විනිශ්චයකරුවෝ 20:1-48

20  එහෙයින් දාන් නුවරේ සිට+ බෙයර්-ෂෙබා දක්වා+ ජීවත් වූ සියලුම ඊශ්‍රායෙල්වරුද ගිලියද් දේශයේ ජීවත් වූ+ ඊශ්‍රායෙල්වරුද තම ගම්බිම්වලින් පිටත් වී මිෂ්පා නුවර+ වෙතට එක් රොක් වූහ.+ ඔවුන් එකා මෙන්+ එහි රැස් වූයේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමටය.  ඊශ්‍රායෙල්වරුන්ගේ සියලු ගෝත්‍රවල ප්‍රධානීහුද සෙනඟ අතරේ සිටි අධිපතීහුද සැබෑ දෙවිගේ+ සෙනඟ සමඟ එහි රැස්ව සිටියෝය. එමෙන්ම යුද්ධයට දක්ෂ පාබළ හමුදාවට අයත් භටයෝ හාරලක්ෂයක්ද ඔවුන් අතර සිටියෝය.+  සියලුම ඊශ්‍රායෙල්වරුන් මිෂ්පා නුවරෙහි රැස්ව සිටින බව බෙන්ජමින්වරුන්ටද ආරංචි විය.+ රැස්ව සිටි ඊශ්‍රායෙල්වරු ලෙවීවරයාගෙන් මෙසේ ඇසුවෝය. “මේ මහා අපරාධය සිදු වුණේ කොහොමද කියලා අපට කියන්න.”+  එවිට මරා දැමූ ස්ත්‍රියගේ පුරුෂයා වූ එම ලෙවීවරයා+ මෙසේ පිළිතුරු දුන්නේය. “මමත් මගේ උපභාර්යාවත්+ එදා රෑ නවාතැන් ගත්තේ බෙන්ජමින්වරුන්ට අයත් ගිබෙයා නුවරෙයි.+  එදා රෑ ඒ නගරයේ හිටපු පිරිසක් ඇවිත් අපි නවාතැන් ගත් නිවස වට කළා. ඔවුන්ට ඕනේ වුණේ මාව මරලා දාන්න. ඒත් ඔවුන් අන්තිමට මගේ උපභාර්යාවව දූෂණය කළා.+ ඒ නිසා ඇය මිය ගියා.+  ඊශ්‍රායෙල් දේශයේ සිදු වුණු මේ මහත් නින්දාසහගත අපරාධය+ ගැන හැමෝටම කියන්නයි මට ඕනේ වුණේ. ඒ නිසයි මම ඇගේ මළ සිරුර කොටස්වලට කපලා ඊශ්‍රායෙල් දේශයේ සියලුම පළාත්වලට යැව්වේ.+  දැන් ඊශ්‍රායෙල් සෙනඟෙනි, සිදු වූ මේ අපරාධය ගැන සිතා බලා ඔබම තීරණයක් ගන්න.”+  එවිට සියලුදෙනාම එක හඬින්+ මෙසේ කීවෝය. “මේ කාරණය විසඳන තෙක් අපි කිසි කෙනෙක් අපේ ගෙවල්වලට යන්නේ නැහැ.+  අපි දාදු දමා පිරිසක් තෝරාගෙන+ ගිබෙයා නුවරට විරුද්ධව සටන් කරමු. 10  සටනට යන ඒ අයට අවශ්‍ය ආහාර පාන සූදානම් කිරීමට තවත් පිරිසක් පත් කරමු. ඒ සඳහා ඊශ්‍රායෙල්වරුන්ගේ සියලු ගෝත්‍රවලින් සියයකින් දසදෙනෙකු බැගින්ද දහසකින් සියදෙනෙකු බැගින්ද දසදහසකින් දහස්දෙනෙකු බැගින්ද තෝරාගනිමු. එවිට බෙන්ජමින්වරුන් ගිබෙයා නුවරේ කළ මේ මහා නින්දාසහගත අපරාධයට+ දඬුවම් දෙන පිරිසට සහය දෙන්න ඔවුන්ටත් පුළුවන් වෙයි.” 11  මෙසේ සියලුම ඊශ්‍රායෙල්වරු එකා මෙන් ගිබෙයා නුවරට විරුද්ධව නැඟී සිටියෝය. 12  ඊශ්‍රායෙල්වරු බෙන්ජමින්වරුන්ට+ පණිවිඩයක් යවමින් මෙසේ පැවසුවෝය. “ඔබේ සෙනඟ කරලා තියෙන මේ මහත් අපරාධය ගැන ඔබට මොනවාද කියන්න තියෙන්නේ?+ 13  ගිබෙයා නුවරේ+ සිටින ඒ නැහැදිච්ච මිනිසුන්ව+ අපිට භාර දෙන්න.+ ඔවුන්ව මරා දැමිය යුතුයි.+ ඊශ්‍රායෙල් දේශයට සිදු වුණු මේ කැළැල ඉවත් කරන්න පුළුවන් වෙන්නේ අපි එහෙම කළොත් විතරයි.”+ එහෙත් බෙන්ජමින්වරුන් තම සහෝදරයන් වූ ඊශ්‍රායෙල්වරුන්ගේ ඉල්ලීම ගණනකටවත් ගත්තේ නැත.+ 14  ඔවුහු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කිරීමට තීරණය කර, තම නුවරවලින් පිටත් වී ගිබෙයා නුවරට රැස් වූවෝය. 15  ඔවුහු ඒ සඳහා බෙන්ජමින් ගෝත්‍රයට අයත් නුවරවලින් යුද්ධයට දක්ෂ පුරුෂයන් විසිහයදහසක්ද+ ගිබෙයා නුවරින් පුරුෂයන් හත්සියයක්ද තෝරාගත්තෝය. 16  ඒ පිරිස අතරේ වමත හුරු+ මිනිස්සු හත්සියදෙනෙක් සිටියෝය. ඔවුන්ව විශේෂයෙන්ම තෝරාගෙන තිබුණේ ගල්පටිවලින් විදීමටය.+ ඔවුන් ඒ සඳහා කොතරම් දක්ෂද කිවහොත් කෙස්ගසක්වත් එහා මෙහා නොවන සේ ඉලක්කයටම විදීමේ හැකියාව ඔවුන්ට තිබිණ. 17  බෙන්ජමින්වරුන්ට විරුද්ධව සටන් කිරීමට ඊශ්‍රායෙල්වරුන් රැස් කරගත් මිනිසුන්ගේ සංඛ්‍යාව හාරලක්ෂයකි.+ යුද්ධයට දක්ෂ ඔවුන් සියලුදෙනාම පළපුරුදු සෙබළුන්ය. 18  ඔවුහු සියලුදෙනාම සටනට යෑමට කලින් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීම සඳහා+ බෙතෙල් නුවරට ගියෝය. එහිදී ඊශ්‍රායෙල්වරු දෙවිගෙන් මෙසේ ඇසුවෝය. “බෙන්ජමින්වරුන්ට විරුද්ධව කරන සටනේදී පෙරමුණ ගත යුත්තේ කවුද?”+ එවිට යෙහෝවා දෙවි, “යූදා ගෝත්‍රයේ අය පෙරමුණ ගත යුතුයි”+ කියා දැන්වීය. 19  ඉන්පසු ඊශ්‍රායෙල්වරු උදෑසනින්ම ගොස් ගිබෙයා නුවර වටා කඳවුරු බැඳගත්තෝය. 20  ගිබෙයා නුවර වටලා සිටි ඊශ්‍රායෙල්වරු තම භට පිරිස් සංවිධානය කර, බෙන්ජමින්වරුන්ට විරුද්ධව සටන් කිරීමට පිටත් වූහ. 21  එවිට බෙන්ජමින්වරු ගිබෙයා නුවරින්+ පිටත්ව ඇවිත් ඊශ්‍රායෙල්වරුන්ට පහර දුන්නෝය. එදින ඊශ්‍රායෙල්වරු විසිදෙදහසක් මරුමුවට පත් වූහ.+ 22  එම පරාජයෙන් පසුබට නොවූ ඊශ්‍රායෙල්වරු යළි සංවිධානය වී එම ස්ථානයේදීම නැවතත් සටන් කිරීමට සූදානම් වූහ. 23  ඉන්පසු ඔවුහු බෙතෙල් නුවරට ගොස් යෙහෝවා දෙවි ඉදිරියේ සවස් වන තුරු හඬා වැලපුණෝය.+ එහිදී ඔවුහු යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතමින්, “දෙවියනි, අපේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධව අපි නැවතත් සටන් කළ යුතුද”+ කියා ඇසුවෝය. එවිට යෙහෝවා දෙවි, “ඔවුන්ට විරුද්ධව සටන් කරන්න” කියා පැවසීය. 24  එහෙයින් ඊශ්‍රායෙල්වරු දෙවන දිනත් බෙන්ජමින්වරුන්ට විරුද්ධව සටනට ගියෝය.+ 25  බෙන්ජමින්වරු එදිනද ගිබෙයා නුවරින් පිටත්ව ඇවිත් ඔවුන්ට පහර දී යුද්ධයට දක්ෂ+ ඊශ්‍රායෙල්වරුන් දහඅටදහස්දෙනෙකුව මරා දැමුවෝය.+ 26  ඒ පරාජයෙන් පසු සියලුම ඊශ්‍රායෙල්වරු+ එකතු වී බෙතෙල් නුවරට නැවත ගොස් යෙහෝවා දෙවි ඉදිරියේ හඬා වැලපෙමින්+ සවස් වන තුරු නිරාහාරව සිටියෝය.+ ඔවුහු යෙහෝවා දෙවිට දවන පූජා+ හා හවුල් පූජාද+ ඔප්පු කළෝය. 27  පසුව ඔවුහු නැවතත් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවෝය.+ ඒ කාලයේදී සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තිබුණේ බෙතෙල් නුවරෙහිය.+ 28  ආරොන්ගේ පුත් එලියාසර්ගේ පුත්‍රයෙකු වූ පිනෙහාස්+ ගිවිසුම් පෙට්ටිය ඉදිරියට ගොස්+ සෙනඟ වෙනුවෙන් දෙවිගෙන් මෙසේ ඇසුවේය. “දෙවියනි, අපේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධව අපි නැවත වතාවක් සටන් කළ යුතුද? නැත්නම් අපි මේ සටන අත්හරින්නද?”+ එවිට යෙහෝවා දෙවි, “සටනට යන්න. මන්ද මම හෙට ඔවුන්ව ඔබේ අතට හසු කර දෙන්නෙමි”+ කියා පැවසීය. 29  එහෙයින් ඊශ්‍රායෙල්වරු භට පිරිසක්ව තෝරාගෙන ගිබෙයා නුවර වටා සැඟවී සිටින ලෙස+ ඔවුන්ට පැවසුවෝය. 30  ඉන්පසු ඊශ්‍රායෙල්වරු කලින් දිනවල කළ ලෙසම+ තුන්වන දිනත් තම භට පිරිස් සංවිධානය කර, ගිබෙයා නුවරේ සිටි බෙන්ජමින්වරුන්ට විරුද්ධව සටනට ගියෝය. 31  බෙන්ජමින්වරුන්ද නුවරින් පිටත් වී ඊශ්‍රායෙල්වරුන් සමඟ සටන් කරමින් ඔවුන් පසුපස ආ නිසා බෙන්ජමින්වරු තම නුවරින් ක්‍රමානුකූලව ඈත් වූහ.+ බෙතෙල් නුවර+ දක්වා විහිදී ගිය මහාමාර්ගය දිගේ හා ගිබෙයා+ වෙතින් විහිදී ගිය අනික් මහාමාර්ගය දිගේ තිබූ තණබිම්වලදී ඔවුහු කලින් වතාවල මෙන් ඊශ්‍රායෙල්වරුන්ට පහර දී තිස්දෙනෙකුව පමණ මරා දැමුවෝය.+ 32  එවිට බෙන්ජමින්වරු, “මේ වතාවෙත් ඔවුන් අන්ත පරාජයකට පත් වෙයි”+ කියා තම තමන් අතරේ කියාගත්තෝය. ඊශ්‍රායෙල්වරුන්ද, “අපි නුවරින් පිටව යන මහාමාර්ග දෙසට පසුබසිමු.+ එතකොට ඔවුනුත් අපි පසුපස එන නිසා ඔවුන්ගේ නුවරින් ඔවුන් ඈත් වෙයි” කියා පැවසුවෝය. 33  එහෙයින් ඊශ්‍රායෙල්වරු බාල්-තාමාර් නම් ස්ථානය දක්වා ගොස් සටනට සූදානමින් සිටියෝය. ඒ අතරතුර ගිබෙයා නුවර+ අවට සැඟවී සිටි+ භට පිරිස තමන් සැඟවී සිටි ස්ථානවලින් ඉවතට පැමිණියෝය. 34  මෙසේ සැඟවී සිටි අයගේ ගණන දසදහසකි. ඔවුහු ගිබෙයා නුවරට විරුද්ධව දැඩි ලෙස පහර දීමට පටන්ගත්තෝය. තමන් අන්ත පරාජයක් අද්දකින්න යන බව බෙන්ජමින්වරු ඒ වන විට දැන සිටියේ නැත.+ 35  එදින යෙහෝවා දෙවි, ඊශ්‍රායෙල්වරුන් මාර්ගයෙන් බෙන්ජමින්වරුන්ව පරාජය කළේය.+ එහි ප්‍රතිඵලයක් ලෙස යුද්ධයට දක්ෂ බෙන්ජමින්වරු විසිපන්දහස් එකසියදෙනෙක් මිය ගියෝය.+ 36  නමුත් තමන් වෙතින් පසුබැස යන ඊශ්‍රායෙල්වරුන්ව දුටු බෙන්ජමින්වරුන් සිතුවේ ඊශ්‍රායෙල්වරුන් අන්ත පරාජයකට ලක්ව පලා යන බවයි.+ එහෙත් ඊශ්‍රායෙල්වරුන් එසේ කළේ ගිබෙයා නුවර අවට සැඟවී සිටි භට පිරිසට පහසුවෙන්ම නුවරට පහර දීමට හැකි වන පිණිසය. ඔවුන්ගේ ඒ සැලැස්ම සාර්ථක වන බව ඔවුහු හොඳින්ම දැන සිටියෝය. 37  සැඟවී සිටි භට පිරිස+ ඉක්මනින් ක්‍රියාත්මක වී ගිබෙයා නුවරට කඩාවැද+ නුවරේ සිටි සියලුදෙනාව කඩුවෙන් මරා දැමුවෝය.+ 38  සැඟවී සිටි පිරිස නුවරට පහර දුන් පසු ඒ බව සෙසු ඊශ්‍රායෙල්වරුන්ට දැනුම් දීමට ඔවුන් සැලැස්මක් යොදා තිබිණ. එය නම් සංඥාවක් ලෙස නුවරෙන් දුමක් ඉහළට නැංවීමය.+ 39  මහාමාර්ග දෙසට පසුබසිමින් සිටි ඊශ්‍රායෙල්වරුන්ට පහර දුන් බෙන්ජමින්වරුන් අතින් ඊශ්‍රායෙල්වරු තිස්දෙනෙක් පමණ මරුමුවට පත් වූහ.+ එය දුටු බෙන්ජමින්වරු, “කලින් සටනේදී වගේ අදත් ඔවුන් අන්ත පරාජයක් අද්දකින්නයි යන්නේ”+ කියා පැවසුවෝය. 40  මේ අතරතුර නුවරින් දුමක්+ ඉහළට නඟින්න පටන්ගත්තේය.+ බෙන්ජමින්වරු ඒ දෙස හැරි බැලූ විට මුළු නුවරම ගිනිගනිමින් තිබෙන බව ඔවුහු දුටුවෝය.+ 41  එවිට ඊශ්‍රායෙල්වරු හැරී බෙන්ජමින්වරුන්ට විරුද්ධව සටන ඇරඹූහ.+ මෙවර තමන්ට අන්ත පරාජයක් අද්දැකීමට සිදු වන බව තේරුම්ගත්+ බෙන්ජමින්වරු බොහෝ සෙයින් කලබල වූහ.+ 42  ඊශ්‍රායෙල්වරුන්ගේ දැඩි ප්‍රහාරයට හසු වූ ඔවුහු පාළුකරය දෙසට පලා ගියෝය. එවිට ඊශ්‍රායෙල් භට පිරිසද ඔවුන් පසුපස ගියෝය. නුවරට පහර දුන් භට පිරිසද බෙන්ජමින්වරුන්ව ලුහුබැඳ ගොස් ඔවුන්ව මරා දැමීමට පටන්ගත්තෝය. 43  ඔවුහු බෙන්ජමින්වරුන්ව සෑම පැත්තකින්ම වට කළෝය.+ ඒ නිසා ඔවුන් අතින් බේරීමට බෙන්ජමින්වරුන්ට නොහැකි විය. ඊශ්‍රායෙල්වරු ඔවුන්ව ගිබෙයා නුවරට+ නැඟෙනහිරෙන් පිහිටි ස්ථානයක් දක්වා ලුහුබැඳ ගොස් ඔවුන්ට නොනවත්වා පහර දී+ ඔවුන්ව මරා දැමුවෝය. 44  එයින් මිය ගිය බෙන්ජමින්වරුන්ගේ සංඛ්‍යාව දහඅටදහසකි. ඔවුහු සියලුදෙනාම එඩිතර පුරුෂයෝය.+ 45  ඊශ්‍රායෙල්වරු මහාමාර්ගවල සිටි බෙන්ජමින්වරුන් පන්දහසක්වද+ ගිදොම් දක්වා පලා ගිය බෙන්ජමින්වරුන් දෙදහසක්වද මරා දැමුවෝය. ඉතුරු බෙන්ජමින්වරු පාළුකරය දෙසට පලා ගොස් රිම්මොන් නම් පර්වතයේ+ සැඟවුණෝය. 46  එදින මිය ගිය බෙන්ජමින්වරුන්ගේ මුළු සංඛ්‍යාව විසිපන්දහසකි.+ ඔවුහු සියලුදෙනාම යුද්ධයට දක්ෂ, එඩිතර පුරුෂයෝය. 47  පාළුකරයට පලා ගොස් රිම්මොන් නම් පර්වතයේ සැඟවුණු පුරුෂයන්ගේ සංඛ්‍යාව හයසියයකි. ඔවුහු රිම්මොන් පර්වතයේ මාස හතරක් සැඟවී සිටියෝය.+ 48  සටන අවසන් කර පැමිණි ඊශ්‍රායෙල්වරු බෙන්ජමින්වරුන් ජීවත්ව සිටි සෑම නුවරකටම ගොස් එහි සිටි සියලුදෙනාවම මරා දැමුවෝය. මිනිසුන්ව පමණක් නොව එහි සිටි සියලු සතුන්වද මරා දැමූ+ ඔවුහු ඒ සෑම නුවරකටම ගිනි තැබුවෝය.+

පාදසටහන්