හිතෝපදේශ 7:1-27

7  මාගේ පුත්‍රය, මා පවසන දේ සිතේ තබාගන්න.+ මාගේ ආඥා නිධානයක් සේ රැකගන්න.+  මාගේ ආඥා පවත්වා දිගු කල් ජීවත් වන්න.+ ඔබේ ඇසේ කලු ඉංගිරියාව මෙන් මාගේ නීතිය රක්ෂා කරන්න.+  ඒවා ඔබේ ඇඟිලිවල බැඳගෙන+ ඔබේ සිත නමැති පුවරුවේ ලියාගන්න.+  ප්‍රඥාවට,+ “ඔබ මාගේ සහෝදරිය” යයි කියන්න. තේරුම්ගැනීමේ හැකියාවට, “ඔබ මාගේ නෑදෑයෙකි” යයි කියන්න.  එවිට ඔබ අනාචාරයේ යෙදෙන* ස්ත්‍රීන්ගේ චාටු බස්වලට+ නොරැවටී ආරක්ෂා+ වනු ඇත.  මම මාගේ ගෙයි ජනේලයෙන්+ වීථිය දෙස බැලූ විට,  ජීවිතයේ අද්දැකීම් අඩු තරුණයෙකු දුටුවෙමි.+ තරුණයන් අතරින් අඥානයෙකුව*+ සිටි ඔහුට සිදු වන දේ තේරුම්ගැනීමට මම උනන්දු වුණෙමි.  ඔහු වීථිය දිගේ ගොස් ඇය සිටින පාරට හැරී, ඇගේ නිවස දෙසට ඇවිදගෙන යයි.+  ඔහු ඒ දෙසට යන්නේ සවස් වරුවේ අඳුර වැටීගෙන එන වේලාවේදීය.+ ඔහු පියමං කරන්නේ රාත්‍රියේ ගන අඳුර දසත පැතිරෙන විටයි. 10  බලන්න! ඔහුව හමු වන්න ස්ත්‍රියක් පැමිණ සිටියි. ගණිකාවකගේ ඇඳුමෙන් සැරසී+ සිටින ඇය කපටි සිතක් ඇති ස්ත්‍රියකි. 11  ඇය කටකාරය, හිතුවක්කාරය.+ කොයි වේලෙත් නිවසේ රැඳී නොසිටියි.+ 12  විටක ඇය එළිමහනේ සිටියි. විටක ඇය ප්‍රධාන මංසන්ධිවල ගැවසෙමින් සිටියි.+ සෑම පාරකම මුල්ලකට වී ඇය මඟ බලාගෙන සිටියි.+ 13  ඇය ඒ තරුණයා දෙසට දුව ගොස් ඔහුව සිප වැලඳගනියි.+ ඇය කිසි භයක් සැකක් නොමැතිව ඔහුට මෙසේ කියයි. 14  “මම අද හවුල් පූජා ඔප්පු කළෙමි.+ මගේ භාර ඉටු කළෙමි.+ 15  ඒ නිසයි මා ඔබව හමු වීමට ආවේ. මම ඔබව සොයා ආවෙමි. 16  ඊජිප්තුවෙන් ගෙනා+ පාට පාට ලිනන් ඇතිරිලිවලින් මාගේ ඇඳ සැරසුවෙමි. 17  මාගේ යහන සුවඳ ලාටු, අගිල්* සහ කුරුඳුවලින් සුවඳවත් කළෙමි.+ 18  එන්න, උදෑසන වන තුරු අපි පෙම් බස් දොඩමින් ආදරයෙන් මත් වී සිටිමු.+ 19  මගේ ස්වාමිපුරුෂයා ගෙදර නැත. ඔහු දුර ගමනක් ගොස් ඇත.+ 20  මුදල් මල්ලක්ද ඔහු රැගෙන ගියේය. ඔහු නැවත ගෙදර එන්නේ පුන්සඳ දකින දවසේදීය.” 21  ඇය බොහෝ මායම්වලින් ඔහුව රවටාගෙන ඇත.+ චාටු බස්වලින් ඔහුව වශී කරගෙන ඇත.+ 22  විගස, ඔහු ඇය පසුපස යන්නේය.+ මරන්න ගෙන යන ගොනෙකු මෙන්ද විලංගු දමා දඬුවම් කිරීමට ගෙන යන මෝඩයෙකු මෙන්ද ඔහු ඇය පසුපස යන්නේය. 23  ඔහු හදිස්සියේම උගුලකට හසු වන කුරුල්ලෙකු මෙනි.+ ඔහුගේ ජීවිතය අනතුරේ ඇති බව ඔහු නොදනී.+ ඊතලයක් ඔහුගේ අක්මාව පසාරු කරගෙන යන තුරු ඔහු කිසිවක් නොදනී.+ 24  ඉතින් මාගේ පුත්‍රයෙනි, මට සවන් දී මාගේ වදන් පිළිගන්න.+ 25  ඇගේ මාර්ග වෙතට ඔබේ සිත ඇදී යන්න ඉඩ නොදෙන්න. මංමුළා වී ඇගේ මාවත්වලට හැරී නොයන්න.+ 26  මන්ද ඇය නිසා බොහෝදෙනෙකුට තම ජීවිත අහිමි වී ඇත.+ ඇගෙන් මැරුම් කෑ අය අප්‍රමාණය.+ 27  ඇගේ නිවස බැස යන්නේ මිනී වළටයි.+ මිනී වළේ ගැඹුරුම තැන් වෙතට එය බැස යයි.+

පාදසටහන්

මූ.අ., “නාඳුනන.”
හිතෝ 6:32හි පාදසටහන බලන්න.
සුවඳ පතුරුවන ගස් වර්ගයක්.