1 සාමුවෙල් 6:1-21

6  යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ මාස හතක් පුරා පිලිස්තිවරුන්ගේ දේශයේ තිබිණ.  පසුව පිලිස්තිවරු ඔවුන්ගේ පූජකයන්ව හා පේන කියන්නන්ව+ කැඳවා ඔවුන්ගෙන් මෙසේ ඇසුවෝය. “යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටියට අපි මොනවද කරන්නේ? ඒක තිබුණු තැනටම නැවත යවද්දී ගිවිසුම් පෙට්ටිය සමඟ අපි මොනවා හරි යැවිය යුතුද?”  එවිට ඔවුහු මෙසේ පැවසුවෝය. “තෑග්ගක් නැතුව නම් ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය නැවත යවන්න එපා. වරදට සමාව ලබාගන්න නම් අනිවාර්යයෙන්ම ඔහුට තෑග්ගක් යවන්න වෙයි.+ එහෙම කළොත් ඔබට සුවය ලැබෙයි. ඔහු ඔබට මේ විදිහට පහර දුන්නේ ඇයි කියාත් ඔබට දැනගන්න පුළුවන් වෙයි.”  එවිට ජනයා මෙසේ ඇසුවෝය. “අපේ වරදට සමාව ලබාගන්න අපි මොනවද යවන්නේ?” එවිට පූජකයෝද පේන කියන්නෝද ඔවුන්ට මෙසේ පැවසුවෝය. “ඔබටත් ඔබේ අධිපතීන්ටත් ලැබුණේ එකම දඬුවමයි. ඒ නිසා පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා වෙනුවෙන්+ අර්ශස් ගෙඩිවල හැඩයට රත්තරන් රූප පහකුත් මීයන්ගේ හැඩයට රත්තරන් රූප පහකුත් සාදා යවන්න.  ඔබ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ට ගෞරව කළ යුතුයි.+ ඔබට සෑදුණු අර්ශස් ගෙඩිවල හැඩයටත් දේශය නාස්ති කරන මීයන්ගේ+ රූපවල හැඩයටත් රූප සාදා යවන්න. ඔබ එහෙම කළොත් සමහරවිට ඔබටත් ඔබේ දෙවියන්ටත් ඔබේ දේශයටත් විරුද්ධව ගෙනා පීඩා ඔහු නතර කරයි.+  ඔබ ඊජිප්තුවරුන් හා පාරාවෝ මෙන් සිත මුරණ්ඩු කරගන්නේ ඇයි?+ ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ට යන්න දුන්නේ නැති නිසා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් ඔවුන්ට දරුණු ලෙස පහර දී+ ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගත් හැටි අමතක කරන්න එපා.+  ඒ නිසා දැන් ඔබ මෙහෙම කරන්න. අලුත් කරත්තයක් සාදන්න.+ කවදාවත් වියගහක් බැඳ නැති+ කිරි එළදෙනුන් දෙන්නෙක්ව තෝරගන්න. උන්ව ඒ කරත්තයට බඳින්න. උන්ගේ පැටවුන්ව ගාල් කර තියාගන්න.  යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය ඒ කරත්තය උඩ තියන්න. ඔබ සමාව ලබාගන්න+ සෑදූ රත්තරන් රූපත්+ පෙට්ටියක දමා ඒක ළඟින් තියන්න. ඉන්පසු එළදෙනුන්ට යන්න හරින්න.  උන් යන්නේ කොයි පැත්තටද කියා බලාගෙන ඉන්න. ගිවිසුම් පෙට්ටිය අයිති ප්‍රදේශය වන බෙත්-ෂෙමෙෂ්+ වෙත යන මාර්ගයේ උන් ගමන් කළොත් මේ මහත් විපත ගෙනාවේ ඔවුන්ගේ දෙවියන් බව ස්ථිරයි. නමුත් උන් වෙන මාර්ගයක ගමන් කළොත් අපිට පහර දුන්නේ ඔහු නෙවෙයි කියලා අපිට දැනගන්න පුළුවන්. ඒක ඉබේ සිද්ධ වුණ විපතක්.”+ 10  එබැවින් පිලිස්තිවරු ඔවුන් පැවසූ ලෙසම කළෝය. ඔවුහු කිරි එළදෙනුන් දෙදෙනෙකු ගෙන කරත්තයට බැන්දෝය. උන්ගේ පැටවුන්ව ඔවුහු ගාල් කර තැබුවෝය. 11  ඉන්පසු ඔවුහු, යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය කරත්තයේ තැබුවෝය.+ මීයන්ගේ හැඩයට හා අර්ශස් ගෙඩිවල හැඩයට සාදාගත් රත්තරන් රූප දමා තිබූ පෙට්ටියද ඔවුහු කරත්තයේ තැබුවෝය. 12  එළදෙන්නු බෙත්-ෂෙමෙෂ් වෙත යන මාර්ගය දිගේ ගියෝය.+ උන් හඬ නඟමින් වමටවත් දකුණටවත් නොහැරී දිගටම ඒ මාර්ගයේ ගමන් කළෝය. පිලිස්තිවරුන්ගේ අධිපතියෝද+ බෙත්-ෂෙමෙෂ් දේශ සීමාව දක්වාම උන් පිටුපසින් ඇවිදගෙන ගියෝය. 13  කරත්තය පැමිණි විට බෙත්-ෂෙමෙෂ් නුවරේ වැසියෝ තැනිතලාවේ තිරිඟු අස්වැන්න+ කපමින් සිටියෝය. ඔවුහු ගිවිසුම් පෙට්ටිය දුටු විගස මහත් ප්‍රීතියෙන් කෑගැසුවෝය. 14  එළදෙන්නු බෙත්-ෂෙමෙෂ්හි වැසියෙකු වන යොෂුවාගේ කෙතට ඇතුල් වී ලොකු ගලක් අසල නැවතුණෝය. පසුව එහි වැසියෝ කරත්තය කඩා දැමුවෝය. ඔවුහු එහි ලී, දර ලෙස පාවිච්චි කරමින් එළදෙනුන්+ දෙදෙනාව දවන පූජාවක් ලෙස යෙහෝවා දෙවිට ඔප්පු කළෝය.+ 15  ලෙවීවරු+ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය හා රත්තරන් රූප තිබූ පෙට්ටිය බිමට ගෙන විශාල ගල මත තැබුවෝය. බෙත්-ෂෙමෙෂ්හි+ වැසියෝ එදින මුළු දවසම යෙහෝවා දෙවිට දවන පූජාද යාගද ඔප්පු කළෝය. 16  ඉන්පසු පිලිස්තිවරුන්ගේ අධිපතීහු+ පස්දෙනා නැවත එක්‍රොන් වෙතට හැරී ගියෝය. 17  පිලිස්තිවරුන් තමන්ගේ වරදට සමාව ලබාගැනීමට යෙහෝවා දෙවිට+ තෑගි වශයෙන් අර්ශස් ගෙඩිවල හැඩයට සාදා යැවූ රූප ගණන මෙසේය. ඔවුහු අෂ්දොද් නුවර+ වෙනුවෙන් එකක්ද ගාසා නුවර+ වෙනුවෙන් එකක්ද අෂ්කෙලොන් නුවර+ වෙනුවෙන් එකක්ද ගාත් නුවර+ වෙනුවෙන් එකක්ද එක්‍රොන් නුවර+ වෙනුවෙන් එකක්ද සාදා යැවූහ. 18  ඔවුහු පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා පාලනය කළ පවුරුවලින් වට වූ නුවරවල හා ගම්බද පළාත්වල ගණනට අනුව මීයන්ගේ හැඩයටද රත්තරන් රූප සාදා යැවූහ. බෙත්-ෂෙමෙෂ්හි වැසියෙකු වූ යොෂුවාගේ කෙතෙහි තිබූ විශාල ගල මේ දක්වාම තිබේ. යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තැබූ ඒ ගල සිදු වූ සියල්ලට සාක්ෂියකි. 19  බෙත්-ෂෙමෙෂ්හි+ මිනිසුන් යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය දෙස බැලූ නිසා දෙවි ඔවුන්ට පහර දුන්නේය. ඔහු පුරුෂයන් හැත්තෑදෙනෙකුව (පනස්දහසක්ව)* මරා දැමුවේය. යෙහෝවා දෙවි මෙතරම් විශාල සෙනඟක් මරා දැමූ නිසා ඒ නුවරේ වැසියෝ හඬා වැලපුණෝය.+ 20  ඔවුහු මෙසේ කීවෝය. “මේ ශුද්ධ දෙවි+ වන යෙහෝවා ඉදිරියේ සිටින්න පුළුවන් කාටද? අනේ, ඔහු අපෙන් ඈත් වී වෙනත් නුවරකට ගියා නම් හොඳයි!”+ 21  පසුව ඔවුහු කිර්යත්-යෙයාරීම් නුවර+ වෙත පණිවිඩකරුවන් යවා මෙසේ දැන්වූවෝය. “පිලිස්තිවරු යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අපිට භාර දුන්නා. ඇවිත් එය ඔබේ නුවරට රැගෙන යන්න.”+

පාදසටහන්

‘පනස්දහසක්’ යන අදහස මේ පදයට පසු කලෙක ඇතුළත් කළ බව ඇතමෙක් විශ්වාස කරති.