විනිශ්චයකරුවෝ 7:1-25

7  යෙරුබ්බාල්+ යන නම ලැබූ ගිඩියොන්ද+ ඔහුට එකතු වූ සියලුදෙනාද හිමිදිරියේ නැඟිට හාරොද් උල්පත අසලට ගොස් එහි කඳවුරු බැඳගත්තෝය. ඊට උතුරින් පිහිටි පහත් තැනිතලාවේ මොරේ නම් කන්ද අසල මිදියන්වරු කඳවුරු බැඳගෙන සිටියෝය.  යෙහෝවා දෙවි ගිඩියොන්ට මෙසේ පැවසීය. “ඔබ සමඟ සිටින අයගේ ගණන වැඩියි.+ ඒ නිසා මා මිදියන්වරුන්ව පරාජය කර ඔබට ජය ලබා දුන් පසු, ‘අපි මේ ජයග්‍රහණය ලබාගත්තේ අපේම ශක්තියෙන්’+ කියා ඊශ්‍රායෙල්වරුන් පුරසාරම් දෙඩීමට+ ඉඩ තිබේ.  එහෙයින් සියලුදෙනාටම ඇසෙන සේ මෙසේ කියන්න. ‘ඔබ අතරේ සිටින කවුරු හරි කෙනෙක් යුද්ධයට යන්න භය නම් දැන් ඔහුට පුළුවන් හැරී ආපසු නිවෙස්වලට යන්න.’”+ ගිඩියොන් එසේ පැවසූ විට මිනිසුන් විසිදෙදහසක් තම නිවෙස්වලට හැරී ගියෝය. එවිට සෙනඟගේ ගණන දසදහසක් දක්වා අඩු විය.  එහෙත් යෙහෝවා දෙවි නැවතත් ගිඩියොන්ට කතා කරමින් මෙසේ පැවසීය. “තවමත් ඔබ සමඟ සිටින අයගේ ගණන වැඩියි.+ ඔවුන්ව දිය පහර ළඟට ගෙන යන්න. එහිදී ඔබ සමඟ සටනට යෑමට සුදුස්සන්ව මම තෝරා දෙන්නෙමි. ‘මේ පුද්ගලයා සුදුසුයි’ කියා පවසමින් මා යමෙකුව තෝරාගන්නා විට ඔහුව ඔබේ කණ්ඩායමට ඇතුළත් කරගන්න. ‘මේ පුද්ගලයා සුදුස්සෙක් නොවෙයි’ කියා මා යමෙකු ගැන පැවසුවොත් ඔහුව ඔබේ කණ්ඩායමට ඇතුළත් කර නොගන්න.”  එහෙයින් ගිඩියොන් සෙනඟ සමඟ දිය පහර අසලට ගියේය.+ එහිදී යෙහෝවා දෙවි ගිඩියොන්ට මෙසේ පැවසුවේය. “වතුර අතට ගෙන බල්ලෙකු වතුර බොන්නාක් මෙන් දිවෙන් ලෙව කා වතුර බොන අයව එක පැත්තකටද දණ ගසා හිස පහත් කරගෙන වතුර බොන අයව තවත් පැත්තකටද වෙන් කරන්න.”+  වතුර අතට ගෙන බල්ලෙකු වතුර බොන්නාක් මෙන් බිවූ අයගේ සංඛ්‍යාව තුන්සියයකි. අනිකුත් සියලුදෙනාම වතුර බිව්වේ දණ ගසා හිස පහත් කරගෙනය.  යෙහෝවා දෙවි ගිඩියොන්ට මෙසේ කීවේය. “මා ඔබේ ජනතාවට නිදහස ලබා දෙන්නේ වතුර අතට ගෙන බිවූ මේ තුන්සියදෙනා මාර්ගයෙනි. මම ඔවුන් ලවා මිදියන්වරුන්ව ඔබේ අතට හසු කර දෙන්නෙමි.+ ඒ නිසා අනික් අයට ඔවුන්ගේ නිවෙස්වලට යෑමට ඉඩ දෙන්න.”  ඉන්පසු ගිඩියොන් එම තුන්සියදෙනාව රඳවාගෙන ඉතුරු අයව ඔවුන්ගේ නිවෙස් කරා යැව්වේය. ඔවුන්ගේ ආහාර සහ හොරණෑ+ එම තුන්සියදෙනා තමන් ළඟ තබාගත්තෝය. මිදියන්වරුන්ගේ කඳවුර පිහිටා තිබුණේ ගිඩියොන් සිටි ස්ථානයට පහතින් පිහිටි තැනිතලාවේය.+  එදින රාත්‍රියේදී+ යෙහෝවා දෙවි ගිඩියොන්ට මෙසේ පැවසුවේය. “සූදානම් වෙන්න. මිදියන්වරුන්ගේ මුළු කඳවුරම මම ඔබේ අතට හසු කර දෙන්නෙමි. ඔබ කඳවුර තිබෙන තැනට බැස ගොස් ඔවුන්ට පහර දෙන්න.+ 10  එහෙත් එසේ කිරීමට ඔබ තුළ බියක් ඇත්නම් මුලින්ම පූරා නමැති ඔබේ සහයකයා සමඟ කඳවුර තිබෙන තැනට ගොස්+ 11  කඳවුරේ සිටින අයගේ කතාබහට සවන් දෙන්න.+ ඔබට ඇසෙන දේවලින් නිසැකවම ඔබ දිරිමත් වනු ඇත.+ එවිට කිසිම සැකයක් නැතුව කඳවුරට පහර දෙන්න ඔබට හැකි වෙයි.” එහෙයින් ඔහු තම සහයකයා වූ පූරා සමඟ කඳවුර දෙසට බැස ගොස් ඒ අසලටම පැමිණියේය. 12  මිදියන්වරු, අමලෙක්වරු සහ නැඟෙනහිර ප්‍රදේශවල වැසියෝ+ අතිවිශාල සංඛ්‍යාවක් ඒ වන විට තැනිතලාවේ එක් රොක්ව සිටියෝය. ඔවුන් පළඟැටි රංචුවක් මෙන් විය.+ ඔවුන් සතු ඔටුවන්ගේ+ ගණන මුහුදු වෙරළක වැලි කැට මෙන්ය. 13  ගිඩියොන් ඔවුන්ගේ කඳවුර අසලට පැමිණි විට එහි සිටි එක් මිනිසෙක් තම මිතුරෙකුට තමා දුටු සිහිනයක් ගැන විස්තර කරමින් සිටියේය. ඔහු පැවසුවේ මෙසේය. “මම පුදුම හීනයක් දැක්කා.+ මම දැක්කා බාර්ලිවලින් හදපු රොටියක් මිදියන්වරුන්ගේ කඳවුරට පෙරළීගෙන එනවා. ඒක කූඩාරමක වැදී ඒ කූඩාරම බිමටම සමතලා වුණා.”+ 14  එවිට ඔහුගේ මිතුරා පිළිතුරු දෙමින්,+ “මේක නම් ඊශ්‍රායෙල් ජාතිකයෙක් වන යෝවාෂ්ගේ පුත් ගිඩියොන්ගේ කඩුවම+ තමයි. සැබෑ දෙවි+ මිදියන්වරුන්වත් ඔවුන් සමඟ කඳවුරු බැඳගෙන සිටින සියලුදෙනාවත් ඔහුට යටත් කර දෙන බවට නම් කිසිම සැකයක් නැහැ.”+ 15  ඒ මිනිසා දුටු සිහිනය ගැනත් ඔවුන් එය විස්තර කළ ආකාරය ගැනත්+ ඇසූ ගිඩියොන් දණින් වැටී දෙවිට නමස්කාර කළේය.+ ඉන් අනතුරුව ඔහු ඊශ්‍රායෙල් කඳවුරට ගොස්, “සියලුදෙනාම දැන් සූදානම් වෙන්න.+ යෙහෝවා දෙවි මිදියන්වරුන්ගේ කඳවුර අපට යටත් කර දෙන අවස්ථාව දැන් ඇවිත්” කියා පැවසීය. 16  එවිට ඔහු ඒ තුන්සියදෙනා කණ්ඩායම් තුනකට බෙදා සෑම කෙනෙකුටම හොරණෑවක්+ සහ විශාල මැටි භාජනයක් බැගින් දුන්නේය. ඒ සෑම මැටි භාජනයක් තුළම පන්දමක් සඟවා තිබිණ. 17  ඔහු ඔවුන්ට මෙසේ පැවසීය. “මා කරන දේ බලා ඔබත් ඒ විදිහටම කරන්න. මා කඳවුර අසලට ගොස් කරන දේ ඔබත් කරන්න. 18  මාත් මා සමඟ සිටින අයත් හොරණෑ පිඹින විට කඳවුර වටකර සිටින ඔබ සියලුදෙනාත් ඔබේ හොරණෑ පිඹ,+ ‘යෙහෝවා දෙවිට+ හා ගිඩියොන්ට ජය නියතයි’ කියා කෑගසන්න.” 19  ගිඩියොන්ද ඔහුගේ කණ්ඩායමට අයත් සියලුදෙනාද කඳවුර අසලට ගියෝය. ඔවුන් එසේ ගියේ මධ්‍යම රාත්‍රියට කලින් ඇරඹෙන වැඩමුරය+ සඳහා මුරකරුවන් මාරු වන වේලාවේදීය. කඳවුර අසල සිටි ඔවුහු තම හොරණෑ පිඹ+ තම අත්වල තිබූ විශාල මැටි භාජන බිඳ දැමුවෝය.+ 20  මෙසේ කණ්ඩායම් තුනම එකවර තම හොරණෑ පිඹ+ තම අත්වල තිබූ විශාල මැටි භාජන බිඳ දැමුවෝය. එහි සඟවා තිබූ පන්දම් වමතට ගත් ඔවුහු දකුණතින් හොරණෑ ගෙන ඒවා පිඹින අතරතුර, “යෙහෝවා දෙවිට+ හා ගිඩියොන්ට ජය නියතයි” කියා කෑගැසුවෝය. 21  ඒ අවස්ථාවේදී සියලුදෙනාම තමාට නියමිත ස්ථානයෙහි රැඳී සිටියෝය. මේ අතර කඳවුරේ සිටි අය කලබල වී කෑගසමින් පලා ගියෝය.+ 22  තුන්සියදෙනා+ දිගටම හොරණෑ පිඹිමින්+ සිටියෝය. එවිට යෙහෝවා දෙවි කඳවුරේ සිටි සියලුදෙනාට තම තමාගේ කඩුවෙන් එකිනෙකාටම පහර දීමට සැලැස්වීය.+ ඔවුහු බෙත්-ෂිට්ටා දක්වාද එතැන් සිට ෂෙරේරා දක්වාද ටබ්බාත් අසල පිහිටි ආබෙල්-මෙහෝලා නම් ප්‍රදේශයේ+ මායිම දක්වාද පලා ගියෝය. 23  මේ අතරතුර නෆ්තලී,+ ආෂෙර්+ සහ මනස්සේ+ යන ගෝත්‍රවලින් ඊශ්‍රායෙල්වරුන්ව රැස් කරවන ලදි. ඔවුහු මිදියන්වරුන් පසුපස හඹා ගියෝය.+ 24  එසේම එෆ්‍රායිම් කඳුකරයේ විසූ අය වෙතට පණිවිඩකරුවන් යැවූ ගිඩියොන්,+ “මිදියන්වරුන්ට කලින් බෙත්-බාරා සහ යොර්දාන් ගඟ අසලට යන්න. මිදියන්වරුන්ට ගඟෙන් එතෙර වෙන්න ඉඩ දෙන්න එපා. මිනිසුන්ව එහි රඳවා තබන්න” කියා දන්වා යැවීය. එෆ්‍රායිම් ගෝත්‍රයේ සියලුදෙනා එක් රැස් වී බෙත්-බාරා සහ යොර්දාන් ගඟ අසලට ගොස් එහි රැඳී සිටියෝය.+ 25  ඔවුහු ඔරෙබ් සහ ෂීබ්+ යන නම්වලින් හැඳින්වූ මිදියන්වරුන්ගේ අධිපතීන් දෙදෙනෙකුව අල්ලාගෙන මරා දැමුවෝය. ඔරෙබ්ව මරා දමන ලද්දේ ඔරෙබ් නම් පර්වතය මතය.+ ෂීබ්ව මරා දමන ලද්දේ ෂීබ් නම් ස්ථානයෙහි පිහිටි වයින් ගබඩාව අසලය. ඔවුහු දිගටම මිදියන්වරුන් පසුපස හඹා ගියෝය.+ පසුව ඔවුහු ඔරෙබ් සහ ෂීබ්ගේ හිස් රැගෙන යොර්දාන් ගඟ අසල සිටි ගිඩියොන්ව හමු වීමට ගියෝය.+

පාදසටහන්