විනිශ්චයකරුවෝ 8:1-35

8  ඉන්පසු එෆ්‍රායිම් ගෝත්‍රයේ මනුෂ්‍යයෝ ගිඩියොන්ට කතා කර, “ඔබ මිදියන්වරුන්ට විරුද්ධව සටන් කරන්න යද්දී ඇයි අපිට කතා කළේ නැත්තේ”+ කියා තරහෙන් අසමින් ඔහුට නොනවත්වාම දොස් තබන්න පටන්ගත්තෝය. ඔවුන් එසේ කළේ ගිඩියොන් සමඟ ආරවුලකට පැටලීමේ අදහසිනි.+  ඔවුන් නිහඬ වූ පසු ඔහු මෙසේ පැවසීය. “ඔබ කළ දේවල් එක්ක බලද්දී මම මොනවාද කරලා තියෙන්නේ!+ එෆ්‍රායිම්වරුනි, ඔබ කළ ඒ පොඩි දේ+ අබි-එෂෙර්ගෙන් පැවතෙන+ අප කළ හැම දෙයකටම වඩා කොයි තරම් වටිනවාද!*  මිදියන්වරුන්ගේ අධිපතීන් වූ ඔරෙබ් සහ ෂීබ්ව+ දෙවි හසු කර දුන්නේ ඔබේ අතටයි. ඉතින් ඔබ කළ ඒ දේ එක්ක බලද්දී මම මොනවාද කරලා තියෙන්නේ?” ඔහුගේ ඒ වචන ඇසූ විට ඔවුන්ගේ තරහ නිවී ගියේය.+  ඉන්පසු ගිඩියොන් සහ ඔහු සමඟ සිටි තුන්සියදෙනා යොර්දාන් ගඟ අද්දරට පැමිණ ඉන් එගොඩ වූහ. ඔවුහු වෙහෙසට පත්ව සිටියත් දිගටම සතුරන්ව ලුහුබැඳ ගියෝය.  ඔවුන් සුක්කොත්+ ළඟට පැමිණි විට ගිඩියොන් එහි වැසියන්ගෙන් මෙසේ ඉල්ලීය. “අපි මේ මිදියන්වරුන්ගේ රජවරුන් වන සෙබාහ්+ සහ ෂල්මුන්නා+ පසුපස ලුහුබැඳ යන ගමන්. මා සමඟ සිටින මේ මිනිසුන්ට දැන් හොඳටම මහන්සියි. ඒ නිසා අපිට රොටි ටිකක් දෙන්න පුළුවන්ද?”+  නමුත් සුක්කොත්හි අධිපතීහු මෙසේ කීවෝය. “ඔබේ හමුදාවට කෑම දෙන්න කියා අපිට කියන්නේ මොන හේතුවක් නිසාද?+ සෙබාහ් සහ ෂල්මුන්නාව දැනටමත් අල්ලගෙන වගෙයිනේ ඔබ කතා කරන්නේ.”  එවිට ගිඩියොන්, “යෙහෝවා දෙවි සෙබාහ් සහ ෂල්මුන්නා මගේ අතට හසු කර දුන් විට වෙන දේ අපි බලාගමු. මම වනයේ කටු පඳුරුවලින් ඔබ හැමෝටම හොඳ පාඩමක් උගන්වනවා”+ කියා පැවසීය.  ඔහු එතැන් සිට පෙනුයෙල්+ බලා ගියේය. ඔහු පෙනුයෙල්හි වැසියන්ගෙන් උපකාර ඉල්ලූ විට ඔවුන්ද පිළිතුරු දුන්නේ සුක්කොත්හි වැසියන් පිළිතුරු දුන් ආකාරයටමය.  එහෙයින් ඔහු පෙනුයෙල්හි වැසියන්ට මෙසේ පැවසීය. “මම ජය අරගෙන ඇවිල්ලා මේ පෙනෙන මුරටැඹ බිමටම සමතලා කරනවා.”+ 10  ඒ වන විට සෙබාහ් සහ ෂල්මුන්නාද+ ඔවුන් සමඟ ඉතුරුව සිටි හමුදා පිරිසද කර්කොර් නම් ස්ථානයේ කඳවුරු බැඳගෙන සිටියෝය. නැඟෙනහිර ප්‍රදේශවලින් පැමිණි+ ඔවුන්ගේ යුධ හමුදාවෙන් කඩු ශිල්පයට දක්ෂ පුරුෂයන් එක්ලක්ෂ විසිදහසක් මිය ගොස්+ සිටි අතර ඔවුන්ගෙන් ඉතුරුව සිටියේ පහළොස්දහසක් පමණි. 11  නෝබා සහ යොග්බෙහා+ යන නුවරවලට නැඟෙනහිරින් කූඩාරම්වල ජීවත් වූ වැසියන්ව පසු කරගෙන ගිය ගිඩියොන් මිදියන්වරුන්ගේ කඳවුරට පැමිණියේය. කඳවුරේ සිටි අය විමසිලිමත්ව නොසිටි අවස්ථාවක් බලා+ ඔවුහු ඔවුන්ට පහර දුන්නෝය. 12  එතැනින් පලා ගිය මිදියන්වරුන්ගේ රජවරුන් වූ සෙබාහ් සහ ෂල්මුන්නා+ පසුපස ලුහුබැඳ ගිය ගිඩියොන් ඔවුන් දෙදෙනාව අල්ලාගත්තේය. සිදු වූ දේ ආරංචි වූ විට කඳවුරේ සිටි සියලුදෙනාම බිය වූහ. 13  යුද්ධයෙන් ජය ලබා ආපසු පැමිණි යෝවාෂ්ගේ පුත් ගිඩියොන්, හෙරෙස් වෙතට යන දුර්ගය ඔස්සේ ගමන් කළේය. 14  ඒ අතරතුර ඔහු සුක්කොත් නම් නුවරේ+ වාසය කළ තරුණයෙකුව අල්ලාගෙන ඔහුගෙන් තොරතුරු විමසුවේය.+ එවිට ඔහු සුක්කොත්හි සිටි අධිපතීන්+ හා වැඩිමහල්ලන් හැත්තෑහත්දෙනාගේ නම් ගිඩියොන්ට ලියා දුන්නේය. 15  ඉන්පසු ඔහු සුක්කොත්හි වැසියන් වෙතට ගොස් මෙසේ පැවසීය. “ඔබට පේනවද මේ කවුද කියලා? මම සෙබාහ් සහ ෂල්මුන්නාව අල්ලාගෙන ආවා. ‘හෙම්බත්ව සිටින ඔබේ හමුදාවට කෑම දෙන්න කියා අපිට කියන්නේ මොන හේතුවක් නිසාද?+ සෙබාහ් සහ ෂල්මුන්නාව දැනටමත් අල්ලගෙන වගෙයිනේ ඔබ කතා කරන්නේ’ කියා කියමින් ඔබ අපට නින්දා කළා මතකද?” 16  එසේ පවසා ඔහු ගොස් වනයෙන් කටු පඳුරු කිහිපයක් එකතු කරගත්තේය. පසුව ඔහු නුවරේ සිටි සියලුම වැඩිමහල්ලන්ව අල්ලාගෙන ඒවායින් ඔවුන්ට හොඳටම තැළුවේය.+ 17  ඉන්පසු ඔහු පෙනුයෙල් නුවරට+ ගොස් එහි ඉදි කර තිබූ මුරටැඹ බිමටම සමතලා කර+ නුවරේ සිටි පුරුෂයන්ව මරා දැමුවේය. 18  ගිඩියොන් සෙබාහ් සහ ෂල්මුන්නාගෙන්+ මෙසේ ඇසුවේය. “ඔබ දෙදෙනා තාබෝර්හිදී+ කිහිපදෙනෙකුව මරා දැමුවා නේද? ඔවුන් මොන වගේ අයද කියා ඔබට මතකද?” එවිට ඔවුහු, “ඔවුන් හරියට ඔබ වගෙයි. ඔවුන්ගේ පෙනුම රජ කෙනෙකුගේ පුත්‍රයන්ගේ පෙනුමට සමානයි” කියා පිළිතුරු දුන්නෝය. 19  එවිට ඔහු මෙසේ පැවසීය. “ඔවුන් මගේම සහෝදරයන්. මගේම මවගේ පුත්‍රයන්. ඔබ ඔවුන්ව මරා දැම්මේ නැත්නම් මම ඔබ දෙදෙනාවත් මරන්නේ නැහැ.+ මම මේ කියන්නේ ජීවමාන යෙහෝවා දෙවිගේ නාමයෙන්.” 20  ඉන්පසු ඔහු තම කුලුඳුල් පුත් යෙතෙර්ට, “දැන් මේ දෙන්නාව මරා දමන්න” කියා අණ කළේය. නමුත් තරුණ වියේ සිටි+ යෙතෙර් ඔවුන්ව මරා දැමීමට බිය වූ නිසා තම කඩුව පිටතට නොගත්තේය. 21  එවිට සෙබාහ් සහ ෂල්මුන්නා ගිඩියොන්ට මෙසේ පැවසුවෝය. “කෙනෙක් නියම පුරුෂයෙක් කියා ඔප්පු කරන්නේ ඔහුගේ එඩිතර ක්‍රියාවලින්.+ ඉතින් ඔබම ඇවිත් අපිව මරා දමන්න.” එහෙයින් ගිඩියොන් සෙබාහ් සහ ෂල්මුන්නාව මරා දැමුවේය.+ ඔවුන්ගේ ඔටුවන්ගේ ගෙල වටා තිබූ හඳක හැඩැති ආභරණද ඔහු ගලවාගත්තේය. 22  කලක් ගත වූ පසු ඊශ්‍රායෙල් ජනයා ගිඩියොන්ට මෙසේ පැවසූහ. “මිදියන්වරුන්ගෙන් අපිව ගලවාගත්තේ ඔබයි.+ ඒ නිසා අපි කැමතියි ඔබත් ඔබට පසුව ඔබේ පුතාත් ඔහුට පසුව ඔබේ මුනුපුරාත් අපිව පාලනය කරනවාට.”+ 23  නමුත් ගිඩියොන්, “මමවත් මගේ පුතාවත් ඔබව පාලනය කරන්නේ නැහැ.+ ඔබේ පාලකයා යෙහෝවා දෙවියි”+ කියා පිළිතුරු දුන්නේය. 24  පසුව ඔහු තවදුරටත් ඔවුන්ට මෙසේ පැවසීය. “මම ඔබ සියලුදෙනාගෙන්ම එක ඉල්ලීමක් කරනවා. ඔබ සියලුදෙනා මට නාසාභරණය+ බැගින් දෙන්න.” (ඔවුන් ඉෂ්මායෙල්වරුන්+ වූ නිසා ඔවුන්ට රන් නාසාභරණ තිබිණ.) 25  එවිට ඔවුහු, “අපි ඒවා ඔබට දෙන්නම්” කියා පැවසුවෝය. පසුව ඔවුහු රෙදිකඩක් අතුරා නාසාභරණය බැගින් ඒ මත දැමූහ. 26  ගිඩියොන්ගේ ඉල්ලීම පරිදි එකතු කරගත් රන් නාසාභරණවල මුළු බර රන් ෂෙකෙල්* එක්දහස් හත්සියයකි. මීට අමතරව මිදියන්වරුන්ගේ රජවරුන් පැළඳ සිටි හඳක හැඩැති ආභරණද+ කරාබුද රත්නිල් පැහැති ලොම්+ වස්ත්‍රද ඔටුවන්ගේ ගෙල වටා දමා තිබූ ආභරණද+ එකතු කරගන්නා ලදි. 27  ගිඩියොන් ඒ රන්වලින් ඒෆොද් හැට්ටයක්+ සාදා එය ඔෆ්රා+ නම් තම නුවරෙහි ප්‍රදර්ශනය කළේය. පසුව සියලුම ඊශ්‍රායෙල්වරු දෙවිට ද්‍රෝහි වී ඊට නමස්කාර කළෝය.+ ඒ හැට්ටය නිසා ගිඩියොන්ටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් ප්‍රශ්න රැසකට මුහුණ පාන්න සිදු විය.+ 28  එලෙස ඊශ්‍රායෙල්වරු මිදියන්වරුන්ව+ පරාජය කළෝය. ඊශ්‍රායෙල්වරුන්ට ඔවුන්ගෙන් නැවතත් තර්ජන එල්ල නොවීය. ගිඩියොන් ජීවත් වූ කාලයේදී දේශයෙහි අවුරුදු හතළිහක් පුරා සාමකාමී වාතාවරණයක් පැවතිණ.+ 29  ඒ සියල්ල සිදු වූ පසු යෝවාෂ්ගේ පුත් යෙරුබ්බාල්*+ තම නිවසට ගොස් එහි වාසය කළේය. 30  ගිඩියොන්ට භාර්යාවෝ බොහෝදෙනෙක් සිටියෝය. එහෙයින් ඔහුට දාව පුත්‍රයෝ සැත්තෑදෙනෙක් උපන්නෝය.+ 31  ඔහුට ෂීකෙම්හි වාසය කළ උපභාර්යාවක්ද සිටියාය. ඔහුට දාව ඇයටත් පුතෙක් උපන්නේය. ගිඩියොන් ඔහුට අබිමෙලෙක්+ යන නම දුන්නේය. 32  තෘප්තිමත් ජීවිතයක් ගත කළ යෝවාෂ්ගේ පුත් ගිඩියොන් වයසට ගොස් මිය ගියේය. ඔහුව තැන්පත් කරන ලද්දේ අබි-එෂෙර්ගෙන් පැවතෙන්නන්ට+ අයත් ඔෆ්රා නම් නුවරෙහි ඔහුගේ පියා වූ යෝවාෂ්ට අයිතිව තිබූ සොහොනේය. 33  ගිඩියොන් මිය ගිය පසු ඊශ්‍රායෙල්වරු දෙවිට ද්‍රෝහි වී බාල් දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තෝය.+ ඔවුහු නමස්කාර කිරීමට තෝරාගත්තේ බාල්-බේරිත් නම් දෙවියාවය.+ 34  මෙසේ ඊශ්‍රායෙල්වරු තමන් අවට සිටි සියලුම සතුරන්ගෙන් තමන්ට ගැලවීම ලබා දුන්+ තම දෙවි වන යෙහෝවාව අමතක කර දැමුවෝය.+ 35  යෙරුබ්බාල් ලෙසත් හැඳින්වූ ගිඩියොන් ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් ඉටු කළ ඉමහත් සේවයට කෙළෙහි ගුණ නොදැක්වූ+ ඔවුහු ගිඩියොන්ගේ පවුලට ප්‍රේමණීයව* සැලකුවේ නැත.+

පාදසටහන්

මූ.අ., “එෆ්‍රායිම්වරුන් වන ඔබ නිකම් අහුලගත් මිදි ටික, අබි-එෂෙර්ගෙන් පැවතෙන අප නෙළාගත් මහා මිදි අස්වැන්නට වඩා කොයි තරම් වටිනවාද?”
ෂෙකෙලයක් යනු ග්‍රෑම් 11.4කි.
එනම්, ගිඩියොන්.
හෝ, “ළැදි ප්‍රේමයකින්.”