1 සාමුවෙල් 18:1-30

18  දාවිත් සාවුල් රජුට පැවසූ දේවල් ඇසූ විට යොනාතාන්ගේ+ සිත දාවිත් වෙත ඇදී ගියේය.+ එදා පටන් ඔහු තම පණට මෙන් දාවිත්ට ආදරේ කිරීමට පටන්ගත්තේය.+  එදින සාවුල් රජ, දාවිත්ව ඔහුගේ පියාගේ නිවසට නොයවා තම මාලිගාවේ නවත්වාගත්තේය.+  යොනාතාන් දාවිත්ට තම පණට මෙන් ආදරේ කළ නිසා+ ඔවුහු එකිනෙකා අතරේ ගිවිසුමක් ඇති කරගත්තෝය.+  පසුව යොනාතාන් තමා ඇඳගෙන සිටි අත් නැති සළුවද අනික් වස්ත්‍රද දාවිත්ට දුන්නේය. ඔහු තම කඩුවද දුන්නද ඉණපටියද දාවිත්ට දුන්නේය.  දාවිත් සාවුල් රජුගේ හමුදාව සමඟ යුධ මෙහෙයුම්වලට යෑමට පටන්ගත්තේය. සාවුල් රජු තම හමුදාව යැවූ සෑම තැනටම දාවිත්ද ගියේය. දාවිත් සිහිකල්පනාවෙන් යුතුව කටයුතු කළ නිසා+ සාවුල් රජ ඔහුව තම හමුදාවේ ප්‍රධානියා ලෙස පත් කළේය.+ මුළු සෙනඟද සාවුල් රජුගේ සේවකයෝද ඒ ගැන සතුටු වූහ.  දාවිත් පිලිස්තිවරුන්ව පරාජය කර නැවත පැමිණි විට ඊශ්‍රායෙල්හි සෑම නුවරකින්ම ස්ත්‍රීහු ගී ගයමින්,+ නටමින් පිටත්ව ආවෝය. ඔවුහු රබන්* ගසමින්,+ වීණා* වයමින්, ප්‍රීති ඝෝෂා නඟමින්+ සාවුල් රජු ඉදිරියට ආවෝය.  ප්‍රීති ඝෝෂා නඟමින් සිටි ඒ ස්ත්‍රීහු මෙසේ ගායනා කළෝය.“සාවුල් දහස් ගණන් මැරුවෝය.දාවිත් දසදහස් ගණන් මැරුවෝය.”+  ඔවුන් කී දේ අසා සාවුල් රජ මහත් සේ කෝප වී+ මෙසේ සිතුවේය. “දාවිත් දසදහස් ගණන් මැරුවා කියලා ඔවුන් කියනවා. නමුත් මම මැරුවා කියලා කියන්නේ දහස් ගණන් විතරයි. තව ඔහුට ලබාගන්න ඉතුරු වෙලා තියෙන්නේ රජකම විතරයි!”+  එදා පටන් සාවුල් රජ, දාවිත් දෙස සැකෙන් බලන්න පටන්ගත්තේය.+ 10  පසුවදා+ සාවුල් රජු තුළ අවුල්සහගත සිතුවිලි ඇති වීමට දෙවි ඉඩහැරියේය.+ එබැවින් ඔහු මාලිගාවේදී වියරු වැටුණු කෙනෙකු* ලෙස හැසිරෙන්න පටන්ගත්තේය.+ ඒ අවස්ථාවේදී දාවිත් සුපුරුදු ලෙස සංගීතය වාදනය කරමින් සිටියේය.+ හෙල්ලයක් අතැතිව සිටි+ 11  සාවුල් රජ ඒ මොහොතේ, “මම දාවිත්ට මැරෙන්නම අනිනවා”+ යයි කියමින් දාවිත් දෙසට හෙල්ලය වීසි කළේය.+ ඔහු දෙවරක්ම දාවිත්ට හෙල්ලයෙන් අනින්න උත්සාහ කළ නමුත් දාවිත් ඔහුගෙන් බේරී පලා ගියේය.+ 12  යෙහෝවා දෙවි තමන්ගෙන් දුරස් වී+ දාවිත්ට සමීප වී සිටින බව සාවුල් රජු තේරුම්ගත් නිසා+ ඔහු දාවිත්ට භයෙන් සිටියේය.+ 13  එබැවින් ඔහු දාවිත්ව දහස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ ප්‍රධානියා ලෙස පත් කර රජමාලිගාවෙන් පිටත් කර යැව්වේය.+ හමුදාවේ පෙරමුණ ගෙන ක්‍රියා කළේ දාවිත්ය.+ 14  දාවිත් සැමවිටම සිහිකල්පනාවෙන් ක්‍රියා කළේය.+ යෙහෝවා දෙවිගේ ආශීර්වාදයද ඔහුට ලැබිණ.+ 15  ඔහු සිහිකල්පනාවෙන් ක්‍රියා කළ බව+ සාවුල් රජටද පෙනී ගියේය. එබැවින් ඔහු දාවිත්ට භයෙන් සිටියේය. 16  යුද්ධයට ගිය අවස්ථාවලදී දාවිත් පෙරමුණ ගෙන ක්‍රියා කළ නිසා ඊශ්‍රායෙල්හි සහ යූදාහි සියලු වැසියෝ ඔහුට මහත් සේ ප්‍රේම කළෝය. 17  කලක් ගෙවුණු පසු සාවුල් රජ මෙසේ සිතුවේය. “මගේ අතින් දාවිත්ව මරන්නේ නැහැ. ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මැරුම් කාපුදෙන්.”+ එබැවින් ඔහු දාවිත්ට මෙසේ කීවේය. “මගේ වැඩිමල් දියණිය වන මේරබ්ව+ ඔබට විවාහ කර දෙන්න මම කැමතියි.+ හැබැයි ඊට කලින් යෙහෝවා දෙවි වෙනුවෙන් සටන් කර+ ඔබ නිර්භීත කෙනෙක් කියා පෙන්විය යුතුයි.” 18  එවිට දාවිත්, “මගේ පියාගේ පවුලේ අයයි මගේ නෑදෑයනුයි ඊශ්‍රායෙල් දේශයේ ඒ තරම් වැදගත් මිනිස්සු නෙවෙයි. ඉතින් මම කොහොමද රජ්ජුරුවන්ගේ බෑනා වෙන්නේ”+ කියා සාවුල් රජුට පැවසුවේය. 19  සාවුල් රජුගේ දියණිය වන මේරබ්ව දාවිත්ට විවාහ කර දීමට පොරොන්දු වූ දවසට කලින් ආබෙල්-මෙහෝලාහි+ ජීවත් වූ අද්‍රියෙල්+ නම් මිනිසාට ඇයව විවාහ කර දී තිබිණ. 20  පසුව සාවුල් රජුගේ දියණිය වන මීකල්+ දාවිත්ට ආදරේ කරන බව සාවුල් රජුට දන්වනු ලැබීය. රජද ඒ ගැන සතුටු විය. 21  මන්ද ඔහු මෙසේ සිතුවේය. “මේක දාවිත්ව අල්ලගන්න හොඳ අවස්ථාවක්. පිලිස්තිවරුන්ගේ අතින් ඔහුව මරන්න මට සැලසුම් කරන්න පුළුවන්.”+ ඉන්පසු සාවුල් රජ, “මම මගේ අනික් දුවව ඔබට විවාහ කර දෙන්නම්. මේ විවාහයට ඔබ කැමති වෙන්න” කියා දාවිත්ට කීවේය. 22  සාවුල් රජ තම සේවකයන්ටද මෙසේ අණ කළේය. “දාවිත්ට රහසින් මෙහෙම කියන්න. ‘රජ ඔබට ගොඩක් ආදරෙයි. ඔහුගේ සියලු සේවකයනුත් ඔබට ආදරෙයි. ඒ නිසා ඔබ රජුගේ දියණිය සමඟ විවාහ වෙන්න.’” 23  සාවුල් රජුගේ සේවකයෝ ඔහු කී සියල්ල දාවිත්ට කීවෝය. නමුත් දාවිත්, “මම නිකම්ම නිකම් දුප්පත් මිනිහෙක්.+ රජුගේ බෑනා වෙන්න තරම් වත්කමක් මට නැහැ” කියා ඔවුන්ට කීවේය. 24  පසුව සාවුල් රජුගේ සේවකයෝ, “දාවිත් අපිට කිව්වේ මෙයයි” කියමින් දාවිත් පැවසූ සියල්ල සාවුල් රජුට කීවෝය. 25  එවිට සාවුල් රජ ඔහුගේ සේවකයන්ට මෙසේ කීවේය. “‘රජු ඔහුගේ දුව වෙනුවෙන් ඉල්ලන්නේ මුදල් නෙමෙයි.+ ඔහුට අවශ්‍ය ඔහුගේ සතුරන්ගෙන් පළිගන්නයි.+ ඒ නිසා ඔහුට පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍ර+ විතරක් ගෙනත් දෙන්න’ කියා දාවිත්ට කියන්න.” නමුත් සාවුල් රජු එසේ කීවේ යටි අදහසක් ඇතුවය. පිලිස්තිවරුන් ලවා දාවිත්ව මරා දැමීමට ඔහුට අවශ්‍ය විය. 26  සාවුල් රජුගේ සේවකයෝ ඔහු පැවසූ සියල්ල දාවිත්ට දැන්වූවෝය. දාවිත්ද රජුගේ දුව සමඟ විවාහ වීමට කැමති විය.+ රජුගේ ඉල්ලීම ඉටු කිරීමට තව ටික දවසක් ඉතුරුව තිබිණ. 27  එබැවින් දාවිත්ද ඔහුගේ සේවකයෝද ගොස් පිලිස්තිවරුන් දෙසීයදෙනෙකුව මරා දැමුවෝය.+ පසුව රජුගේ දියණියව විවාහ කරගන්නා පිණිස දාවිත් තමා මරා දැමූ සියලුදෙනාගේම චර්මාග්‍ර+ රජු ඉදිරියට ගෙනාවේය. සාවුල් රජද තම දියණිය වන මීකල්ව ඔහුට විවාහ කර දුන්නේය.+ 28  යෙහෝවා දෙවිගේ ආශීර්වාදය දාවිත්ට තිබූ බව සාවුල් රජ තේරුම්ගත්තේය.+ ඔහුගේ දියණිය වන මීකල් දාවිත්ට මුළු හදවතින්ම ආදරේ කළාය.+ 29  සාවුල් රජ දාවිත්ට තව තවත් භය විය. එහෙත් ඔහු ජීවිතාන්තය දක්වාම දාවිත්ට සතුරුකම් කළේය.+ 30  පිලිස්තිවරුන්ගේ අධිපතියෝ+ විටින් විට යුද්ධයට ගියෝය. ඒ සෑම අවස්ථාවකදීම දාවිත් ඉතා සිහිකල්පනාවෙන් කටයුතු කළේය.+ ඔහු සාවුල් රජුගේ අන් සියලු සේවකයන්ට වඩා සිහිකල්පනාවෙන් ක්‍රියා කළ බැවින් හොඳ නමක් දිනාගත්තේය.+

පාදසටහන්

මූ.අ., “කිංකිණි රබන්.”
මූ.අ., “තත් තුනේ සංගීත භාණ්ඩ.”
හෝ, “අනාගතවක්තෘවරයෙකු ලෙස හැසිරුණේය.” අනාගතවක්තෘවරුන් සමහර අවස්ථාවලදී දේවල් ප්‍රකාශ කළ ආකාරය හා හැසුරුණු ආකාරය අසාමාන්‍ය වූ නිසා එවැනි යෙදුමක් භාවිත කළා විය හැක.