හබක්කුක් 2:1-20

2  දෙවි මට කුමක් කියාවිද?+ ඔහුගෙන් ලැබෙන හික්මවීම්වලට මා කෙසේ ප්‍රතිචාරය දක්වයිද?+ ඔහු මට කතා කරන තුරු මගේ මුරපොළට වී මම බලා සිටින්නෙමි.+ බලකොටුව උඩට වී සිටින්නෙමි.+  යෙහෝවා දෙවි මට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ දකින දර්ශනය ලියාගන්න. අන් අය ඉදිරියේ එය පහසුවෙන් කියවීමට හැකි වන සේ+ ගල් පුවරුවල පැහැදිලිව ඒ දේ ලියන්න.+  මන්ද දර්ශනය ඉටු වීමට නියමිත කාලයක් තිබේ.+ ඒ නියමිත කාලය ඉක්මනින්ම පැමිණෙන්නේය. දර්ශනය කිසිවිටෙක බොරුවක් නොවන්නේය. එය ඉටු වීමට ප්‍රමාද වන්නේයයි පෙනුණද ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටින්න. මන්ද එය ප්‍රමාද නොවන්නේය. නියමිත කාලයේදී එය අනිවාර්යයෙන්ම ඉටු වන්නේය.+  “ධර්මිෂ්ඨ තැනැත්තා විශ්වාසවන්තකමින් ක්‍රියා කරන නිසා ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.+ එහෙත් හිස උදුම්මාගත් කෙනෙක්+ තුළ අවංකකම නැත.  ඔහු වයින්වලින් මුළාව ගොස් අහංකාර ලෙස ක්‍රියා කරන්නේය.+ නිරතුරුවම ගොදුරක් ගිලගන්න මාන බලන මිනී වළ මෙන්ද මරණය මෙන්ද වූ මිනිසාද ක්‍රියා කරන්නේ එලෙසමය. ඔහු කිසිවිටෙක සෑහීමට පත් නොවන්නේය.+ ඔහු සියලු ජාතීන්ව යටත් කරගන්නේය. සියලු ජනයාව පරාජය කරන්නේය.+ එහෙත් ඔහුට තම ඉලක්ක අත් කරගන්න ලැබෙන්නේ නැත.+  ඔහු තමන් යටත් කරගත් සියලුදෙනාගේ නින්දා අපහාසවලටත්* සරදමටත් ලක් වන්නේය.+ ඔවුහු මෙසේ කියති.“‘තමන්ට අයිති නැති දේවල් රැස් කරගනිමින්+ තමන්ට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය තව තවත් වැඩි කරගන්නා තැනැත්තාට දුක් වේ! තව කොපමණ කල් මේ අපරාධ සිදු වෙයිද?+  ඔහුගෙන් පොලී ඉල්ලමින් ණයහිමියෝ හදිසියෙන්ම ගෙට කඩාවදින්නෝය. ඔහුව භයගන්වන අය ඔහු සතු සියල්ල කොල්ල කන්නෝය.+  ඔබ බොහෝ ජාතීන්ගෙන් වස්තු උදුරාගත්තෙහිය. ලේ වැගිරුවෙහිය. භූමියද නගරද එහි වැසියන්වද නැති නාස්ති කර දැමුවෙහිය.+ එබැවින් ඔවුන් අතරින් ඉතුරු වී සිටින අය ඇවිත් ඔබගේ වස්තුව කොල්ල කනු ඇත.+  “‘වංචාවෙන් වස්තු රැස් කරගෙන,+ විපතෙන් බේරී සිටීමට තමන්ගේ නිවහන උස් තැනක සාදාගන්නා තැනැත්තාට දුක් වේ!+ 10  ඔබ බොහෝදෙනෙකුව විනාශ කරමින්+ පව් කළෙහිය.+ එයින් සිදු වූයේ ඔබ ඔබේම ගෙයි වැසියන් මත නින්දාව පමුණුවාගැනීමය. 11  ගෙයි බිත්තිවල ගල් ඔබට විරුද්ධව මොරගසයි. වහලේ පරාලද ඔබට විරුද්ධව හඬ නඟයි.+ 12  “‘නගරයක් ගොඩනැඟීමට ලේ වගුරුවා, අධර්මිෂ්ඨකම් කර නුවරක් දියුණු කළ තැනැත්තාට දුක් වේ!+ 13  ජනයා වෙහෙස මහන්සි වී උපයාගත් දේ ගින්නෙන් විනාශ වී යන්නේය. ජාතීහු කිසිම පලක් නොමැතිව වෙහෙසෙන්නෝය. එලෙස සිදු වන ලෙසට තීන්දු කර ඇත්තේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි නොවෙයිද?+ 14  මුහුද වතුරෙන් පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවිගේ තේජස ගැන පොළොවේ සියලු වැසියෝ දැනගනු ඇත.+ 15  “‘මිත්‍රයන්ට බොන්න දුන් තැනැත්ත, ඔබට දුක් වේ! මන්ද ඔබේ කෝපයත් වෛරයත් ඒ පානයට මිශ්‍ර කරමින් මත් වන තරමටම ඔබ ඔවුන්ට බොන්න දුන්නෙහිය.+ ඔබ එසේ කළේ, ඔවුන්ව නිරුවත් කර නින්දාවට පත් කරන පිණිසය.+ 16  ඔබ ගෞරවයෙන් පිදුම් ලබනවා වෙනුවට නින්දාවට පත් වන්නෙහිය.+ ඔබටත් ඒ හා සමාන පානයක් බීමට සිදු වනු ඇත.+ මන්ද යෙහෝවා දෙවිගේ දකුණතේ තිබෙන කුසලානය ඔබේ අතට දෙනු ලැබේ.+ එවිට ඔබව අචර්මච්ඡේදිතයෙකු ලෙස සලකනු ඇත.+ ඔබට හිමි වන්නේ ගෞරවය නොව නින්දාවය. 17  මන්ද ඔබ ලෙබනොන් කඳුකරය වනසා දැමුවෙහිය.+ සිත්පිත් නොමැතිව වනසතුන්ව බියගන්වමින් උන්වද විනාශ කළෙහිය. ලේ වැගිරුවෙහිය.+ භූමියද නගරද එහි වැසියන්වද නැති නාස්ති කර දැමුවෙහිය.+ ඔබ පිටටත් එවන් විනාශයක් පැමිණෙනු ඇත. 18  දේවතා රූපවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද?+ රූප සාදන්නෝ මහත් විශ්වාසයක් ඇතුව ඒවා සාදන්නෝය.+ ඔවුහු මුළාව ගොස් ඒ රූපවලින් මඟ පෙන්වීම්ද පතන්නෝය.+ නමුත් කතා කරන්නවත් බැරි ඒ රූපවල කිසි වටිනාකමක් නැත.+ 19  “‘ලී කැබැල්ලකට කතා කර, “අනේ, නැඟිටින්න” කියාත් කතා කළ නොහැකි ගලකට, “අනේ, දැන් අවදි වී කළ යුතු දේ අපට කියා දෙන්න”+ කියාත් පවසන තැනැත්තාට දුක් වේ! මන්ද ඒවා රන් රිදීවලින් ආලේප කර තිබුණද+ ඒවාට පණ නැත.+ 20  නමුත් යෙහෝවා දෙවි තම ශුද්ධ මාලිගාවේ සිටින්නේය.+ පොළොවේ සියලු වැසියෙනි, ඔහු ඉදිරියේ නිහඬ වන්න!’”+

පාදසටහන්

මූ.අ., “සියලුදෙනා ඔහු ගැන අපහාසාත්මක කියමන් ගොතනු ඇත.”