2 රාජාවලිය 6:1-33

6  අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ+ එලිෂාට මෙසේ කීවෝය. “මේ ස්ථානයේ+ අපිට ඉන්න ඉඩ මදි.+ ඒ නිසා අපි සියලුදෙනාටම තවදුරටත් එකට ඉන්න බැහැ.  අපිට යොර්දාන් ගඟ ළඟට යන්න අවසර දෙන්න. අපි එක් එක් කෙනාට පුළුවන් ගස් කපා ඒවායින් එහි නවාතැනක් සාදාගන්න.”+ එලිෂා, “ගිහින් ඔබ කියූ විදිහට කරන්න” යයි කීවේය.  එවිට ඔවුන්ගෙන් එක් කෙනෙක් එලිෂාට කතා කර, “ඔබත් ඔබේ සේවකයන් සමඟ එහි යන්න එන්න” යයි කීවේය. එවිට ඔහු, “හොඳයි, මමත් ඔබ සමඟ එන්නම්” කියා කියමින්  ඔවුන් සමඟ ගියේය. අවසානයේදී ඔවුහු යොර්දාන් ගඟ අසලට පැමිණ ඒ අවට තිබුණු ගස් කැපීමට පටන්ගත්තෝය.+  තමන්ට අවශ්‍ය ලී කපාගන්නා අතරතුර එක් කෙනෙකුගේ පොරෝ තලය+ ගැලවී වතුරට වැටුණේය. එවිට ඔහු, “අනේ මගේ ස්වාමීනි,+ ඒක මම වෙන කෙනෙකුගෙන් ඉල්ලගත්ත පොරොවක්”+ යයි කීවේය.  සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයා, “එය වැටුණේ කොතැනටද” කියා ඔහුගෙන් ඇසූ විට එය වැටුණු තැන ඔහුට පෙන්වූවේය. එවෙලේම එලිෂා ලී කෑල්ලක් කපා එතැනට වීසි කළේය. එවිට පොරෝ තලය උඩට මතු වී පාවුණේය.+  “දැන් අත දමා පොරෝ තලය ගන්න” යයි එලිෂා ඒ තැනැත්තාට කීවේය. ඔහුද පොරෝ තලය ගත්තේය.  සිරියාවේ රජ,+ ඊශ්‍රායෙල් දේශයට විරුද්ධව යුද්ධයට ආවේය. ඔහු තම සේවකයන් සමඟ සාකච්ඡා කර,+ “අපි මේ මේ තැන්වල කඳවුරු බැඳගනිමු”+ යයි කීවේය.  නමුත් සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයා+ ඊශ්‍රායෙල්හි රජුට පණිවිඩයක් යවා, “සිරියානු හමුදාව මේ ස්ථානයට එන නිසා+ ඒ අසලින් නොයන්න වගබලා ගන්න”+ කියා කීවේය. 10  එබැවින් ඊශ්‍රායෙල්හි රජ, සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයා කී දේ සනාථ කරගැනීමට ඒ ස්ථානයට මිනිසුන්ව යැව්වේය.+ වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම එලිෂා මෙසේ අනතුරු ඇඟවූ+ නිසා රජ ඔහු කී තැන්වලට යෑමෙන් වැළකී සිටියේය. 11  එබැවින් සිරියාවේ රජ කුපිත වී+ තම සේවකයන්ව කැඳවා, “ඊශ්‍රායෙල්හි රජුට පක්ෂව කටයුතු කරන කෙනෙක් මෙතැන ඉන්නවාද” කියා ඔවුන්ගෙන් ඇසුවේය.+ 12  එවිට ඔහුගේ සේවකයෙක් මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, ඊශ්‍රායෙල්හි රජුට පක්ෂව කටයුතු කරන කවුරුත් මෙහි නැහැ. ඔබේ නිදන කාමරයේ කතා වෙන දේ පවා+ ඊශ්‍රායෙල්හි රජුට දන්වන්නේ+ ඒ දේශයේ ජීවත් වන එලිෂා නම් අනාගතවක්තෘවරයායි.”+ 13  එබැවින් රජ මෙසේ කීවේය. “ගිහින් ඔහු ඉන්න තැන සොයාගන්න. ඉන්පසු මම මිනිසුන්ව යවා ඔහුව අල්ලගන්නම්.”+ ටික කලකට පසු, “ඔහු සිටින්නේ දොතාන් නගරයේ”+ කියා රජුට දන්වන ලදි. 14  එවෙලෙහිම ඔහු විශාල හමුදාවක් රැස් කර ඔවුන්ට අවශ්‍ය අශ්වයන්වද අශ්ව රථද සපයා දී ඔවුන්ව එම ස්ථානයට යැව්වේය.+ ඔවුහු රාත්‍රි කාලයේදී ඒ නගරය වැටලුවෝය. 15  එලිෂාගේ සේවකයා+ හිමිදිරියේ අවදි වී පිටතට ගොස් වටපිට බැලූ විට අශ්වයන්ද අශ්ව රථද ඇතුළුව විශාල හමුදාවක් නුවර වටලා සිටිනවා දුටුවේය. එවිට සේවකයා, එලිෂා ළඟට ගොස්, “අනේ මගේ ස්වාමීනි,+ අපි දැන් මොනවද කරන්නේ” කියා ඇසුවේය. 16  නමුත් ඔහු, “භය වෙන්න එපා.+ ඒ අයට වඩා විශාල පිරිසක් අප සමඟ ඉන්නවා”+ යයි කීවේය. 17  ඉන්පසු එලිෂා මෙසේ යාච්ඤා කළේය.+ “අනේ යෙහෝවා දෙවියනි, ඔහුගේ ඇස් පහදා+ ඔහුට පැහැදිලිව දකින්න සලස්වන්න.” ඒ අවස්ථාවේදීම යෙහෝවා දෙවි, සේවකයාගේ ඇස් පැහැදුවේය. එලිෂා සිටි ස්ථානය අවට+ තිබූ කඳුකර පළාත පුරාම ගිනි වැනි වූ අශ්වයන් සහ අශ්ව රථ තිබෙනවා ඔහුගේ සේවකයා දුටුවේය.+ 18  සිරියානු හමුදාව තමා වෙතට එන විට එලිෂා යෙහෝවා දෙවිට නැවතත් යාච්ඤා කරමින්, “අනේ දෙවියනි, මේ අයගේ ඇස් අන්ධ කරන්න”+ කියා කීවේය. එවිට දෙවි, එලිෂාගේ ඉල්ලීම ලෙස ඔවුන්ගේ ඇස් අන්ධ කළේය. 19  ඉන්පසු එලිෂා ඒ හමුදාවට මෙසේ කීවේය. “ඔබ යන්නේ වැරදි පාරේ. ඔබ යා යුත්තේ මේ නුවරට නෙවෙයි. මාත් එක්ක එන්න. ඔබ සොයන මිනිසා ළඟට මම ඔබව ගෙන යන්නම්.” එහෙත් ඔහු ඔවුන්ව ගෙන ගියේ සමාරියටය.+ 20  ඔවුන් සමාරියට ආ විගස එලිෂා, “යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ ඇස් ඇර ඔවුන්ට පැහැදිලිව දකින්න සලස්වන්න”+ යයි කීවේය. ඒ මොහොතේදීම යෙහෝවා දෙවි ඔවුන්ගේ ඇස් ඇරියේය. ඔවුහු වටපිට බැලූ විට තමන් සමාරිය මැද සිටින බව දුටුවෝය. 21  ඊශ්‍රායෙල්හි රජ ඔවුන්ව දුටු විගස, “මම මොවුන්ට පහර දෙන්නද? පියාණෙනි,+ මම මොවුන්ට පහර දෙන්නද”+ කියා එලිෂාගෙන් ඇසුවේය. 22  නමුත් එලිෂා, “ඔවුන්ට පහර දෙන්න එපා. සටන් කර ඔබ යටත් කරගත් අයට පහර දෙන එක සුදුසු නැහැ.+ ඔවුන්ට කන්න බොන්න දී+ නැවතත් ඔවුන්ගේ ස්වාමියා ළඟට යන්න ඉඩහරින්න” යයි කීවේය. 23  රජ ඔවුන් සඳහා විශාල භෝජන සංග්‍රහයක් පිළියෙල කළේය. ඔවුන් කා බී නිම වූ පසු රජ ඔවුන්ට යන්න හැරියේය. ඔවුන් නැවත තමන්ගේ ස්වාමියා වෙතට ගිය අතර සිරියානු ජාතික කොල්ලකරුවෝ+ නැවත කිසි දිනක ඊශ්‍රායෙල් දේශය ආක්‍රමණය කළේ නැත. 24  පසු කාලයකදී සිරියාවේ රජු වූ බෙන්-හාදද් තම මුළු හමුදාව රැස් කරගෙන සමාරිය වැටලුවේය.+ 25  මේ වැටලීම නිසා සමාරියේ දරුණු සාගතයක් ඇති විය.+ බූරුවෙකුගේ හිසක්+ රිදී ෂෙකෙල් අසූවකටත් පරෙවියන්ගේ අසූචි+ මිටවල් දෙකක්* රිදී ෂෙකෙල් පහකටත් විකිණෙන තරමටම බඩුවල මිල ඉහළ ගියේය. 26  දවසක් ඊශ්‍රායෙල්හි රජු නගරයේ පවුර ළඟින් ගමන් කරද්දී ස්ත්‍රියක් හඬ නඟමින්, “මගේ ස්වාමීනි, මගේ රජ්ජුරුවනි, අපිව බේරාගන්න”+ යයි කීවාය. 27  එවිට රජ මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබට උපකාර කරන්නේ නැත්නම් මම කොහොමද ඔබට උපකාර කරන්නේ?+ කමතෙන්වත් වයින් හෝ තෙල් යන්ත්‍රයෙන්වත් ඔබට දෙන්න දෙයක් මා ළඟ නැහැ.” 28  තවදුරටත් රජ ඇගෙන් මෙසේ ඇසුවේය. “ඔබට කුමක්ද සිදු වුණේ?” ඇය මෙසේ කීවාය. “එක ස්ත්‍රියක් මගේ පුතාව කෑමට ගන්න ඉල්ලුවා. ඊළඟ දවසේ ඇගේ පුතාව කන්න දෙන්නම් කියා ඇය මට කියා සිටියා.+ 29  ඉතින් මගේ පුතාව තම්බා+ අපි දෙන්නා කෑවා.+ නමුත් පසුවදා ඇගේ පුතාව කන්න මම ඉල්ලූ විට ඇය දරුවාව සඟවාගත්තා.” 30  රජුට මේ සිද්ධිය ගැන අසන්න ලැබුණු විට ඔහු තම පිට වස්ත්‍රය ඉරාගත්තේය.+ එවිට පවුර ළඟ සිටි ජනයා ඔහු තම වස්ත්‍රයට යටින් ගෝණි රෙදි පැළඳ සිටි බව දුටුවෝය. 31  තවදුරටත් රජ මෙසේ කීවේය. “අද මම ෂාපාත්ගේ පුත් එලිෂාගේ හිස කපා දැමුවේ නැත්නම් දෙවි මට දඬුවම් කළ යුතුයි!”+ 32  එලිෂා වැඩිමහල්ලන් සමඟ තමාගේ නිවසෙහි ඉඳගෙන සිටියදී+ රජ තමාට පෙරටුවෙන් එලිෂා වෙත පණිවිඩකරුවෙකු යැව්වේය. පණිවිඩකරු පැමිණීමටත් පෙර එලිෂා වැඩිමහල්ලන්ට මෙසේ කීවේය. “අර මිනී මරුවා*+ මගේ හිස ගසා දමන්න කෙනෙක්ව එවා තිබෙනවා. ඔහු ආ විගස දොර වසා ඔහුට ඇතුල් වෙන්න බැරි වන ලෙස දොරට හේත්තු වී සිටින්න. ඔහුට පිටුපසින් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දයත් මට ඇහෙනවා.”+ 33  එලිෂා ඔවුන් සමඟ කතා කරමින් සිටියදී පණිවිඩකරුවා ඔවුන් ළඟටම ආවේය. ඔහු සමඟ පැමිණි රජ මෙසේ කීවේය. “මේ විපත පැමිණියේ යෙහෝවා දෙවිගෙන්.+ ඒ නිසා යෙහෝවා දෙවි උපකාර කරයි කියා මම තවත් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ මොකටද?”+

පාදසටහන්

ලීටරයකින් තුනෙන් පංගුවක් පමණ.
මූ.අ., “මිනී මරුවාගේ පුත්‍රයා.”