2 ලේකම් 26:1-23

26  ඉන්පසු යූදාහි වැසියෝ+ අමෂියා වෙනුවට+ අවුරුදු දහසයක් වයසැති ඔහුගේ පුත් උසියාව+ රජකමට පත් කළෝය.+  අමෂියා රජුව තම මුතුන්මිත්තන් සමඟ තැන්පත් කළ පසු උසියා රජ ඒලොත් නුවර+ නැවත යූදා දේශයෙහි පාලනය යටතට ගෙන එය යළි ගොඩනැඟුවේය.+  උසියා+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු දහසයකි. ඔහු යෙරුසලමෙහි සිට අවුරුදු පනස්දෙකක් පාලනය කළේය. ඔහුගේ මව යෙරුසලමෙහි ජීවත් වූ යෙකොලියාය.+  ඔහුගේ පියා වූ අමෂියා මෙන්+ ඔහුද යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ දිගටම කළේය.+  සැබෑ දෙවිට ගරුබිය දැක්විය යුතු ආකාරය ගැන ඔහුට උපදෙස් දුන්+ සෙකරියා ජීවත්ව සිටි කාලය පුරා ඔහු දෙවිගේ මඟ පෙන්වීම් පැතීමට නිතර උත්සාහ කළේය.+ එසේ ඔහු සැබෑ දෙවි වූ යෙහෝවාට ළං වී ඔහුගේ මඟ පෙන්වීම් පැතූ කාලයේදී දෙවි ඔහුට ආශීර්වාද කළේය.+  උසියා රජ පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් කර+ ගාත්,+ යබ්නෙ+ සහ අෂ්දොද්+ යන නුවරවල පවුරු බිඳ දැමුවේය. ඉන්පසු ඔහු අෂ්දොද් අවට ප්‍රදේශයෙහි+ හා පිලිස්තිවරුන් ජීවත් වූ වෙනත් ස්ථානවල නුවරවල් ගොඩනැඟුවේය.  ඔහු පිලිස්තිවරුන්ටත් ගුර්බාල් නම් ප්‍රදේශයේ ජීවත් වූ අරාබි ජාතිකයන්ටත්+ මෙයූනිවරුන්ටත්+ විරුද්ධව කළ සටන්වලදී සැබෑ දෙවි ඔහුට උපකාර කළේය.+  අම්මොන්වරුද+ උසියාට කප්පම් ගෙවූහ.+ දවසින් දවස ඔහු තම බලය තහවුරු කරගත් ආකාරය ගැන ඊජිප්තුවේ පවා ප්‍රසිද්ධ විය.+  උසියා රජ යෙරුසලමේ පිහිටි කොනේ දොරටුව+ හා නිම්න දොරටුව+ අසලද නුවරේ බැම්ම අසලද මුරටැඹවල් ඉදි කර+ ඒවායේ ආරක්ෂාව තවත් වැඩි කළේය. 10  ඔහු පාළුකරයේ මුරටැඹවල් ඉදි කර+ වතුර රඳවා තබාගැනීමට බොහෝ පොකුණුද සෑදුවේය. (එයට හේතුව ඔහු සතුව සත්ව රැළවල් විශාල ප්‍රමාණයක් තිබීමය.) එමෙන්ම ඔහු ඒවා ෂෙපේලා නම් ප්‍රදේශයේ+ හා තැනිතලා බිම්වල සෑදුවේය. කෘෂිකර්මයට මහත් ඇල්මක් දැක්වූ ඔහු, කඳුකරයේ හා කර්මෙල් ප්‍රදේශයේ ගොවිතැන් කිරීමටත් මිදිවතු වැවීමටත් ජනයාව එහි පදිංචි කෙරෙව්වේය. 11  යුද්ධවලට සහභාගි වූ හමුදා බළඇණි+ විශාල ප්‍රමාණයක් උසියා රජු යටතේ සිටියෝය. ඔවුන්ව ලියාපදිංචි කරන ලද්දේ+ ලේකම් වූ+ යේයීයෙල් හා මයසේයා විසිනි. මයසේයා, රජු යටතේ අධිපතියෙකු ලෙස සේවය කළ+ හනනියාගේ අධීක්ෂණය යටතේ සිටි නිලධාරියෙකි.+ 12  මුතුන්මිත්තන්ගේ පෙළපත්වල ප්‍රධානීන්+ ලෙස කටයුතු කළ එඩිතර,+ බලසම්පන්න පුරුෂයෝ+ දෙදහස් හයසියයක් ඔවුන් අතර සිටියෝය. 13  ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ඉතා බලසම්පන්න යුධ හමුදාවක් සිටියහ. රජු වෙනුවෙන් සටන් කළ ඔවුන්ගේ මුළු සංඛ්‍යාව තුන්ලක්ෂ හත්දහස් පන්සියයකි.+ 14  උසියා රජ මුළු හමුදාවට හෙල්ල,+ පලිස්,+ හිස්වැසුම්,+ යුධ ඇඳුම්,+ දුනු+ සහ ගල්පටි+ සාදා දුන්නේය. 15  මීට අමතරව ඔහු ඉන්ජිනේරුවන් ලවා ඊතල හා විශාල ගල් විදීමට හැකි යුධ යන්ත්‍ර සාදා ඒවා යෙරුසලමෙහි මුරටැඹවල+ හා පවුරු කොන්වල තැබීය. මෙසේ ඔහුගේ බලය තහවුරු කරගැනීමට දෙවි ඔහුට සෑම අතින්ම උපකාර කළ නිසා ඔහුගේ කීර්තිය+ දසත පැතිර ගියේය. 16  නමුත් ඔහු බලවත් පාලකයෙකු වූ විට උඩඟු ලෙස ක්‍රියා කළේය.+ කොතරම් උඩඟු වූවාද+ කිවහොත් ඔහු තම දෙවි වන යෙහෝවාට විරුද්ධවද ක්‍රියා කළේය. ඔහු සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය මත සුගන්ධ ද්‍රව්‍ය දැවීම සඳහා යෙහෝවා දෙවිගේ මාලිගාවට ඇතුල් වීමට තරම් එඩිතර විය.+ 17  ඔහු එසේ ඇතුල් වූ වහාම පූජක අෂරියා හා එඩිතර පුරුෂයන් වූ යෙහෝවා දෙවිගේ පූජකයෝ අසූදෙනෙක් ඔහු සිටි ස්ථානයට ගියෝය. 18  ඔවුහු උසියා රජුට විරෝධය පාමින්+ මෙසේ පැවසූහ. “රජ්ජුරුවනි, මොකක්ද ඔබ මේ කළේ? යෙහෝවා දෙවිට සුවඳ ද්‍රව්‍ය ඔප්පු කිරීම ඔබේ වගකීමක් නෙමෙයි.+ ඒක පූජකයන් වන ආරොන්ගේ පුත්‍රයන්ට විතරක් පැවරී තිබෙන වගකීමක්.+ දැන් කරුණාකර ශුද්ධස්ථානයෙන් පිට වී යන්න. ඔබ ක්‍රියා කර තිබෙන්නේ දෙවිට විරුද්ධවයි. ඔබ කළ ඒ දේට යෙහෝවා දෙවිගෙන් කිසි පිළිගැනීමක්* ලැබෙන්නේ නැහැ.”+ 19  සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන භාජනය අතැතිව+ සිටි උසියා රජ එය අසා මහත් සේ කෝප විය.+ එවිට පූජකයන් සියලුදෙනා ඉදිරිපිටම ඔහුගේ නළලේ ලාදුරු රෝගය හටගත්තේය.+ ඒ අවස්ථාවේදී ඔහු සිටියේ යෙහෝවා දෙවිගේ ගෘහයේ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය අසලය. 20  නායක පූජක අෂරියා සහ සෙසු පූජකයෝ ඔහු දෙස බැලූ විට ඔහුගේ නළලේ ලාදුරු රෝගය හටගෙන තිබූ බව දුටුවෝය.+ එවිට ඔවුහු කලබල වී, ඔහුව එතැනින් වහාම පිටතට ගෙන යෑමට පියවර ගත්තෝය. යෙහෝවා දෙවි තමාට දඬුවම් කර ඇති බව තේරුම්ගත් රජද+ ඉක්මනින් ඒ ස්ථානයෙන් පිටත්ව ගියේය. 21  යෙහෝවා දෙවිගේ ගෘහයෙන් පිටමං කරනු ලැබූ උසියා රජ,+ මිය යන තෙක්ම ලාදුරු රෝගියෙකුව සිටියේය.+ ඔහුට පැවරී තිබූ වගකීම්වලින් ඔහුව නිදහස් කළ අතර ඔහු වෙනම නිවසක ජීවත් විය. ඒ අතරතුර රජමාලිගාවේ සියලු වැඩකටයුතු බලා කියා ගනිමින් දේශය පාලනය කළේ ඔහුගේ පුත් යෝතම්ය. 22  උසියා රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් සියල්ල+ ආමොෂ්ගේ පුත්+ අනාගතවක්තෘ යෙසායා+ විසින් ලියනු ලැබුවේය. 23  කල් යත්ම උසියා රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි. නමුත් සියල්ලෝම, “ඔහු ලාදුරු රෝගියෙක්” කියා පවසමින් රජවරුන්ව තැන්පත් කරන ස්ථානයේ නොව වෙනත් ස්ථානයක ඔහුව තැන්පත් කළෝය.+ ඔහු වෙනුවට ඔහුගේ පුත් යෝතම්+ රජකමට පත් විය.

පාදසටහන්

මූ.අ., “ගෞරවයක්.”