විනිශ්චයකරුවෝ 9:1-57

9  කල් යත්ම යෙරුබ්බාල්ගේ පුත් අබිමෙලෙක්+ තම මවගේ නෑදෑයන් විසූ ෂීකෙම් නුවරට+ ගියේය. ඔහු තම සීයාගේ* පවුලේ අය වෙතට ගොස් ඔවුන්ට මෙසේ කීවේය.  “ෂීකෙම් නුවරේ වාසය කරන සියලුදෙනාව කැඳවා ඔවුන්ට මෙහෙම කියන්න. ‘ඔබ කැමති යෙරුබ්බාල්ගේ පුතුන් හැත්තෑදෙනාම+ ඔබව පාලනය කරනවාටද? නැත්නම් මා වැනි තනි මිනිසෙක් පාලනය කරනවාටද? තීරණයක් ගන්න කලින් මම ඔබේම ලේ නෑයෙක්*+ බව මතක තියාගන්න.’”  පසුව ඔහුගේ මවගේ නෑදෑයන් ගොස් ෂීකෙම්හි වැසියන්ට මේ දේවල් කියූ විට, “ඔහු අපේම කෙනෙක්නේ”+ කියා පවසමින් ඔවුහු අබිමෙලෙක්ට පක්ෂ වූහ.+  එහෙයින් ඔවුහු බාල්-බේරිත්ගේ දේවාලයෙන්+ රිදී ෂෙකෙල් හැත්තෑවක් අබිමෙලෙක්ට දුන්නෝය. ඔහු ඒ මුදල්වලින් තමන් සමඟ ගමන්බිමන් යෑමට දාමරිකයන්+ කිහිපදෙනෙකුව කුලියට ගත්තේය.  ඔහු ඔවුන් සමඟ ඔෆ්රාහි+ පිහිටි තම පියාගේ නිවසට ගොස් යෙරුබ්බාල්ගේ පුතුන් හැත්තෑදෙනා වන ඔහුගේම සහෝදරයන්ව එකම ගලක් මත මරා දැමුවේය.+ නමුත් යෙරුබ්බාල්ගේ බාලම පුත් යෝතම් ඒ වන විට සැඟවී සිටි නිසා ඔහුගේ ජීවිතය පමණක් බේරුණේය.  කල් යත්ම ෂීකෙම්හි සියලුම වැසියෝ මිල්ලෝ නම් බලකොටුවේ+ විසූ සියලුදෙනා සමඟ එකතු වී ෂීකෙම්හි+ තිබූ කණුව අසල පිහිටි විශාල ගස+ ළඟට ගොස් අබිමෙලෙක්ව රජු ලෙස පත් කළෝය.+  යෝතම්ට මේ ගැන ආරංචි වූ වහාම ඔහු ගෙරිසීම් කන්ද+ මුදුනට ගොස් මහා හඬින් ඔවුන්ට මෙසේ පැවසුවේය. “ෂීකෙම්හි වැසියෙනි, මා කියන මේ කතාවට සවන් දෙන්න. එවිට දෙවිත් ඔබට සවන් දෙයි.  “එකමත් එක රටක සියලුම ගස් එකතු වී රජ කෙනෙක්ව පත් කරන්න තීරණය කළා. මුලින්ම ඔවුන් ඔලීව ගසට,+ ‘ඔබ අපේ රජ වෙන්න’+ කියා ආරාධනා කළා.  නමුත් ඔලීව ගස අනික් සියලුම ගස්වලට මෙහෙම කිව්වා. ‘දෙවිටත් මිනිසුන්ටත් ගෞරවයක් ලබා දීම සඳහා මගෙන් ගන්නා වටිනා තෙල් පාවිච්චි කරනවා.+ ඉතින් ඒ වගේ වටිනා සේවාවක් අත්හැරලා අනික් ගස්වලට වඩා ඉහළින් වැජඹෙන්න මට අවශ්‍ය නැහැ.’+ 10  එවිට සියලුම ගස් අත්තික්කා ගස+ ළඟට ගොස්, ‘ඔබට පුළුවන්ද අපේ රැජින වෙන්න’ කියා ඇසුවා. 11  නමුත් අත්තික්කා ගස එයට අකමැති වී, ‘රසවත් පල උපදවන මගේ කාර්යය අත්හැරලා අනික් ගස්වලට වඩා ඉහළින් වැජඹෙන්න මට අවශ්‍ය නැහැ’+ කියා පැවසුවා. 12  ඊළඟට සියලුම ගස් ගියේ මිදිවැල ළඟටයි. ‘ඔබ කැමතිද අපේ රැජින වෙන්න’ කියා මිදිවැලෙන් ඇසූ විට, 13  ‘මගෙන් නිපදවන අලුත් වයින්වලින් දෙවිත් මිනිස්සුත් බොහෝ සෙයින් සතුටු වෙනවා.+ ඉතින් ඒ වගේ සේවාවක් අත්හැරලා අනික් ගස්වලට වඩා ඉහළින් වැජඹෙන්න මට අවශ්‍ය නැහැ’ කියා මිදිවැල පිළිතුරු දුන්නා. 14  අන්තිමේදී මොකද වුණේ? සියලුම ගස් එකතු වෙලා කටු පඳුරක්+ ළඟට ගොස්, ‘ඔබ කැමතිද අපේ රජ වෙන්න’ කියා ඇසුවා. 15  කටු පඳුර එම ගස්වලට මෙහෙම කිව්වා. ‘ඔබ සියලුදෙනාම මට රජකම දෙන්නේ අවංක චේතනාවෙන් නම් ඇවිත් මගේ සෙවණෙහි වාසය කරන්න.+ හැබැයි ඔබ රජකම දෙන්නේ වැරදි චේතනාවකින් නම් මගෙන් ගින්නක් පිට වෙලා+ ලෙබනොන් රටේ+ සියලුම දේවදාර ගස් පිච්චිලා යයි.’+ 16  “ඉතින් ජනයෙනි, ඔබ සියලුදෙනා එකතු වී අබිමෙලෙක්ව රජු හැටියට පත් කළේ අවංක චේතනාවෙන්ද කියලා හොඳට හිතලා බලන්න.+ ඔබ යෙරුබ්බාල් සහ ඔහුගේ පවුලට කළ දේ කෙළෙහි ගුණ සැලකීමක්ද කියලත් හිතලා බලන්න. ඔබ ක්‍රියා කළේ සාධාරණවද කියලත් හොඳට කල්පනා කරලා බලන්න. 17  මගේ පියා ඔබ වෙනුවෙන් සටන් කළා.+ ඔහු තම ජීවිතය පරදුවට තබමින්+ මිදියන්වරුන්ට විරුද්ධව සටන් කර+ ඔබව ගලවාගත්තා. 18  නමුත් ඔබ කළේ මොකක්ද? සියලුදෙනාම එකතු වෙලා මගේ පියාගේ පුතුන් හැත්තෑදෙනාව+ එකම ගලක් මත මරා දැමුවා.+ ඊටපස්සේ ඔහුගේ දාසියකගේ පුතෙක්+ වන අබිමෙලෙක්ව ෂීකෙම්හි රජු හැටියට පත් කළා.+ ඔබ එහෙම කළේ ඔහු ඔබේම නෑයෙක් නිසයි. 19  ඔබ යෙරුබ්බාල්ටත් ඔහුගේ පවුලේ අයටත් කළ දේ සාධාරණයි කියා හිතනවා නම් ඔබ අද අබිමෙලෙක්ව රජු හැටියට පත් කළ එක ගැන සතුටු වෙන්න. ඔහුත් ඔබ සියලුදෙනා ගැන සතුටු වෙයි.+ 20  හැබැයි මේ දේ මතක තියාගන්න. මේ කාරණයේදී අසාධාරණයක් වෙලා තියෙනවා නම් ෂීකෙම් වැසියන්ටත් මිල්ලෝ බලකොටුවේ+ ජීවත් වන අයටත් අබිමෙලෙක්ගෙන් පහර කන්න සිදු වෙයි. ඔහු ඔබව පුලුස්සා දමයි.+ ඒ වගේම ඔවුනුත් අබිමෙලෙක්ට දරුණු ලෙස පහර දී+ ඔහුව නැති කර දමයි.”+ 21  ඒ දේවල් පැවසූ වහාම යෝතම්+ එතැනින් පලා ගොස් බෙයර් බලා පිටත් වූයේය. තම සහෝදරයා වූ අබිමෙලෙක්ගෙන් ඔහුට තර්ජන එල්ල වූ නිසා ඔහු එම ස්ථානයේ දිගටම වාසය කළේය. 22  අබිමෙලෙක් අවුරුදු තුනක් පුරා ඊශ්‍රායෙල් දේශය පාලනය කළ අතර එහි වැසියන්ව තම අණසක යටතේ තබාගත්තේය.+ 23  කල් යත්ම අබිමෙලෙක් සහ ෂීකෙම්හි වැසියන් අතර අමනාපයක් ඇති වීමට දෙවි ඉඩහැරියේය.+ ඒ නිසා ෂීකෙම්හි වැසියෝ අබිමෙලෙක්ට ද්‍රෝහි වූහ.+ 24  එසේ වීමට දෙවි ඉඩහැරියේ යෙරුබ්බාල්ගේ පුතුන් හැත්තෑදෙනාගේ ලේ වගුරුවා අබිමෙලෙක් කළ ඒ මහත් අසාධාරණයට+ ඔහු වන්දි ගෙවන පිණිසය.+ එසේම ඔහු කළ දේට අතහිත දුන් ෂීකෙම්හි වැසියන්ද එයට වන්දි ගෙවන පිණිසය.+ 25  මඟ තොටේ යන එන සියලුදෙනාගේ වස්තු කොල්ල කෑම සඳහා ෂීකෙම්හි වැසියෝ කඳු මුදුන්වල මිනිසුන්ව රැඳෙව්වෝය. ඔවුන් එසේ කළේ ප්‍රශ්න ඇති කරමින් අබිමෙලෙක්ගේ පාලනය අඩපණ කිරීමේ අරමුණෙනි. පසුව මේ දේවල් අබිමෙලෙක්ටද ආරංචි විය. 26  කලක් ගත වූ පසු ඒබෙද්ගේ පුත් ගාල්+ ඔහුගේ සහෝදරයන් සමඟ ෂීකෙම් නුවරට+ පැමිණියේය. ටික දවසක් ඇතුළත ෂීකෙම්හි වැසියන්ගේ විශ්වාසය දිනාගැනීමට ඔහු සමත් විය.+ 27  දිනක් ෂීකෙම්හි වැසියෝ සුපුරුදු පරිදි තම වතුපිටිවලට ගොස් මිදිපල නෙළා, ඒවා මඬින යන්ත්‍රයක දමා වයින් සෑදුවෝය. ඉන්පසු උත්සවයක්+ පැවැත්වූ ඔවුහු දේවාලයට+ ගොස් කා බී,+ අබිමෙලෙක්ට ශාප කළෝය.+ 28  ඒ අවස්ථාවේදී ඒබෙද්ගේ පුත් ගාල් මෙසේ පැවසීය. “කවුද මේ අබිමෙලෙක් කියන්නේ?+ ෂීකෙම්හි අධිපතියා හැටියට ඔහු පත් කරපු ෂෙබුල්ව+ අපි මොකටද ගණන් ගන්නේ? අබිමෙලෙක් කියන්නේ අර යෙරුබ්බාල්ගේ+ පුතෙක් නේද? ඔය කියන අධිපති ෂෙබුල් වැඩකට ඇති කෙනෙක්ද! අපි ෂීකෙම් නුවර පිහිටෙවූ හාමොර්ගේ පුතුන්ට+ සේවය කරමු. අපි මොකටද අබිමෙලෙක්ට යටත් වෙලා ඉන්නේ! 29  ඔබ සියලුදෙනා මට සහයෝගය දෙනවා නම්+ මම අනිවාර්යයෙන්ම අබිමෙලෙක්ව බලයෙන් පහ කරනවා.” ඉන්පසු ගාල් පණිවිඩයක් යවා අබිමෙලෙක්ට මෙසේ දැන්වීය. “ඔබ හමුදාවක් සූදානම් කරගෙන අපිත් එක්ක සටනට එන්න.”+ 30  ඒබෙද්ගේ පුත් ගාල්+ පැවසූ දේ නුවරේ අධිපතියා වූ ෂෙබුල්ට ආරංචි වූ විට ඔහු කෝපයෙන් පුපුරන්නට විය. 31  ඔහු රහසින් පණිවිඩකරුවන්ව යවා අබිමෙලෙක්ට මේ දේ දැන්වීය. “ඒබෙද්ගේ පුත් ගාල් සහ ඔහුගේ සහෝදරයන් දැන් ෂීකෙම් නුවරට+ ඇවිත් සිටිනවා. ඔවුන් නුවරේ මිනිසුන්ව ඔබට විරුද්ධව උසිගන්වනවා. 32  ඒ නිසා ඔබ හමුදාව සමඟ රාත්‍රියේම+ ඇවිත් තණබිමේ සැඟවී සිටින්න.+ 33  ඊළඟ දවසේ එළිය වැටෙද්දීම ඔබයි ඔබේ හමුදාවයි නුවරට කඩාවදින්න. ගාල් ඔහුගේ සේනාවත් සමඟ ඔබට විරුද්ධව සටනට එද්දී පුළුවන් හැම උපායක්ම යොදලා කොහොමහරි ඔවුන්ව පරාජය කරන්න.” 34  එහෙයින් අබිමෙලෙක් රාත්‍රියේදී පිරිසක් සමඟ ෂීකෙම් නුවර අසලට ගියේය. කණ්ඩායම් හතරකට බෙදී සිටි ඔහුගේ පිරිස තණබිමේ සැඟවී සිටියෝය. 35  මේ අතරතුර ඒබෙද්ගේ පුත් ගාල්,+ නුවරේ දොරටුව අසලට වී සෝදිසියෙන් සිටියේය. එවිට අබිමෙලෙක් සහ ඔහුගේ පිරිස තමන් සැඟවී සිටි ස්ථානවලින් එළියට ඇවිත් නුවර දෙසට ගමන් කරන්න පටන්ගත්තෝය. 36  පැමිණෙන පිරිස දුටු ගාල්, “අර බලන්න! කඳු මුදුන්වලින් මිනිසුන් පිරිසක් බැස එනවා” කියා ෂෙබුල්ට පැවසීය. එහෙත් ෂෙබුල්, “ඔබට ඔය පෙනෙන්නේ මිනිසුන් නෙවෙයි. ඔබ රැවටී සිටින්නේ කඳුවල සෙවණැල්ලටයි”+ කියා පිළිතුරු දුන්නේය. 37  පසුව ගාල් නැවත වරක්, “අර බලන්න! මිනිසුන් පිරිසක් දේශය මැද තිබෙන කන්දෙන් බැහැගෙන එනවා. එක පිරිසක් එන්නේ මෙයොනෙනිම්ගේ* විශාල ගස පැත්තෙන්” කියා පැවසීය. 38  එවිට ෂෙබුල් ඔහුට මෙසේ පැවසීය. “ඔබ දවසක්, ‘කවුද මේ අබිමෙලෙක් කියන්නේ? අපි මොකටද ඔහුට සේවය කරන්නේ’+ කියලා කිව්වා මතකද?+ ඔය එන්නේ ඔබ එදා හෙළාදුටු ඒ තැනැත්තායි ඔහුගේ හමුදාවයි.+ පුළුවන් නම් ගිහින් ඔවුන්ට විරුද්ධව සටන් කරන්න.” 39  ගාල්, ෂීකෙම්හි වැසියන් සමඟ ගොස් අබිමෙලෙක්ට විරුද්ධව සටන් කළේය. 40  නමුත් අබිමෙලෙක් ඔහුට පහර දෙන්න උත්සාහ කළ නිසා ඔහුට පලා යෑමට සිදු විය. ඒ සටනේදී කොතරම් පිරිසක් මිය ගියාද කිවහොත් නුවරේ දොරටුව දක්වාම බොහෝදෙනෙකුගේ මළ කඳන් වැටී තිබිණ. 41  ගාල්+ සහ ඔහුගේ සහෝදරයන්ව ෂීකෙම් නුවරින්+ ෂෙබුල්+ පන්නා දැමුවේය. මේ අතර අබිමෙලෙක් අරුමා නම් නුවරට ගියේය. 42  ඊළඟ දිනයේදී ෂීකෙම්හි වැසියන් නුවර අවට පිහිටි තණබිම්වලට පැමිණි බව අබිමෙලෙක්ට+ ආරංචි විය. 43  ඔහු තමා සමඟ සිටි පිරිස කණ්ඩායම් තුනකට බෙදා+ ඔවුන් සමඟ පැමිණ තණබිමේ සැඟවී සිටියේය. එසේ සැඟවී සිටි අබිමෙලෙක් සහ ඔහුගේ පිරිස නුවරින් පිට වී කෙත්වතු බලා යන මිනිසුන්ට පහර දී ඔවුන්ව මැරුවෝය. 44  අබිමෙලෙක් සහ ඔහු සමඟ සිටි කණ්ඩායම නුවරේ දොරටු අසලට කඩාපැන්නෝය. ඒ අතරතුර අනික් කණ්ඩායම් දෙක තණබිමේ සිටි අයට පහර දී ඔවුන්ව මරා දැමුවෝය.+ 45  මුළු දවස පුරාම සටන් කළ අබිමෙලෙක් අවසානයේදී නුවර අල්ලාගෙන නුවරේ සිටි සියලුදෙනාවම මරා දැමුවේය.+ ඉන්පසු ඔහු එය සුනුවිසුනු කර+ සෑම තැනකම ලුණු+ ඉසුවේය. 46  සිදු වූ දේ ෂීකෙම් බලකොටුවේ වැසියන්ට ආරංචි වූ විට ඔවුහු ඉක්මනින්ම එල්-බේරිත් දේවාලයට+ යාබදව පිහිටි උමඟට ගොස් සැඟවුණෝය. 47  නමුත් ඔවුන් එම උමඟෙහි සැඟවී සිටින බව අබිමෙලෙක්ට ආරංචි විය. 48  එවිට අබිමෙලෙක් තමා සමඟ සිටි පිරිස සමඟ ෂල්මොන් කන්දට+ නැඟ ගියේය. අබිමෙලෙක් පොරවක් ගෙන ගසක් ළඟට ගොස් එහි අත්තක් කපා එය තම කර මත තබාගෙන තමා සමඟ සිටි අයට මෙසේ කීවේය. “ඉක්මන් කර මම කළ දේම ඔබත් කරන්න.”+ 49  සියලුදෙනාම එක් අත්තක් බැගින් කපාගෙන එය කර පිට තබාගනිමින් අබිමෙලෙක් පසුපස ගියෝය. ඔවුන් උමඟ අසලට පැමිණි විට සියලුදෙනා තමන් රැගෙන ආ අතු උමඟට ඇතුල් වන ස්ථානයේ දමා ඒවාට ගිනි තැබුවෝය. ඒ නිසා එහි සැඟවී සිටි ෂීකෙම් බලකොටුවේ සියලුම වැසියෝ එනම්, පුරුෂයෝ හා ස්ත්‍රීහු දහසක් පමණ මරණයට පත් වූහ.+ 50  ඊළඟට තේබේෂ් නුවරට+ විරුද්ධව සටනට ගිය අබිමෙලෙක් එය අල්ලාගත්තේය. 51  තේබේෂ් නුවර මැද ආරක්ෂිත බලකොටුවක් තිබූ නිසා නුවරේ සියලුදෙනා එය වෙතට පලා ගියෝය. ඔවුහු එහි දොරටු වසාගෙන එහි මුදුනටම වී සිටියෝය. 52  අබිමෙලෙක් බලකොටුව වෙත ගොස් එහි සිටි වැසියන්ට විරුද්ධව සටන් කරමින් එයට ගිනි තැබීම සඳහා+ එහි දොරටුව අසලට ගියේය. 53  බලකොටුවේ මුදුනේ සිටි එක්තරා ස්ත්‍රියක් එය දැක ඇඹරුම් ගලක් ගෙන එය අබිමෙලෙක්ගේ හිසට අතහැරියාය. එය වැදී ඔහුගේ හිස්කබල බිඳී ගියේය.+ 54  ඔහු තම ආයුධ දරන්නාව වහා කැඳවා, “‘මොහු ස්ත්‍රියක් අතින් මැරුම් කෑවා’ කියා මිනිසුන් මා ගැන කියනවාට මම කැමති නැහැ. ඒ නිසා ඔබේ කඩුවෙන් මාව මරා දමන්න.”+ ඔහුගේ වචනයට කීකරු වූ සේවකයා ඔහුට කඩුවෙන් ඇන ඔහුව මරා දැමීය.+ 55  අබිමෙලෙක් මිය ගිය බව ඊශ්‍රායෙල්වරුන්ට ආරංචි වූ විට ඔවුහු තම නිවෙස් බලා ගියෝය. 56  මෙසේ අබිමෙලෙක් තම සහෝදරයන් හැත්තෑදෙනාව මරණයට පත් කිරීමෙන් තම පියාට විරුද්ධව කළ මහා අපරාධයට වන්දි ගෙවීය. එසේ වීමට සැලැස්වූයේ දෙවිය.+ 57  ෂීකෙම්හි වැසියෝද තමන් කළ අපරාධයට වන්දි ගෙවූහ. මෙසේ යෙරුබ්බාල්ගේ+ පුත් යෝතම්+ ඔවුන්ට කළ ශාපය+ ඔවුන් පිටට පැමිණියේය.+ එසේ වීමට සැලැස්වූයේ දෙවිය.

පාදසටහන්

මූ.අ., “මවගේ පියාගේ.”
මු.අ., “ඔබේම මාංසය, ඔබේම ඇටකටු.”
තේරුම, “ශාස්ත්‍ර කියන්නන්.”