1 සාමුවෙල් 14:1-52

14  දිනක් සාවුල් රජුගේ පුත්‍රයා වූ යොනාතාන්+ තමාගේ ආයුධ රැගෙන ගිය සේවකයාට මෙසේ කීවේය. “අපි දෙන්නා එහා පැත්තේ තියෙන පිලිස්තිවරුන්ගේ මුරපොළ ළඟට යමු.” නමුත් ඔහු ඒ ගැන තම පියාට නොකීවේය.+  ඒ කාලයේ සාවුල් රජ ගිබෙයාහි+ දේශ සීමාව අසල තිබුණු මිග්‍රොන්හි දෙළුම් ගස යට සිටියේය. ඔහු සමඟ මිනිස්සු හයසියයක් පමණ සිටියෝය.+  (ඒ දවස්වල ඒෆොද් හැට්ටය+ ඇඳ සිටියේ අහියාය. අහියා, ඊකාබොද්ගේ+ සහෝදරයා වූ අහිතුබ්ගේ+ පුත්‍රයා විය. අහිතුබ්ගේ පියා පිනෙහාස්ය.+ පිනෙහාස්ගේ පියා, යෙහෝවා දෙවි ඉදිරියේ පූජකයෙකු ලෙස ෂීලෝහි+ සේවය කළ ඒලීය.)+ යොනාතාන් තමන් සිටි ස්ථානයෙන් පිටත්ව ගිය බව සෙනඟද දැනගෙන සිටියේ නැත.  පිලිස්තිවරුන්ගේ මුරපොළට+ යෑමට යොනාතාන් මාර්ගයක් සෙව්වේය. ඒ මාර්ග දෙපස උල් පර්වත දෙකක් තිබිණ. ඉන් එක් පර්වතයක් බෝෂෙෂ් ලෙසද අනික සෙනේ ලෙසද හඳුන්වනු ලැබීය.  එක් පර්වතයක් උතුරේ පිහිටා තිබිණ. මික්මාෂ්+ නම් ස්ථානයට ඉදිරියෙන් පිහිටි එම පර්වතය කණුවක් මෙන් දිස් විය. ගෙබාට+ මුහුණ ලා තිබුණු අනික් පර්වතය දකුණු දෙසින් පිහිටා තිබිණ.  එබැවින් යොනාතාන් ඔහුගේ ආයුධ රැගෙන ගිය සේවකයාට මෙසේ කීවේය. “අපි දෙන්නා අර අචර්මච්ඡේදිතයන්ගේ+ මුරපොළ ළඟට යමු. යෙහෝවා දෙවිට අවශ්‍ය නම් දෙතුන්දෙනෙක් මාර්ගයෙන් වුණත් ගැලවීම ලබා දෙන්න පුළුවන්. විශාල හමුදාවක් අවශ්‍ය නැහැ. ඒ නිසා යෙහෝවා දෙවි අපිට උදව් කරන්න ඉඩ තියෙනවා.”+  එවිට ඔහුගේ ආයුධ දරන්නා ඔහුට මෙසේ කීවේය. “ඔබ කැමති ඕනෑම දෙයක් කරන්න. ඔබට හොඳයි කියා හිතෙන පාරේ අපි යමු. මම ඔබ කියන ඕනෑම දෙයක් කරන්න සූදානම්.”+  එවිට යොනාතාන් මෙසේ කීවේය. “අපි ඒ පැත්තට ගිහින් අපේ සතුරන්ට අපිව දැකගන්න පුළුවන් තැනක ඉමු.  ‘අපි නුඹලා ළඟට එනකම් ඔතැන ඉන්න’ කියා ඔවුන් කිව්වොත් අපි කිසිවක් නොකර එතැනට වී ඉමු. 10  නමුත්, ‘සටනට එන්න’ කියා ඔවුන් කිව්වොත් යෙහෝවා දෙවි සතුරන්ව අපේ අතට හසු කර දෙන බවට එය ලකුණක්.+ එහෙම කිව්වොත් අපි ඔවුන්ට පහර දෙමු.” 11  පසුව ඔවුහු පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පෙනෙන සේ සිටියෝය. එවිට පිලිස්තිවරු මෙසේ කීවෝය. “අන්න, ගුහාවල හැංගිලා හිටිය හෙබ්‍රෙව්වරු දැන් එළියට ඇවිල්ලා!”+ 12  ඉන්පසු මුරපොළේ සිටි භටයෝ යොනාතාන්ට සහ ඔහුගේ ආයුධ දරන්නාට මෙසේ කීවෝය. “සටනට එන්න. අපි නුඹලාට හොඳ පාඩමක් උගන්වන්නම්!”+ එවිට යොනාතාන්, “අපි ඔවුන්ට පහර දෙමු. යෙහෝවා දෙවි නිසැකවම ඊශ්‍රායෙල්වරුන්ගේ අතට ඔවුන්ව හසු කර දෙයි”+ කියා ඔහුගේ සේවකයාට කීවේය. 13  යොනාතාන් දණ ගාගෙන කඳු බෑවුම දිගේ ඔවුන් වෙතට ගියේය.+ ඔහුගේ ආයුධ දරන්නාද ඔහු පිටුපසින් ගියේය. යොනාතාන්+ පිලිස්තිවරුන්ට පහර දුන් අතර ඔහුගේ පිටුපසින් සිටි ආයුධ දරන්නාද ඔවුන්ට පහර දී ඔවුන්ව මරා දැමුවේය.+ 14  යොනාතාන් සහ ඔහුගේ ආයුධ දරන්නා සටන් කළ බිම් කොටසේ විශාලත්වය අක්කර භාගයක් පමණ විය. ඔවුහු මුල් වතාවේදී මිනිසුන් විසිදෙනෙකුව පමණ ඝාතනය කළෝය. 15  එළිමහනේ තිබූ කඳවුරේ හා මුරපොළේ සිටි සියලුදෙනා මෙන්ම කොල්ලකරුවන්ගේ කණ්ඩායමද+ බොහෝ සෙයින් කැලඹුණෝය.+ පොළොවද දෙදරන්න පටන්ගත්තේය.+ මෙසේ දෙවි ඔවුන් අතරේ මහත් කැලඹීමක් ඇති කළේය.+ 16  පිලිස්තිවරුන්ගේ කඳවුරේ සිටි සියලුදෙනාම මහත් සේ වියවුලට පත්ව+ සිටින බව බෙන්ජමින්වරුන්ගේ දේශයට අයත් ගිබෙයාහි+ සිටි සාවුල් රජුගේ මුරකරුවෝ දුටුවෝය. 17  එවිට සාවුල් රජ, “සෙනඟ ගණන් කර කිසිවෙකු අඩුද කියා බලන්න” යයි තමා සමඟ සිටි අයට කීවේය. සෙනඟ ගණන් කර බැලූ විට යොනාතාන් සහ ඔහුගේ ආයුධ දරන්නා එහි නොසිටි බව පෙනී ගියේය. 18  එවිට සාවුල් රජ අහියාට+ මෙසේ කීවේය. “සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ මෙතැනට ගෙනෙන්න.” (එදින සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඊශ්‍රායෙල් සෙනඟ අතරේ තිබිණ.)+ 19  සාවුල් රජු පූජකයා සමඟ කතා කරමින් සිටියදී+ පිලිස්තිවරුන්ගේ කඳවුරේ තිබූ වියවුල්සහගත තත්වය තව තවත් වැඩි විය. එවිට සාවුල් රජ පූජකයාට, “ඔබ කරන්න යන දේ නතර කරන්න” කියා පැවසුවේය. 20  ඉන්පසු සාවුල් රජ තමා සමඟ සිටි සියලුදෙනාව කැඳවාගෙන සටනට ගියේය.+ ඔවුහු සටන් බිමට පැමිණි විට පිලිස්තිවරුන් එක් එක් කෙනා තම තමාගේ සහෝදරයාට විරුද්ධව සටන් කරමින් සිටින බව ඔවුහු දුටුවෝය.+ එදින පිලිස්තිවරු අන්ත පරාජයක් අද්දුටුවෝය. 21  කලින් පිලිස්තිවරුන්ට එකතු වී+ කඳවුරේ විසිරී සිටි හෙබ්‍රෙව්වරුන් පවා සාවුල් රජු හා යොනාතාන්ගේ පැත්තේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට සහය දුන්නෝය. 22  පිලිස්තිවරුන් පලා ගිය බව දැනගත් විට එෆ්‍රායිම් කඳුකරයේ සැඟවී සිටි ඊශ්‍රායෙල්වරුද+ පිලිස්තිවරුන් පසුපස හඹා ගොස් ඔවුන්ට පහර දුන්නෝය. 23  ඔවුහු බෙත්-ආවෙන්+ දක්වාම සටන් කරමින් ගියෝය. එදින යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට ගැලවීම අත් කර දුන්නේය.+ 24  ඊශ්‍රායෙල්වරු බොහෝ වෙහෙසට පත්ව සිටියෝය. නමුත් ඒ අවස්ථාවේ සාවුල් රජ දිවුරා පොරොන්දුවක් දෙමින්+ සෙනඟට මෙසේ නියෝග කළේය. “මගේ සතුරන්ට පහර දී මම ඔවුන්ව පරාජයට පත් කරන තෙක්+ කිසිවෙකු කෑම නොකෑ යුතුයි. යමෙක් හවස් වෙන්න කලින් කෑවොත් ඔහු ශාප ලද්දෙක් වේවා!” එබැවින් කිසිවෙක් කෑම කෑවේ නැත.+ 25  පසුව මුළු සෙනඟ කැලෑවට ගියෝය. කැලෑවේ සෑම තැනකම මීවද+ පෙනෙන්න තිබුණේය. 26  ඒවායින් මීපැණි+ වෑස්සෙන බව දුටුවද කිසිවෙක් එහි රස බැලුවේ නැත. මන්ද සාවුල් රජු දුන් දිවුරුම නිසා ඔවුහු එහි රස බැලීමට භය වූවෝය.+ 27  එහෙත් සාවුල් රජුගේ දිවුරුම ගැන නොදැන සිටි+ යොනාතාන් තම අතේ තිබූ සැරයටියෙන් මීපැණි ටිකක් ගෙන එහි රස බැලුවේය. එවිට ඔහු යළි ප්‍රාණවත් විය.*+ 28  එය දුටු මිනිසෙක් ඔහුට මෙසේ කීවේය. “ඔබේ පියා සෙනඟට කෑම කන්න එපා කියා දැඩි නියෝගයක් පැනෙව්වා. ‘අද කවුරු හරි කෑම කෑවොත් ඔහු ශාප ලද්දෙක් වේවා’+ කියා ඔහු ප්‍රකාශ කළා.” (සෙනඟ වෙහෙසට පත්ව සිටියෝය.)+ 29  එවිට යොනාතාන් මෙසේ කීවේය. “මගේ පියා මේ සෙනඟට කරලා තියෙන්නේ මොන අපරාධයක්ද!+ මීපැණි ටික කෑ ගමන්ම මගේ ඇඟට මෙච්චර ශක්තියක් ලැබුණා නම්+ 30  කොල්ල කා ගත් දේවලින්+ සෙනඟට කන්න දුන්නා නම් අද අපිට කොයි තරම් ලොකු ජයග්‍රහණයක් ලබාගන්න තිබුණාද!+ අපට මීට වඩා විශාල සෙනඟක් මරලා දාන්න තිබුණා.”+ 31  ඔවුහු එදින මික්මාෂ්හි+ සිට ආයාලොන් නුවර+ දක්වා යමින් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන්ව මරා දැමුවෝය. ඒ අවස්ථාව වන විට සෙනඟ බොහෝ සෙයින් වෙහෙසට පත්ව සිටියෝය.+ 32  එබැවින් ඔවුහු තමන් කොල්ල කා ගත්+ බැටළුවන්, ගවයන් හා වස්සන් මතට කඩා පැන උන්ව බිම පෙරළා මරාගෙන ඉතා කෑදර ලෙස ලේත් සමඟම උන්ගේ මස් කෑවෝය.+ 33  පසුව සාවුල් රජුට මෙසේ දන්වනු ලැබීය. “සෙනඟ යෙහෝවා දෙවිගේ නීතිය කඩ කරන හැටි බලන්න! ඔවුන් ලේ සමඟම මස් කනවා.”+ එවිට ඔහු මෙසේ පැවසුවේය. “ඔබ ඇයි මෙවැනි පාපයක් කරන්නේ? දැන් මා ළඟට ලොකු ගලක් අරගෙන එන්න.” 34  පසුව සාවුල් රජ මෙසේ කීවේය. “සෙනඟට මෙහෙම කියන්න. ‘ගවයන් හා බැටළුන් මා ළඟට අරගෙන එන්න. උන්ව මෙතැනදී මරලා කන්න. ලේ සමඟ මස් කන්න එපා. එහෙම කළොත් ඒක යෙහෝවා දෙවිට විරුද්ධව කරන පාපයක්.’”+ එදින රාත්‍රියේ සියලුදෙනාම තමන් කොල්ල කා ගත් ගවයන් එතැනට ගෙනැවිත් මැරුවෝය. 35  සාවුල් රජ එතැනදී යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනැඟුවේය.+ එය ඔහු යෙහෝවා දෙවිට ගොඩනැඟූ පළමුවෙනි පූජාසනයයි.+ 36  පසුව සාවුල් රජ මෙසේ කීවේය. “අපි අද රෑට පිලිස්තිවරුන් ඉන්න තැනට ගිහින් ඔවුන් සියලුදෙනාව මරලා දාමු.+ එළිය වැටෙන තුරු+ ඔවුන්ගේ බඩු කොල්ල කමු.” එවිට සෙනඟ, “ඔබට හොඳයි කියා හිතෙන ඕනෑම දෙයක් කරන්න” යයි කීවෝය. නමුත් පූජකයා, “අපි සැබෑ දෙවිගෙන් මේ ගැන විමසා බලමු”+ යයි කීවේය. 37  එබැවින් සාවුල් රජ දෙවිගෙන් මෙසේ විමසුවේය. “මම පිලිස්තිවරුන් පසුපස ලුහුබැඳ යන්නද?+ ඔබ ඊශ්‍රායෙල්වරුන්ගේ අතට ඔවුන්ව යටත් කර දෙනවද?”+ නමුත් එදින දෙවි ඔහුට පිළිතුරු දුන්නේ නැත.+ 38  එබැවින් සාවුල් රජ මෙසේ කීවේය. “සෙනඟ අතරේ සිටින ප්‍රධානියෙනි,+ මෙතැනට එන්න.+ අද මේ වගේ දෙයක් සිද්ධ වුණේ කාගේ පාපයක් නිසාද කියා සොයා බලන්න. 39  වරද කළ තැනැත්තා කවුරු වුණත් ඔහුව මරා දැමිය යුතුයි. ඒ වරද කළේ මගේ පුත් යොනාතාන් වුණත් මම ඒ දඬුවමින් ඔහුව නිදහස් කරන්නේ නැහැ කියලා ඊශ්‍රායෙල්වරුන්ගේ ගැලවුම්කරු හා ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් මම දිවුරලා කියනවා.”+ නමුත් කිසිවෙක් ඔහුට පිළිතුරු දුන්නේ නැත. 40  එබැවින් ඔහු නැවතත් ඔවුන්ට කතා කරමින් මෙසේ කීවේය. “සියලුදෙනාම එක පැත්තකට යන්න. මාත් යොනාතානුත් විතරක් අනික් පැත්තට යන්නම්.” එවිට සෙනඟ, “ඔබට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න”+ කියා සාවුල් රජුට කීවෝය. 41  පසුව සාවුල් රජ යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “අනේ ඊශ්‍රායෙල්හි දෙවියනි, තුම්මීම්+ ලවා අපට පැහැදිලි උත්තරයක් දෙන්න.” එවිට සෙනඟ අතරින් සාවුල් රජුව හා යොනාතාන්ව තෝරාගනු ලැබීය.+ 42  ඉන්පසු සාවුල් රජ, “වරදකරුවා මමද නැත්නම් මගේ පුත් යොනාතාන්ද කියා හරියටම දැනගන්න දාදු දමන්න”+ කියා පැවසුවේය. ඒ අවස්ථාවේදී වරදකරු ලෙස තෝරාගනු ලැබුවේ යොනාතාන්වයි. 43  එවිට සාවුල් රජ යොනාතාන්ගෙන් මෙසේ ඇසුවේය. “ඔබ මොනවද කළේ?”+ යොනාතාන් මෙසේ පිළිතුරු දුන්නේය. “මම මගේ සැරයටියෙන් මීපැණි ටිකක් අරගෙන රස බැලුවා.+ මා කළ වරදට දැන් මාව මරලා දාන්න.” 44  සාවුල් රජද, “ඔබව මරා දැමුවේ නැත්නම්+ දෙවිගෙන් මට දඬුවම් ලැබේවා”+ කියා කීවේය. 45  නමුත් සෙනඟ සාවුල් රජුට මෙසේ කීවෝය. “ඊශ්‍රායෙල්වරුන්ට මේ මහත් ගැලවීම අත් කර දුන්+ යොනාතාන්ව මරලා දාන්නේ කොහොමද? එය කවදාවත් අපිට කරන්න බැරි දෙයක්.+ යොනාතාන්ගේ එක කෙස්ගහක්වත් බිම වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ+ කියලා ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් අප ස්ථිරවම කියා සිටිනවා.+ ඔහු අද මේ ජයග්‍රහණය ලැබුවේ දෙවිගේ උපකාරයෙන්.”+ මෙසේ යොනාතාන්ට ලැබිය යුතු දඬුවමින් සෙනඟ ඔහුව බේරාගත්තෝය.+ 46  එබැවින් සාවුල් රජ පිලිස්තිවරුන්ව ලුහුබැඳීම අත්හැරියේය. පිලිස්තිවරුද තම තමන්ගේ වාසස්ථාන වෙතට හැරී ගියෝය.+ 47  සාවුල් රජ තම සියලු සතුරන්ට විරුද්ධව සටන් කරමින් ඊශ්‍රායෙල් දේශය පුරා තම රජකම ස්ථිර කරගත්තේය.+ අවට සිටි මෝවබ්වරුන්ටද+ අම්මොන්වරුන්ටද+ ඒදොම්වරුන්ටද+ ෂොබාහි+ රජවරුන්ටද පිලිස්තිවරුන්ටද+ විරුද්ධව ඔහු සටන් කළේය. ඔහු ගිය සෑම තැනකම සිටි තම සතුරන්ව යටත් කරගෙන ඔවුන්ට දඬුවම් නියම කළේය.+ 48  ඔහු දිගින් දිගටම එඩිතරව ක්‍රියා කළේය.+ ඔහු අමලෙක්වරුන්ට+ පහර දී කොල්ලකරුවන් අතින් ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගත්තේය. 49  සාවුල් රජුගේ පුත්‍රයෝ නම් යොනාතාන්,+ ඉෂ්වී සහ මල්කී-ෂුවාය.+ ඔහුට දූවරු දෙදෙනෙක්ද සිටියෝය. වැඩිමල් දියණියගේ නම මේරබ්ය.+ බාල දියණියගේ නම මීකල්ය.+ 50  සාවුල් රජුගේ භාර්යාවගේ නම අහිනොවම්ය. ඇය අහිමයාෂ්ගේ දියණිය විය. සාවුල් රජුගේ හමුදාපති ඔහුගේ මාමා වන අබ්නේර්+ විය. අබ්නේර් නේර්ගේ පුත්‍රයාය. 51  සාවුල්ගේ පියා කිෂ්ය.+ අබ්නේර්ගේ පියා වන නේර්+ අබියෙල්ගේ පුත්‍රයාය. 52  සාවුල් රජ බලසම්පන්න හෝ එඩිතර හෝ පුරුෂයෙකු දුටු විට ඔහුව තම හමුදාවට බඳවාගත්තේය.+ සාවුල් රජු ජීවත් වූ සියලු දවස්වලදී පිලිස්තිවරුන්ට විරුද්ධව දරුණු සටන් පැවතිණ.+

පාදසටහන්

මූ.අ., “ඔහුගේ දෑස් දීප්තිමත් විය.”