1 තෙසලෝනික 3:1-13

3  ඔබෙන් වෙන්ව සිටීම අපට තවත් දරාගත නොහැකි වූ නිසා අප පමණක් ඇතන්ස්හි නතර වී,+  අපගේ සහෝදරයෙකුද ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියේ+ දේවසේවකයෙකුද වන තිමෝතිව+ ඔබ වෙතට එවීමට තීරණය කළෙමු. අප එසේ කළේ ඔබව සනසමින් ශක්තිමත් කර ඔබ තුළ තිබෙන විශ්වාසය තවත් ස්ථිර කිරීමටය.  එසේම ඔබ අද්දකින පීඩාවලින් අධෛර්යය නොවීම සඳහාය.+ ඒ දේවලට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදු වන බව ඔබ හොඳින් දන්නා දෙයකි.+  ඇත්තෙන්ම අප සියල්ලන්ටම පීඩා විඳින්න සිදු වන බව+ අපි ඔබ සමඟ සිටියදී කල්තියාම ඔබට පැවසුවෙමු.+ ඔබ දන්නා පරිදි ඒ පීඩා විඳීමට අපට සිදු වී ඇත.+  ඔබෙන් වෙන්ව සිටීම තවත් දරාගත නොහැකි වූ නිසා මා ඔහුව එව්වේ ඔබේ විශ්වාසවන්තකම+ ගැන දැනගැනීමටය. මන්ද වරදට පොලඹවන්නා+ යම් ආකාරයකින් හෝ ඔබව වරදට පොලඹවයි කියා මා තුළ යම් බියක් ඇති විය. එවැනි දෙයක් සිදු වුණොත් අප ඔබ වෙනුවෙන් දැරූ වෙහෙස අපතේ යනු ඇත.+  මෑතකදී ඔබව බලා ආපසු පැමිණි තිමෝති+ ඔබේ විශ්වාසවන්තකම සහ ප්‍රේමය ගැන+ අපට තොරතුරු ලබා දුන්නේය. ඔබව දැකීමට අප මහත් ආශාවෙන් සිටිනවා වගේ ඔබත් අපව දැකීමට මහත් ආශාවෙන් සිටින බවත්+ ඔබ නිතරම අපව ආදරයෙන් මතක් කරන බවත් ඔහු අපට දැන්වීය. එය ඇත්තෙන්ම ප්‍රීතිමත් ආරංචියකි.  සහෝදරයෙනි, අප බොහෝ අගහිඟකම්වලට හා පීඩාවලට මුහුණ දුන්නත් ඔබේ විශ්වාසවන්තකම+ ගැන දැනගන්න ලැබීමෙන් අපට මහත් සැනසීමක් ලැබිණ.+  ස්වාමීන්ගේ අනුගාමිකයන් ලෙස ඔබ නොසැලී ස්ථිරව සිටීම+ අපට මහත් දිරිගැන්වීමකි.  ඔබ නිසා අපට දෙවි ඉදිරියේ දැනෙන මේ මහත් ප්‍රීතිය+ ගැන අප දෙවිට කෙසේ ස්තුති කරන්නද? 10  එලෙසම ඔබ සැමගේ මුහුණු දැකීමටත් ඔබේ විශ්වාසය තවත් ශක්තිමත් කිරීමට යම් උපකාර ලබා දීමටත්+ අපි දිවා රෑ දෙකේම මහත් උනන්දුවකින් දෙවිට කන්නලව් කරමු.+ 11  ඔබව හමු වීමට අපගේ දෙවි වන පියාණන්ද අපගේ ස්වාමීන් වන යේසුස්ද+ අපට මාර්ගය පහදා දෙයි කියා අපි සිතන්නෙමු. 12  මීට අමතරව අප ඔබට ප්‍රේම කරන ආකාරයටම එකිනෙකා සඳහාත් අන් සියලුදෙනා සඳහාත් ඔබට ඉමහත් ප්‍රේමයක් පෙන්වන්න+ හැකි වෙන්න කියාත් ඇත්තෙන්ම ඒ ප්‍රේමයෙන් පිරී යෑමට+ ඔබට හැකියාව ලබා දෙන්න කියාත් අපි ස්වාමීන්ගෙන් ඉල්ලමු. 13  එවිට අපගේ ස්වාමීන් වන යේසුස් තම සියලු ශුද්ධ තැනැත්තන් සමඟ+ පැමිණ සිටින විටදී*+ ඔබේ සිත් ශක්තිමත් කර අපගේ පියාණන් වන දෙවි ඉදිරියෙහි ශුද්ධව හා නිර්දෝෂීව+ සිටීමට ඔබට හැකියාව ලබා දෙනු ඇත.

පාදසටහන්

පැමිණ සිටීම. ග්‍රීක බසින්, පරූසියා. උපග්‍ර. 7 බලන්න.