හිතෝපදේශ 25:1-28

25  මෙම උපදේශයන්ද රචනා කරන ලද්දේ සලමොන් රජු විසිනි.+ යූදාහි රජු වූ හෙසකියාගේ+ සේවකයන් විසින් මේවා පිටපත් කරන ලදි.  දෙවි ගෞරවයට පත් වන්නේ යම් කාරණා රහසිගතව තබාගැනීම නිසාය.+ එහෙත් රජවරුන් ගෞරවයට පත් වන්නේ කාරණා හොඳින් සෝදිසි කර බැලීම නිසාය.+  අහසේ උසද+ පොළොවේ ගැඹුරද+ සොයාගත නොහැකි සේම රජවරුන්ගේ සිතෙහි තිබෙන දේද සොයාගත නොහැකිය.+  රිදීවලින් බොර ඉවත් කරන්න. එවිට එය මුළුමනින්ම පවිත්‍ර වනු ඇත.+  රජු ඉදිරියෙන් දුෂ්ටයාව පන්නා දමන්න.+ එවිට ධර්මිෂ්ඨකම නිසා ඔහුගේ සිංහාසනය ස්ථිර වෙයි.+  රජු ඉදිරියේ තමාවම උසස් කර නොගන්න.+ උත්තමයන් අතරට නොයන්න.+  මන්ද ඔබ හඳුනන උත්තමයෙකු ඉදිරියේ ඔබව පහත් කරනු ලබනවාට වඩා,+ “මෙතැනට එන්න”+ කියා ඔහුම ඔබට ආරාධනා කිරීම හොඳය.  ඔබ හඳුනන කෙනෙකුට විරුද්ධව නඩුවක් දමන්න ඉක්මන් නොවන්න. මන්ද අන්තිමේදී ඔහු ඔබව ලැජ්ජාවට පත් කළහොත් ඔබ කුමක් කරන්නෙහිද?+  යමෙකු සමඟ ප්‍රශ්නයක් ඇති වූ විට එය ඔහු සමඟ පමණක් කතා කර විසඳගන්න.+ අන් අයගේ රහස් හෙළි නොකරන්න.+ 10  ඔබ එසේ කළොත් ඊට ඇහුම්කන් දෙන තැනැත්තා ඔබව ලැජ්ජාවට පත් කරනු ඇත. තවද ඔබ හෙළි කළ දෙයින් සිදු වූ හානිය මකා දැමීමට නොහැක. 11  නිසි කලට කියන වදන් කැටයම් කළ රිදී බඳුන්වල තැබූ රන් ඇපල් මෙනි.+ 12  ප්‍රඥාවන්තයා දෙන අවවාදවලට සවන් දෙන කෙනෙකුට එම අවවාද රන් කරාබුවක් මෙන්ද අනර්ඝ රන් ආභරණයක් මෙන්ද වන්නේය.+ 13  විශ්වාසවන්ත පණිවිඩකරුවෙකු අස්වැන්න නෙළන කාලයේදී සිසිලස ගෙනෙන හිම+ මෙනි. මන්ද ඔහු තම ස්වාමීන්ව ප්‍රාණවත් කරයි.+ 14  තෑග්ගක් දෙන බවට බොරුවට පුරසාරම් දොඩන තැනැත්තා+ වැසි නොගෙනෙන වලාකුළු හා සුළං මෙනි. 15  ඉවසීමෙන් හමුදාපතියෙකුගේ සිත පවා දිනාගත හැක. මෘදු වූ වදන්වලින් ඇටකටු පවා බිඳිය හැක.+ 16  ඔබට මීපැණි ලැබුණේ නම්+ සුදුසු ප්‍රමාණයට වඩා නොකන්න. මන්ද ප්‍රමාණය ඉක්මවා කෑවොත් ඔබට එය වමාරන්න සිදු වෙයි.+ 17  ඔබේ අසල්වැසියාගේ ගෙට නිතර නිතර නොයන්න. ඔබ එසේ ගියොත් ඔහුට ඔබව එපා වී ඔබට වෛර කරන්න පටන්ගනී. 18  හඳුනන කෙනෙකුට විරුද්ධව බොරු සාක්ෂි දෙන මිනිසෙකු මුගුරක්ද කඩුවක්ද තියුණු ඊයක්ද මෙනි.+ 19  විපත්ති දවසේදී ද්‍රෝහිව කටයුතු කරන්නා කෙරෙහි විශ්වාසය තැබීම නිෂ්ඵලය.+ එය කැඩුණු දතක්ද කොර වූ පාදයක්ද මෙනි. 20  ශීත දවසක යමෙකු වස්ත්‍රය ඉවතලීම ලුණු දියට* විනාකිරි දමන්නාක් මෙන්ද දුකින් සිටින කෙනෙකුට ගී ගයන්නාක් මෙන්ද වෙයි.+ 21  ඔබට වෛර කරන කෙනා බඩගින්නේ සිටී නම් ඔහුට කන්න දෙන්න. ඔහු පිපාසයෙන් සිටිනවා නම් ඔහුට වතුර ටිකක් බොන්න දෙන්න.+ 22  එසේ කිරීමෙන් ඔබ ඔහුගේ හිස පිට ගිනි අඟුරු ගොඩගසනවා ඇත.+ තවද යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරන්නේය.+ 23  උතුරු දිගින් හමන සුළඟ තද වර්ෂාව ගෙන දෙයි.+ රහසක් හෙළි කරන්නාව හෙළාදකිනු ඇත.+ 24  අඬදබර කරන බිරිඳක සමඟ එක ගෙයි වාසය කරනවාට වඩා වහල උඩ වාසය කිරීම හොඳය.+ 25  දුර පළාතකින් ලැබෙන හොඳ පුවතක්+ විඩාවට පත් වූ කෙනෙකුට ලැබෙන සිසිල් පැන් පොදක් මෙනි.+ 26  දුෂ්ටයා ඉදිරියේ ස්ථිරව නොසිටින ධර්මිෂ්ඨයෙකු බොර දිය නඟන උල්පතක් හා අපිරිසිදු ළිඳක් මෙනි.+ 27  අධික ලෙස මීපැණි කෑම සුදුසු නැත.+ මිනිසෙකු තමාටම ගෞරවය සොයාගන්නේ නම් ඔහුට හිමි වන්නේ සැබෑ ගෞරවයක්යයි පැවසිය හැකිද?+ 28  මිනිසෙකු තමාවම පාලනය කර නොගන්නේ නම්+ ඔහු පවුර කඩා බිඳ දැමූ නුවරක් මෙනි.

පාදසටහන්

සෝඩියම් බයිකාබනේට්වලින් සාදාගත් පිරිසිදු කරන ද්‍රව්‍යයකි.