හිතෝපදේශ 5:1-23

5  මාගේ පුත්‍රය, මා උගන්වන දේට සවන් යොමු කර මා දෙන ප්‍රඥාව ලබාගන්න.+ මට සවන් දී වටහාගැනීමේ හැකියාවද දියුණු කරගන්න.+  එවිට ඔබේ සිතීමේ හැකියාව ආරක්ෂා වනු ඇත.+ ඔබ කතා කරන විට සත්‍ය කාරණා හැර වෙන කිසිවක් කතා නොකිරීමට වගබලා ගන්න.*+  දුරාචාර* ස්ත්‍රියකගේ තොල් මීවදයකින් වෑස්සෙන මිහිරි පැණි මෙනි.+ ඇගේ මුඛයෙන් පිට වන වචන වශී කරවනසුලුය.*+  එහෙත් ඇගේ ඇසුරට යන තැනැත්තාට අවසානයේදී අත් වන්නේ ඉතා තිත්ත ප්‍රතිඵලය.+ දෙමුවහත් කඩුවකින් ඇනගන්නාක් මෙන් ඔහු බොහෝ වේදනා විඳින්නේය.+  ඇගේ දෙපා මරණයට පියමං කරයි.+ ඇය පියවර තබන්නේ මිනී වළ වෙතටයි.+  ඇය ජීවනයේ මාවත සොයන්නේ නැත.+ ඇය මංමුළා වී ඒ මේ අත ඇවිදින්නීය. ඇය යන මඟ ඇයවත් දන්නේ නැත.+  ඉතින් මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කන් දෙන්න.+ මාගේ වදන්වලට පිටු නොපාන්න.+  ඇගෙන් ඈත්ව සිටින්න. ඇගේ දොරකඩ ළඟටවත් නොයන්න.+  ඔබ ඇගෙන් ඈත් නොවුණොත් ඔබ නින්දාවට පත් වන්නහුය.+ ජීවිත කාලය පුරාවටම ඉතා කටුක අද්දැකීම්වලට මුහුණ දෙන්න ඔබට සිදු වන්නේය.+ 10  අන් අය ඔබේ සවිශක්තිය සූරා කමින් තෘප්තියට පැමිණෙනු ඇත.+ ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් දේ නාඳුනන කෙනෙකුගේ නිවසකට උරුම වන්නේය.+ 11  බොහෝ වේදනා විඳිමින් කෙඳිරිගාමින්+ ඔබ අකල් මරණයකට ගොදුරු වන්නහුය.+ 12  එවිට ඔබට මෙසේ කීමට සිදු වෙයි. “අනේ, මා හික්මවීමට කොතරම් ද්වේෂ කළාද?+ අවවාදය කොතරම් සුළු කළාද?+ 13  මාගේ උපදේශකයන්ගේ හඬට මා සවන් දුන්නේ නැත.+ මාගේ ගුරුවරුන් කියූ දේ ගණනකටවත් ගත්තේ නැත.+ 14  මා සෑම වැරදි ක්‍රියාවකටම පැටලී+ රැස්ව සිටින මුළු සභාව ඉදිරියේම නින්දාවට පත් වුණේ ඒ නිසාය.”+ 15  ඔබේම පොකුණෙන්ද ඔබේම ළිඳෙන්ද වතුර බොන්න.+ 16  ඔබේ දිය උල්පත් ඔබේ නිවසින් පිටට+ හෝ ඔබේ දිය දහරා මංසන්ධිවලට හෝ ගලා යෑමට ඉඩ දෙන්නේ කුමකටද? 17  ඒවා ඔබට පමණක්ම වේවා! ඔබ වෙනත් අය සමඟ ඒවා බෙදා නොගන්න.+ 18  ඔබේ දිය උල්පතට ආශීර්වාද ලැබේවා!+ ඔබ යොවුන් වියේදී විවාහ කරගත් බිරිඳ සමඟ ප්‍රීති වන්න.+ 19  ඇය ආදරණීය මුවදෙනක මෙනි. ප්‍රියකරු මුව පැටවෙකු* මෙනි.+ ඇගේ පියයුරුවලින් තෘප්තිමත් වන්න.+ ඇගේ ප්‍රේමයෙන් සැමදා ප්‍රීති ප්‍රමෝදයට පත් වන්න.+ 20  ඉතින් මාගේ පුත්‍රය, දුරාචාර ස්ත්‍රියකගෙන් ඔබේ ආශාවන් පිනවාගන්නේ කුමටද? එවැනි ස්ත්‍රියකගේ ළය වැලඳගන්නේ මන්ද?+ 21  මිනිසාගේ සෑම ක්‍රියාවක්ම යෙහෝවා දෙවි දකින්නේය.+ ඔහු ඒ සියල්ල ගැන විමසිල්ලෙන් සිටින්නේය.+ 22  දුෂ්ටයා කරන වැරදි ඔහුටම උගුලක් වේ.+ පාපය නමැති උගුලට හසු වී සිටින ඔහුට එයින් මිදී යෑමට කිසි මඟක් නොමැත.+ 23  ඔහු තමාගේ අධික මෝඩකම නිසා නොමඟ යනු ඇත.+ හික්මවීම නොපිළිගත් බැවින් ඔහු මරණයට පත් වනු ඇත.+

පාදසටහන්

මූ.අ., “ඔබේ තොල්වලින් දැනුම රැකගන්න.”
මූ.අ., “නාඳුනන.”
මූ.අ., “ඇගේ මුඛය තෙලටත් වඩා සුමුදුය.”
මූ.අ., “කඳු එළුවා.”