1 සාමුවෙල් 3:1-21

3  සාමුවෙල්, ඒලී යටතේ යෙහෝවා දෙවිට සේවය කළේය.+ ඒ කාලයේ යෙහෝවා දෙවිගේ වචනය+ අසන්න ලැබුණේ කලාතුරකින්ය.+ දර්ශන+ ගැනද එතරම් කතාබහ කළේ නැත.  එක් දිනක් දෑස් නොපෙනෙන තරමට දුර්වල+ වී සිටි ඒලී තම කාමරයේ නිදාගෙන සිටියේය.  සාමුවෙල්ද දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තබා තිබූ යෙහෝවා දෙවිගේ මාලිගාවේ*+ නිදාගෙන සිටියේය. මාලිගාවේ පහනද දැල්වෙමින් තිබුණේය.  එවිට යෙහෝවා දෙවි සාමුවෙල්ට කතා කළේය. සාමුවෙල්ද, “මම මෙතැනය”+ කියා කීවේය.  ඔහු ඒලී වෙත දුව ගොස් මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, ඔබ මට කතා කළාද? මම ආවේ ඒ නිසයි.” නමුත් ඒලී, “මම ඔබට කතා කළේ නැහැ. ගිහින් නිදාගන්න” යයි කීවේය. සාමුවෙල්ද නැවත ඔහුගේ ස්ථානයට ගොස් නිදාගත්තේය.  ඉන්පසු යෙහෝවා දෙවි, “සාමුවෙල්”+ කියා නැවතත් හඬගැසුවේය. එවිට සාමුවෙල් නැඟිට ඒලී වෙත ගොස්, “ඔබ මට දැන් කතා කළා නේද? ඒ නිසයි මම ආවේ” කියා කීවේය. නමුත් ඒලී, “මම ඔබට කතා කළේ නැහැ පුතේ.+ දැන් ගිහින් නිදාගන්න” යයි කීවේය.  (ඒ වන විට සාමුවෙල්, යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගෙන සිටියේ නැත. යෙහෝවා දෙවි තම පණිවිඩ ඔහුට ප්‍රකාශ කර තිබුණේද නැත.)+  යෙහෝවා දෙවි තුන්වෙනි වරටත්, “සාමුවෙල්” කියා හඬගැසුවේය. එවිට ඔහු නැඟිට ඒලී වෙත ගොස්, “ඔබ මට කතා කරන හඬ මේ සැරේ නම් හොඳට ඇහුණා” කියා කීවේය. දරුවාට කතා කරන්නේ යෙහෝවා දෙවි බව මේ අවස්ථාවේදී ඒලී තේරුම්ගත්තේය.  එබැවින් ඒලී සාමුවෙල්ට මෙසේ කීවේය. “ගිහින් නිදාගන්න. ඔහු ඔබට නැවත කතා කළොත් මෙහෙම කියන්න. ‘යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයාට දැන් කතා කරන්න. මම අහගෙනයි ඉන්නේ.’” ඉන්පසු සාමුවෙල් නැවත ඔහුගේ ස්ථානයට ගොස් හාන්සි වුණේය. 10  යෙහෝවා දෙවි නැවත වරක්, “සාමුවෙල්, සාමුවෙල්” කියා කතා කළේය. එවිට සාමුවෙල්, “ඔබේ සේවකයාට කතා කරන්න. මම අහගෙනයි ඉන්නේ”+ කියා කීවේය. 11  යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් දේශය තුළ මා කිරීමට යන දේ+ ගැන යමෙකුට දැනගන්න ලැබුණොත් ඔහු භයෙන් තිගැස්සෙයි.+ 12  ඒ දවසේදී ඒලීගෙන් පැවතෙන්නන් ගැන මා පැවසූ සියල්ල මම මුල පටන් අග දක්වාම ඉටු කරන්නෙමි.+ 13  ඔහුගේ පුත්‍රයන් මට නින්දා අපහාස කරද්දී+ ඔහු ඔවුන්ට තරවටු නොකළේය.+ ඔහු ඔවුන් කළ වැරදි දැක දැකත්+ ඒ ගැන කිසිවක් නොකළ නිසා මා ඔහුගේ මුළු පරම්පරාවම විනිශ්චයකට+ ලක් කරන බව ඔබ ඔහුට කියන්න. මම ඔවුන්ට විරුද්ධව තීන්දු කළ දේ කිසිදා වෙනස් නොකරන්නෙමි. 14  එබැවින් ඔවුන් කළ වරදට ඔවුන් අනිවාර්යයෙන්ම දඬුවම් විඳින බව මම ඒලීගෙන් පැවතෙන්නන්ට දිවුරා කියන්නෙමි. පූජා ඔප්පු කිරීමෙන්වත් යාග ඔප්පු කිරීමෙන්වත් ඔවුන්ට එයින් නිදහස් විය නොහැක.”+ 15  සාමුවෙල් උදෑසන වන තෙක් හාන්සි වී සිටියේය. ඉන්පසු ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයේ+ දොරවල් ඇරියේය. රාත්‍රියේ තමා දුටු දර්ශනය ගැන ඒලීට කියන්න සාමුවෙල් භය විය.+ 16  එහෙත් ඒලී සාමුවෙල්ට කතා කර, “සාමුවෙල්, මගේ පුතේ, මෙහෙට එන්න” යයි කීවේය. සාමුවෙල්ද, “මගේ ස්වාමීනි, ඔබ මට කතා කළාද” කියා ඇසුවේය. 17  එවිට ඒලී ඔහුගෙන් මෙසේ ඇසුවේය. “ඔහු ඔබට මොනවද කිව්වේ? ඔහු කියූ දේවල් මගෙන් වසං කරන්න එපා.+ ඔබ ඔහු කියූ එක වචනයක්වත් මගෙන් වසං කළොත් ඔබට දෙවිගෙන් දඬුවම් ලැබේවා!”+ 18  සාමුවෙල්, දෙවි තමාට පැවසූ සියලු දේ ඒලීට කීවේය. ඔහුගෙන් කිසිවක් නොසඟවා සියල්ල කීවේය. එවිට ඒලී, “එය යෙහෝවා දෙවිගේ කැමැත්ත. ඔහුට යහපත් කියා සිතෙන දෙයක් ඔහු කරාවි”+ යයි කීවේය. 19  සාමුවෙල් වයසින් වැඩුණේය. යෙහෝවා දෙවි ඔහු සමඟ සිටියේය.+ සාමුවෙල් පැවසූ සෑම දෙයක්ම එලෙසම ඉටු වීමට දෙවි සැලැස්වූවේය.+ 20  යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘ ලෙස පත්වීමට නියමිත කෙනා සාමුවෙල් බව+ දාන් සිට බෙයර්-ෂෙබා+ දක්වා ජීවත් වූ සියලු ඊශ්‍රායෙල්වරු දැන සිටියෝය. 21  යෙහෝවා දෙවි ෂීලෝහිදී නැවතත් ප්‍රකාශ වුණේය.+ යෙහෝවා දෙවි සාමුවෙල්ට තම පණිවිඩය හෙළි කළේය.+ යෙහෝවා දෙවි ඔහුට තම පණිවිඩය හෙළි කළේ ෂීලෝ නුවරේදීය.

පාදසටහන්

1සාමු 1:9හි පාදසටහන බලන්න.