සලමොන්ගේ ගීතිකාව 5:1-16

5  “මාගේ සොහොයුරිය,+ මාගේ මනාලිය,+ මම මගේ උයනට ඇවිත්+ එහි ඇති සුවඳ ලාටුද+ සුවඳ පැළෑටිද නෙළාගතිමි. මීපැණිත් සමඟ මීවදය කෑවෙමි.+ කිරිත් සමඟ වයින් බීවෙමි.” “පෙම්වතුනි, කා බී ප්‍රේමයෙන් මත් වන්න.”+  “මම යහනේ සැතපී සිටියෙමි. නමුත් මගේ හදවත අවදි වී තිබිණ.+ මගේ පෙම්වතා දොරට තට්ටු කරන හඬ මට ඇසිණ.”+ “මාගේ සොහොයුරිය, මාගේ නිකැළැල්* පෙම්වතිය,+ මාගේ පරෙවිදෙන, දොර අරින්න.+ මගේ හිස පින්නෙන් තෙමී ඇත. මගේ කෙස්වලින් පිනි බිඳු බේරෙන්නේය.”+  “‘මා ගලවා තැබූ සළුව නැවත ඇඳගන්නද? සේදූ පාද මා නැවත කිලිටි කරගන්නද?’  මගේ පෙම්වතා දොර සිදුරෙන් අත දැමූ විට මගේ හදවත+ වේගයෙන් ගැහෙන්නට විය.  මගේ පෙම්වතාට දොර විවර කිරීමට මම යහනෙන් නැඟිට්ටෙමි. සුවඳ ලාටු තෛලය මාගේ දෑත් දිගේ ගලා ගොස් දොරගුල මත පතිත විය.  මම මගේ පෙම්වතාට දොර විවර කළෙමි. එහෙත් ඔහු මා අබියස සිටියේ නැත. ඔහු කතා කළ විට මගේ හද ගැස්ම මොහොතකට නතර විය. මම ඔහුව සොයා ගියෙමි. නමුත් මට ඔහුව සම්බ නොවීය.+ මම ඔහුට හඬගැසීමි. නමුත් ඔහු මට පිළිතුරු නොදුන්නේය.  නගරයේ සක්මන් කරමින් සිටි මුරකරුවෝ+ මාව දැක මට තුවාල වන තුරු තැළුවෝය. පවුරේ රැකවල්ලු+ මගේ සළුව පැහැරගත්තෝය.  “යෙරුසලමේ ළඳුනේ,+ ඔබට මගේ පෙම්වතාව හමු වුණොත්+ ආදරය නිසා මගේ සවිය හීන වී ඇති බව ඔහුට කියන්න.+ ඔබ නොවරදවාම ඔහුට එසේ පවසන බවට මට දිවුරා පොරොන්දු වන්න.”+  “තරුණියන් අතරේ රුවැත්තිය,+ එවැනි පොරොන්දුවක් අපෙන් ගන්න තරම්+ අනික් තරුණයන්ට වඩා ඔබේ පෙම්වතාගේ ඇති විශේෂත්වය කුමක්ද?”+ 10  “මගේ පෙම්වතාට ඇත්තේ දිදුලන සමකි. ඔහු ඉතා කඩවසම්ය. දසදහසක් අතරේ සිටියත් ඔහු කැපීපෙනෙන්නේය.+ 11  ඔහුගේ හිස පවිත්‍ර රන් මෙන් අගනේය. කැරලිගැසුණු ඔහුගේ හිසකෙස් ඉඳිපොකුරු මෙනි. ඒවා කපුටු පිහාටු මෙන් කලුය. 12  ඔහුගේ දෙනෙත් දිය පාරක් අසල සිටින පරෙවියන් මෙනි. උන් කිරෙන් නාමින් සිටිති. 13  ඔහුගේ දෙකොපුල්, සුවඳ මල් පිරුණු පාත්තියකි.+ සුවඳ පැළවලින් පිරුණු කොතකි. ඔහුගේ දෙතොල් ලිලී මල් මෙනි. ඒවායින් සුවඳ තෛලයක්* වෑස්සෙන්නේය.+ 14  ඔහුගේ ඇඟිලි රන්වන්ය. ක්‍රිසොලයිට් ගල් ඔබ්බවා තිබෙන්නා සේ ඒවා දිලිසෙන්නේය. ඔහුගේ උදරය නීල මාණික්‍ය ඇල්ලූ, ඇත්දළවලින් නිමැවූ පලිහක් මෙනි. 15  ඔහුගේ දෙපා, පවිත්‍ර රනින් සෑදූ පැතිලි ආධාරක මත සිටෙවූ කිරිගරුඬ කණු දෙකක් මෙනි. ඔහුගේ පෙනුම ලෙබනොන් මෙන් තේජාන්විතය. වෙන කිසිවකට සම කළ නොහැකි දේවදාර ගසක් මෙනි.+ 16  ඔහුගේ මුව ඉතා මිහිරිය. ඔහු සෑම අතින්ම ආකර්ෂණීයය.+ යෙරුසලමේ ළඳුනේ, මගේ හද දිනූ පෙම්වතා ඔහුය.”

පාදසටහන්

මෙයින් පෙනුමේ කිසිම අඩුවක් නොමැති බවද අදහස් කළා විය හැකියි.
මූ.අ., “සුවඳ ලාටු.”