සලමොන්ගේ ගීතිකාව 4:1-16

4  “මාගේ පෙම්වතිය, ඔබ මොන තරම් ප්‍රියකරුද!+ ඔබ කොතරම් රූමත්ද! මුහුණු වැස්ම අතරින් එබිකම් කරන+ ඔබේ දෙනුවන් පරෙවියෙකුගේ දෙනෙත් මෙන් කාන්තිමත්ය.+ ඔබේ වරලස ගිලියද් කඳුකරයෙන්+ බැස එන එළු රංචුවක් මෙනි.+  ඔබේ දත් දෙපළ ලොම් කපා නහවන ලද සුදෝ සුදු බැටළුදෙනුන් මෙනි.+ එයින් එකක්වත් අඩු නොවී සියල්ල පිළිවෙළට, ලස්සනට පිහිටා ඇත.  ඔබේ දෙතොල් රත් පැහැති නූල් දෙපොටක් මෙනි. ඔබේ වදන් මගේ හදවතට සතුටක් ගෙන දෙන්නේය.+ මුහුණු වැස්ම අතරින් දිස් වන ඔබේ නළල් දෙකෙළවර දෙළුම් පළු මෙන් දිලිසෙන්නේය.+  ඔබේ ගෙල+ බලවතුන්ගේ පලිස්+ දහසක් එල්ලා තිබෙන, ගලින් නිමැවූ දාවිත් රජුගේ කොත මෙනි.+  ඔබේ පියයුරු+ ලිලී මල් පිපී තිබෙන තණබිමක තණ කමින් සිටින+ නිවුන් මුව පැටවුන් මෙනි.”  “මද සුළඟ හමා අවසන් වීමට මත්තෙන්,+ සෙවණැලි පහව යෑමට මත්තෙන් මම සුවඳ ලාටු සහ කට්ටකුමංජල් සුවඳින් පිරුණු කන්දට යන්නෙමි.”+  “මාගේ පෙම්වතිය, ඔබ නිකැළැල්,+ රූමත් ළඳකි.+  මාගේ මනාලිය,+ ලෙබනොන් සිට මා සමඟ එන්න.+ අමානා, සෙනීර්+ සහ හෙර්මොන් කඳු මුදුනේ+ සිට පැමිණෙන්න. සිංහයන් ලගින ගුහාවලිනුත් දිවියන් වෙසෙන කඳුවලිනුත් බැස එන්න.  මාගේ සොහොයුරිය,+ මාගේ මනාලිය,+ ඔබේ එක බැල්මකින් මගේ හද සලිත විය.+ ඔබේ ගෙල පැළඳි මාලය දුටු පමණින් මගේ හද ගැස්ම වැඩි විය. 10  මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබේ ආදරයට සම කළ හැකි තවත් දෙයක් නැති තරම්ය!+ ඔබේ ආදරය වයින්වලටත් වඩා අගනේය. ඔබේ ඇඟ ගැල්වූ තෛලයේ සුවඳ මෙලොවේ ඇති සෑම සුවඳක්ම පරදවන්නේය.+ 11  මාගේ මනාලිය, ඔබ තෙපලන වදන් මීවදයකින් වෑස්සෙන මීපැණි මෙන්ය.+ ඔබේ දිවගේ ඇත්තේ කිරි සහ මීපැණිය.+ ඔබ පැළඳි වස්ත්‍රවල සුවඳ, ලෙබනොන්හි සුවඳ මෙන්ය.+ 12  මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබ වැටකින් වට කළ උයනකි.+ මට පමණක් විවෘත වූ දිය උල්පතකි. 13  ඔබේ සම හොඳම දෙළුම්වලින්ද+ මනරම් පඳුරු* සහ සුවඳැති ගස්වලින්ද+ පිරුණු උයනක් බඳුය. 14  සුවඳැති ගස්,+ කුරුඳු,+ කට්ටකුමංජල්, සුවඳ ලාටු, අගිල්+ සහ ආකර්ෂණීය සුවඳින්+ පිරුණු උයනකට සමානය. 15  එය උයනක තිබෙන දිය උල්පතක් මෙනි. නැවුම් ජලයෙන් පිරුණු ළිඳක් මෙනි.+ ලෙබනොන් සිට ගලා බසින දිය දහරාවක් මෙනි.+ 16  උතුරු සුළඟ, අවදි වන්න. දකුණු සුළඟ,+ හමා එන්න. ඇවිත් මගේ උයන සිපගෙන+ එහි සුවඳ දසත විහිදුවන්න.” “මාගේ පෙම්වත, ඔබට හිමි උයනට ඇවිත් එහි පල භුක්ති විඳින්න!”

පාදසටහන්

මූ.අ., “හෙනා.”