Skip to content

පටුනට යන්න

A4

හෙබ්‍රෙව් ලියවිල්ලේ දෙවියන්ගේ නම

බැබිලෝනියට වහලුන් විදිහට යන්න කලින් පාවිච්චි කරපු හෙබ්‍රෙව් භාෂාවෙන් දෙවියන්ගේ නම ලියලා තියෙන විදිහ

බැබිලෝනියෙන් නිදහස් වුණාට පස්සේ පාවිච්චි කරපු හෙබ්‍රෙව් භාෂාවෙන් දෙවියන්ගේ නම ලියලා තියෙන විදිහ

හෙබ්‍රෙව් ලියවිලිවල יהוה කියන ව්‍යාංජනාක්ෂර හතර 7,000කට ආසන්න ගාණක් තියෙනවා. ඒකෙන් පෙන්නන්නේ දෙවියන්ගේ නම. මේ පරිවර්තනයේ ඒ අකුරු හතර තියෙන තැන්වල “යෙහෝවා” කියන නම ලියලා තියෙනවා. බයිබලයේ වැඩියෙන්ම සඳහන් වෙන නම ඒකයි. බයිබලය ලියපු අය දෙවියන්ව “සියලු බලැති,” “උසස්ම දෙවියන්” සහ “ස්වාමීන්” වගේ යෙදුම්වලින් හඳුන්වලා තිබුණත් දෙවියන්ව නමින් හඳුන්වද්දී පාවිච්චි කරලා තියෙන්නේ ඒ අකුරු හතර විතරයි.

තමන්ගේ නම බයිබලයට ඇතුළත් කරන්න කියලා ඒක ලියපු අයට මඟ පෙන්නුවේ යෙහෝවා දෙවියන්මයි. උදාහරණෙකට අනාගතවක්තෘ යෝවෙල්ට මෙහෙම ලියන්න ඔහු මඟ පෙන්නුවා. “යෙහෝවාගේ නම කියලා යාච්ඤා කරන හැමෝවම ඔහු ගලවගන්නවා.” (යෝවෙල් 2:32) ගීතිකාකරුවෙක් දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් මෙහෙම ලිව්වා. “ඔබේ නම යෙහෝවා කියලත් මුළු පොළොවටම ඉන්න උසස්ම දෙවියන් ඔබ විතරයි කියලත් හැමෝටම දැනගන්න සලස්වන්න.” (ගීතාවලිය 83:18) දෙවියන්ගේ සෙනඟ ගීතිකා විදිහට ගායනා කරන්න පාවිච්චි කරපු ගීතාවලිය පොතේ විතරක් යෙහෝවා කියන දෙවියන්ගේ නම 700 සැරයක් විතර සඳහන් වෙලා තියෙනවා. එහෙමනම් ගොඩක් බයිබල් පරිවර්තනවල දෙවියන්ගේ නම නැත්තේ ඇයි? මේ පරිවර්තනයේ ඒ නම “යෙහෝවා” කියලා ලියලා තියෙන්නේ ඇයි? යෙහෝවා කියන නමේ තේරුම මොකක්ද?

මළ මුහුද ළඟින් හොයාගත්ත අත්පිටපත් අතර තිබුණ ගීතාවලිය පොතේ මේ කොටස ක්‍රි.ව. පළවෙනි සියවසේ මුල් කාලෙට අයිති එකක්. ඒකේ තියෙන්නේ බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවාට පස්සේ පාවිච්චි කරපු හෙබ්‍රෙව් අකුරු වුණත් ඒකේ දෙවියන්ගේ නම තියෙන හෙබ්‍රෙව් අකුරු හතර ගොඩක් තැන්වල තියෙනවා. ඒක තියෙන්නේ පරණ හෙබ්‍රෙව් අකුරුවලින්

ගොඩක් බයිබල් පරිවර්තනවල දෙවියන්ගේ නම නැත්තේ ඇයි? ඒකට හේතු ගොඩක් තියෙනවා. සමහරු හිතනවා සියලු බලැති දෙවියන්ව හඳුන්වන්න විශේෂ නමක් ඕනෙ නැහැ කියලා. තවත් අය ඒ නම පාවිච්චි කරන්නේ නැත්තේ යුදෙව් සම්ප්‍රදායේ බලපෑම නිසයි. එයාලා හිතනවා දෙවියන්ගේ නම පාවිච්චි කරන එක දෙවියන්ට කරන අගෞරවයක් කියලා. තවත් සමහරු හිතන්නේ දෙවියන්ගේ නම කියන විදිහ කවුරුත් හරියටම දන්නේ නැති නිසා “ස්වාමීන්,” “දෙවියන්” වගේ යෙදුම් පාවිච්චි කරන එක වඩා හොඳයි කියලා. ඒත් ඒ අදහස්වලට කිසිම පදනමක් නැහැ කියලා මේ හේතුවලින් තේරෙනවා.

  • සියලු බලැති දෙවියන්ට විශේෂ නමක් ඕනෙ නැහැ කියලා වාද කරන අය වැදගත් කාරණයක් අමතක කරනවා. ඒ තමයි ක්‍රිස්තුස්ගේ කාලෙටත් කලින් පිටපත් කරලා තිබුණ ලියවිලි ඇතුළුව දේවවචනයේ මුල් අත්පිටපත්වල දෙවියන්ගේ නම තිබුණා කියන දේ. කලින් කිව්ව විදිහට දේවවචනයට තමන්ගේ නම 7,000කට ආසන්න වතාවක් ඇතුළත් කරන්න දෙවියන් ඒක ලියපු අයට මඟ පෙන්නුවා. ඒකෙන් තේරෙනවා අපි ඔහුගේ නම දැනගෙන, ඒක පාවිච්චි කරනවා දකින්න දෙවියන් කැමතියි කියලා.

  • යුදෙව් සම්ප්‍රදායට ගරු කරලා දෙවියන්ගේ නම අයින් කරන පරිවර්තකයන් හරිම වැදගත් කාරණයක් අමතක කරනවා. ඒ තමයි යුදෙව් පිටපත්කරුවන්ගෙන් සමහරදෙනෙක් දෙවියන්ගේ නම කියන්න අකමැති වුණාට එයාලා බයිබලය පිටපත් කරද්දී ඒකෙන් දෙවියන්ගේ නම අයින් කළේ නැහැ කියන දේ. මළ මුහුදට කිට්ටුවෙන් තියෙන කුම්රාන් ප්‍රදේශයෙන් හොයාගත්ත පරණ අත්පිටපත්වල දෙවියන්ගේ නම ගොඩක් තැන්වල තියෙන එකෙන් ඒක පැහැදිලියි. සමහර පරිවර්තකයන් මුල් පිටපත්වල දෙවියන්ගේ නම තියෙන තැන් මේවායි කියලා අඟවන්න ඒ තැන්වල “ස්වාමීන්” කියන යෙදුම තද කලු අකුරෙන් දාලා තියෙනවා. ඒත් ප්‍රශ්නේ තමයි බයිබලයේ තැන් දහස් ගාණක දෙවියන්ගේ නම තියෙනවා කියලා හොඳටම දැනදැනත් ඒ නම අයින් කරන්න එහෙම නැත්නම් ඒක වෙනුවට වෙන යෙදුමක් දාන්න තරම් මේ පරිවර්තකයන් නිර්භීත වුණේ කොහොමද කියන එක. ඒ වගේ වෙනසක් කරන්න එයාලට අධිකාරිය දුන්නේ කවුද? ඒකට උත්තර දෙන්න පුළුවන් එයාලටම තමයි.

  • දෙවියන්ගේ නම කියන විදිහ හරියටම දන්නේ නැති නිසා ඒක පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා කියන අය කිසි ප්‍රශ්නයක් නැතුව යේසුස් කියන නම පාවිච්චි කරනවා. ඒත් පළවෙනි සියවසේ හිටපු යේසුස්ගේ අනුගාමිකයන් ඔහුගේ නම කියපු විදිහ අද ඉන්න ක්‍රිස්තියානීන් ඒ නම කියන විදිහට වඩා වෙනස්. යුදෙව් ක්‍රිස්තියානීන් ගොඩක් දුරට ඒ නම කියන්න ඇත්තේ “යෙෂුවා” කියලයි. “ක්‍රිස්තුස්” කියන යෙදුම කිව්වේ “මෂියා” නැත්නම් “මෙසියස්” කියලයි. ග්‍රීක භාෂාව කතා කරපු ක්‍රිස්තියානීන් ඔහුට කිව්වේ “ඊසොස් ක්‍රිස්ටොස්” කියලයි. ලතින් භාෂාව කතා කරපු අය කිව්වේ “ඊසස් ක්‍රිස්ටුස්” කියලා. ඔහුගේ නම ග්‍රීක භාෂාවට පරිවර්තනය කරලා බයිබලයට ඇතුළත් කරන්න දෙවියන් මඟ පෙන්නුවා. ඒකෙන් පැහැදිලියි මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් ඒ නම කිව්වේ එයාලාගේ භාෂාවෙන් එයාලට හුරු විදිහට කියලා. ඉතින් ඉස්සර කාලේ පාවිච්චි කරපු හෙබ්‍රෙව් භාෂාවට අනුව දෙවියන්ගේ නම කියන්නේ “යෙහෝවා” කියලමයි කියලා හරියට දන්නේ නැති වුණත් ඒක ඒ විදිහට කියන එකේ වරදක් නැහැ කියලා නව ලොව බයිබල් පරිවර්තන කමිටුවට හැඟෙනවා.

‘නව ලොව පරිවර්තනයේ’ “යෙහෝවා” කියන නම පාවිච්චි කරලා තියෙන්නේ ඇයි? දෙවියන්ගේ නම නියෝජනය කරන හෙබ්‍රෙව් ව්‍යාංජනාක්ෂර හතර (יהוה) සිංහලෙන් ලියන්නේ “ය්හ්ව්හ්” විදිහටයි. ඉස්සර කාලේ තිබුණ හෙබ්‍රෙව් භාෂාව ලිව්වේ ස්වර අක්ෂර නැතුව. ඉතින් දෙවියන්ගේ නම නියෝජනය කරන අකුර හතර ලියලා තියෙන්නෙත් ස්වර අක්ෂර නැතුවයි. ඒ කාලේ හිටපු කෙනෙක් හෙබ්‍රෙව් භාෂාවෙන් දෙයක් කියවද්දී එයා තැනට ගැළපෙන ස්වර අක්ෂර දාලා තමයි ඒක කියෙව්වේ.

හෙබ්‍රෙව් ලියවිල්ල සම්පූර්ණයෙන්ම ලියලා අවුරුදු දාහකට විතර පස්සේ යුදෙව් විශාරදයන් හෙබ්‍රෙව් වචන කියවන්න පුළුවන් තවත් ක්‍රමයක් හොයාගත්තා. ඒ තමයි වචනයක් කියවද්දී ඒක ශබ්ද කරන්න ඕනෙ කොහොමද කියලා පෙන්නන ලකුණු වචනවලට දාන එක. ඒ ලකුණුවලින් ස්වර අක්ෂරය අඳුරගන්න පුළුවන්. ඒත් ඒ කාලේ වෙද්දී දෙවියන්ගේ නම ශබ්ද නඟලා කියන එක සුදුසු නැහැ කියලා ගොඩක් යුදෙව්වන් අතර වැරදි මතයක් තිබුණා. ඒ නිසා එයාලා දෙවියන්ගේ නම වෙනුවට වෙන වෙන යෙදුම් පාවිච්චි කළා. ඉතින් එයාලා දෙවියන්ගේ නම නියෝජනය කරපු හෙබ්‍රෙව් අකුරු හතර පිටපත් කරද්දී ඒවා ළඟින් දැම්මේ එයාලා පාවිච්චි කරපු යෙදුම් ළඟින් දාන ස්වර අක්ෂරවල ලකුණු. ඒ නිසා ඒ අත්පිටපත්වල ස්වර අක්ෂර පෙන්නන ලකුණු තිබුණත් දෙවියන්ගේ නම හරියටම කියන්නේ කොහොමද කියලා දැනගන්න බැහැ. සමහරු කියන්නේ ඒක ශබ්ද කළේ “යාහ්වේ” කියලා. තවත් අයට ඒක කියන විදිහ ගැන වෙනත් මත තියෙනවා. මළ මුහුද ළඟින් හොයාගත්ත අත්පිටපත්වල ග්‍රීක භාෂාවට පරිවර්තනය කරපු ලෙවී කතාව පොතේ කොටසක් තියෙනවා. ඒකේ දෙවියන්ගේ නම ශබ්ද කරලා තියෙන්නේ “යාඕ” කියලා. ඒ කාලේ හිටපු තවත් ග්‍රීක ලේඛකයන් ඒක “යාඑ,” “යාබෙ” සහ “යායූවෙ” විදිහටත් ශබ්ද කරන්න පුළුවන් කියලා කියනවා. ඒත් ශබ්ද කරන්න ඕනෙ හරිම විදිහ මේක තමයි කියලා කියන්න කාටවත් බැහැ. ඇත්තටම ඒ කාලේ හිටපු දෙවියන්ගේ සේවකයන් ඒ නම හෙබ්‍රෙව් භාෂාවෙන් කිව්වේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. (උත්පත්ති 13:4; නික්මයාම 3:15) ඒත් දෙවියන් ඔහුගේ සෙනඟට ඔහුගේ නම ආයේ ආයේ කිව්වා කියලත් දෙවියන්ගේ සෙනඟ ඒ නමින් දෙවියන්ට කතා කළා කියලත් එයාලා සාමාන්‍යයෙන් කතා කරද්දී ඒ නම පාවිච්චි කළා කියලත් අපි දන්නවා.—නික්මයාම 6:2; 1 රාජාවලිය 8:23; ගීතාවලිය 99:9.

එහෙමනම් මේ පරිවර්තනයේ ඒ නම “යෙහෝවා” කියලා ලියලා තියෙන්නේ ඇයි? මොකද ගොඩක් භාෂාවල දෙවියන්ගේ නම ශබ්ද කරන්නේ ඒ විදිහටයි කියලා කාලයක් තිස්සේ පිළි අරන් තියෙනවා.

1530දී විලියම් ටින්ඩේල් කරපු පරිවර්තනයේ උත්පත්ති 15:2 දෙවියන්ගේ නම දකින්න තියෙන විදිහ

1530දී විලියම් ටින්ඩේල් බයිබලයේ මුල් පොත් පහ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා. ඒකේ තමයි දෙවියන්ගේ නම ඉංග්‍රීසි භාෂාවෙන් බයිබලයක මුලින්ම දකින්න ලැබුණේ. ඒකේ දෙවියන්ගේ නම ලියලා තිබුණේ “යහූවා” කියලයි. කාලයත් එක්කම ඉංග්‍රීසි භාෂාව වෙනස් වෙද්දී දෙවියන්ගේ නම ශබ්ද කරන විදිහත් වෙනස් වුණා. උදාහරණෙකට 1612දී ගීතාවලිය පොත ඉංග්‍රීසියට පරිවර්තනය කරපු හෙන්රි ඒන්ස්වත් දෙවියන්ගේ නම ඒකේ ලියලා තිබුණේ “යහෝවා” කියලා. 1639දී ඒ පොතයි, බයිබලයේ මුල් පොත් පහයි සංශෝධනය කරලා මුද්‍රණය කරද්දී ඒකේ තිබුණේ “ජෙහෝවා” කියලා. 1901දී මුදාහැරපු ‘ඇමරිකන් ස්ටෑන්ඩඩ් වර්ෂන්’ බයිබලයේ හෙබ්‍රෙව් ලියවිලිවල දෙවියන්ගේ නම ලියලා තිබුණේ “ජෙහෝවා” විදිහටයි.

ප්‍රසිද්ධ බයිබල් විශාරදයෙක් වුණ ජේ. බී. රොදහම් එයාගේ පරිවර්තනයේ දෙවියන්ගේ නම “යාහ්වේ” වෙනුවට “ජෙහෝවා” කියලයි ලියලා තියෙන්නේ. ගීතාවලිය පොත ගැන අධ්‍යයනයක් කරලා 1911දී එයා මුදාහැරපු පොතක (Studies in the Psalms) ඒකට හේතුව එයා මෙහෙම පැහැදිලි කරලා තියෙනවා. “මට ඕනෙ වුණේ බයිබලය කියවන අයට සීයට සීයක් පිළිගන්න පුළුවන්, එයාලට හුරු විදිහට නම ලියන්නයි.” බයිබල් විශාරදයෙක් වුණ ඒ. එෆ්. කර්ක්පැට්‍රික් 1930දී මේ වගේ දෙයක් කිව්වා. “අද ඉන්න ව්‍යාකරණවේදීන් වාද කරන්නේ ඒ නම ‘යාහ්වේ’ නැත්නම් ‘යාහවේ’ වෙන්න ඕනෙ කියලයි. ඒත් කාලයක් තිස්සේ ඉංග්‍රීසි භාෂාවේ ඒක ජෙහෝවා විදිහට ශබ්ද කරලා තියෙන නිසා ඒක ලියන්න සුදුසුම විදිහ ඒකයි කියලා පිළිගන්න පුළුවන්. වැදගත්ම දේ ඒක ශබ්ද කරන විදිහ නෙමෙයි ඒක දෙවියන්ගේ නම කියලා පිළිගන්න එකයි. මොකද ඒක ‘ස්වාමීන්’ වගේ නිකම්ම යෙදුමක් නෙමෙයි.”

හෙබ්‍රෙව් අකුරු හතර, ය්හ්ව්හ්: “තමන් අරමුණු කරන දේ අනිවාර්යයෙන්ම ඉටු කරන කෙනා”

නම හැදිලා තියෙන ක්‍රියා පදය, හ්ව්හ්

යෙහෝවා කියන නමේ තේරුම මොකක්ද? යෙහෝවා කියන නම හැදිලා තියෙන්නේ හෙබ්‍රෙව් ක්‍රියා පදයකින්. බයිබල් විශාරදයන් කීපදෙනෙක්ම කියන්නේ ඒ ක්‍රියා පදය තියෙන්නේ ප්‍රයෝජ්‍ය ක්‍රියා පදයක් විදිහට කියලයි. නව ලොව බයිබල් පරිවර්තන කමිටුව තේරුම් අරන් තියෙන විදිහට දෙවියන්ගේ නමේ තේරුම “තමන් අරමුණු කරන දේ අනිවාර්යයෙන්ම ඉටු කරන කෙනා” කියන එකයි. බයිබල් විශාරදයන්ට ඒ නමේ තේරුම ගැන එක එක මත තියෙන නිසා දෙවියන්ගේ නමේ තේරුම ඒකමයි කියලා අපිට කියන්න බැහැ. ඒත් ඒ තේරුම හැම දේකම නිර්මාතෘ සහ තමන් කරන්න අදහස් කරන ඕනෙම දෙයක් ඒ විදිහටම ඉටු කරන යෙහෝවාට හොඳටම ගැළපෙනවා. ඔහු මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම සහ හැම කෙනෙක්වම නිර්මාණය කළා විතරක් නෙමෙයි තමන් අරමුණු කරන දේ අනිවාර්යයෙන්ම ඉටු කරනවා.

යෙහෝවා කියන නමේ තේරුම නික්මයාම 3:14 තියෙන දේට විතරක් සීමා වෙන්නේ නැහැ. එතන කියන්නේ “මං අදහස් කරන දේ කරන්න මං ඕනෙම තත්වයකදී අවශ්‍ය ඕනෙම දෙයක් කරනවා“ එහෙම නැත්නම් “තමන් කැමති දේ ඉටු කරන්න පුළුවන් එකම තැනැත්තා මමයි කියලා මමම ඔප්පු කරලා පෙන්නනවා” කියලා. ඒත් ඒ වචනවලින් දෙවියන්ගේ නමේ තේරුම සම්පූර්ණයෙන්ම විස්තර කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒ වචනවලින් විස්තර කරන්නේ දෙවියන්ගේ පෞද්ගලිකත්වයේ එක පැත්තක් විතරයි. ඒ තමයි ඕනෙම අවස්ථාවකදී ඔහු අරමුණු කරන දේ ඉටු කරන්න ඕනෙම තත්වයකට පත් වෙන්න ඔහුට පුළුවන් කියන දේ. ඇත්ත, යෙහෝවා කියන නමට ඒ තේරුම ඇතුළත් වෙනවා. හැබැයි තේරුම ඒකට විතරක් සීමා වෙන්නේ නැහැ. ඔහු අරමුණු කරන දේ ඉටු කරන්න ඔහුගේ නිර්මාණ වුණත් යොදාගන්න ඔහුට පුළුවන් කියන අදහසත් ඒ නමේ තේරුමට ඇතුළත් වෙනවා.