් කර තිබිණ. 23  ඒ පිරිස දාන් ගෝත්‍රයේ සෙනඟ වෙතට ළඟා වී ඔවුන්ට කතා කළ විට දාන් ගෝත්‍රයට අයත් පුරුෂයෝ මීකාගෙන් මෙසේ ඇසුවෝය. “ඔබ මේ වගේ විශාල පිරිසක් එකතු කරගෙන අපිව ලුහුබඳින්නේ මොන හේතුවක් නිසාද?”+ 24  එවිට මීකා මෙසේ කීවේය. “ඔබ කියන්නේ පුදුම කතාවක්නේ. ඔබ මගේ දෙවිවරුන්වයි,+ මගේ පූජකයාවයි+ අරගෙන ගියාම මට මොනවාද ඉතුරු වෙන්නේ?”+ 25  එවිට දාන් ගෝත්‍රයේ අය ඔහුට මෙසේ පැවසුවේය. “ඔය විදිහට කෑගහන්න එපා. අපේ මිනිසුන්ට කේන්ති ගියොත්+ ඔබවත් ඔබේ පවුලේ අයවත් ඉතුරු කරන එකක් නැහැ.” 26  එසේ පැවසූ ඔවුහු නැවතත් තම ගමන ඇරඹූහ. තමා සමඟ සිටි අයට වඩා ඔවුන්ගේ පිරිස බලවත් බව තේරුම්ගත්+ මීකාද තම නිවසට හැරී ගියේය. 27  දාන් ගෝත්‍රයේ අය නමස්කාරය සඳහා මීකා සාදාගෙන තිබූ දේවල්ද ඔහුට පූජකයෙකු ලෙස සේවය කළ ලෙවීවරයාවද+ රැගෙන, යුධ බියකින් තොර නිසංසල ජීවිතයක් ගත කළ මිනිසුන්+ විසූ ලායිෂ් නුවර+ බලා ගියෝය. ඔවුහු නුවරට ඇතුල් වී එහි වැසියන්ට කඩුවෙන් පහර දී+ මුළු නුවරම ගිනිබත් කළෝය.+ 28  බෙත්-රෙහොබ් තැනිතලාවේ+ පිහිටි මෙම නුවර සීදොන්+ ප්‍රදේශයේ සිට බොහෝ ඈතක පිහිටා තිබූ නිසා ඔවුන්ව ගලවාගැනීමට කිසිවෙක් සිටියේ නැත. දාන් ගෝත්‍රයේ සෙනඟ එම නුවර නැවත ගොඩනඟා එහි වාසය කිරීමට පටන්ගත්තෝය.+ 29  එය ලායිෂ් යන නමින් හඳුන්වා තිබුණත්+ එතැන් පටන් ඔවුහු එම නුවරට දාන් යන නම තැබූහ. ඔවුන් එම නම තැබුවේ ඊශ්‍රායෙල්ට ඉපදුණු+ දාන්,+ ඔවුන්ගේ ගෝත්‍රයේ ප්‍රධානියා වූ නිසාය. 30  දාන්ගේ ගෝත්‍රයේ අය තමන් සමඟ රැගෙන ආ රූපය+ නුවරේ යම් තැනක තැබූහ. ඔවුන් සමඟ පැමිණි ලෙවීවරයා මෝසෙස්ගේ පුත් ගේර්ෂොම්ගේ+ පුත්‍රයෙකු වූ යොනාතාන්ය.+ ඔහුද ඔහුගෙන් පැවත ආ පුත්‍රයෝද දාන් ගෝත්‍රය වෙනුවෙන් පූජකයන් ලෙස සේවය කළෝය. සතුරන් පැමිණ ඔවුන්ගේ දේශය අල්ලාගන්නා තෙක්ම+ ඔවුහු එසේ සේවය කළෝය. 31  සැබෑ දෙවිට නමස්කාර කිරීම සඳහා ඉදි කළ කූඩාරම+ ෂීලෝ නුවරේ+ තිබූ කාලය පුරාම මීකා සාදාගත් රූපයද ඔවුහු තම නුවරේ තබාගත්තෝය.

පාදසටහන්

තේරුම, “දාන්ගේ කඳවුර.”
මූ.අ., “නෙළූ රූපය.”