Skip to content

පටුනට යන්න

A5

ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ දෙවියන්ගේ නම

දෙවියන්ගේ නම නියෝජනය කරන අකුරු හතර (יהוה) හෙබ්‍රෙව් ලියවිලිවල 7,000කට ආසන්න ගාණක් තියෙනවා කියලා බයිබල් විශාරදයන් පිළිගන්නවා. ඒත් හුඟදෙනෙක් හිතන්නේ මුල් ක්‍රිස්තියානි ග්‍රීක පිටපත්වල ඒක දකින්න නැහැ කියලා. ඒ නිසා මෑත කාලවල කරලා තියෙන බයිබල් පරිවර්තනවල අලුත් ගිවිසුම විදිහට හඳුන්වන කොටසේ යෙහෝවා කියන නම පාවිච්චි කරලා නැහැ. හෙබ්‍රෙව් ලියවිල්ලෙන් උපුටලා දක්වන කොටස්වල දෙවියන්ගේ නම නියෝජනය කරන අකුරු හතර තිබුණත් පරිවර්තකයන් ඒ තැන්වලත් පාවිච්චි කරලා තියෙන්නේ “ස්වාමීන්” කියන යෙදුම.

හැබැයි ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ කරපු අය එහෙම කරලා නැහැ. ඒ පරිවර්තනයේ ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ දෙවියන්ගේ නම 237 වතාවක් දකින්න තියෙනවා. එහෙම කරන්න පරිවර්තකයන් තීරණය කළේ මේ හේතු දෙක සැලකිල්ලට අරගෙනයි. (1) ග්‍රීක ලියවිල්ලේ මේ වෙද්දී හොයාගෙන තියෙන අත්පිටපත් මුල් ඒවා නෙමෙයි. අත්පිටපත් මේ වෙද්දී දහස් ගාණක් හොයාගෙන තිබුණත් ඒවා පිටපත් කරලා තියෙන්නේ මුල් පිටපත් හදලා අඩුම ගාණේ අවුරුදු 200කටවත් පස්සේ. (2) ඒ කාලේ වෙද්දී අත්පිටපත් හදපු අය දෙවියන්ගේ නම නියෝජනය කරන අකුරු හතර වෙනුවට ග්‍රීක භාෂාවෙන් කිරියොස් ඒ කියන්නේ “ස්වාමීන්” කියන යෙදුම දාන්න පටන් අරන් තිබුණා. එහෙම නැත්නම් එයාලා පිටපත් හැදුවේ ඒ වෙද්දීත් ඒ වෙනස්කම කරපු අත්පිටපත්වලිනුයි.

මුල් ග්‍රීක අත්පිටපත්වල දෙවියන්ගේ නම නියෝජනය කරන හෙබ්‍රෙව් අකුරු හතර තිබුණා කියලා කියන්න පැහැදිලි සාක්ෂි තියෙනවා කියලා නව ලොව බයිබල් පරිවර්තන කමිටුව තේරුම්ගත්තා. ඒකට උදව් වුණ සාක්ෂි තමයි මේ.

  • යේසුස්ගේ කාලේදී සහ ඔහුගේ නියෝජිතයන්ගේ කාලේදී පාවිච්චි කරපු හෙබ්‍රෙව් ලියවිල්ලේ අත්පිටපත්වල දෙවියන්ගේ නම නියෝජනය කරපු අකුරු හතර තිබුණා. කාලයක් යන කල් සමහරු ඒක පිළිගත්තේ නැහැ. ඒත් පළවෙනි සියවසට අයිති හෙබ්‍රෙව් ලියවිලිවල අත්පිටපත් කුම්රාන් ප්‍රදේශයට කිට්ටුවෙන් හොයාගත්තාට පස්සේ ඒ කාරණය ඇත්තක් කියලා පැහැදිලිවම ඔප්පු වුණා.

  • යේසුස්ගේ කාලේ සහ ඔහුගේ නියෝජිතයන්ගේ කාලේ වෙද්දී ග්‍රීක භාෂාවට පරිවර්තනය කරපු හෙබ්‍රෙව් ලියවිලිවල අත්පිටපත් තිබුණා. ඒවාවලත් දෙවියන්ගේ නම නියෝජනය කරන හෙබ්‍රෙව් අකුරු හතර තිබුණා. සියවස් ගාණක් යන කල් බයිබල් විශාරදයන් හිතුවේ ‘සෙප්ටුඅජින්ට්’ පරිවර්තනයේ අත්පිටපත්වල දෙවියන්ගේ නම නැහැ කියලයි. ‘සෙප්ටුඅජින්ට්’ පරිවර්තනය කියන්නේ හෙබ්‍රෙව් ලියවිලිවල ග්‍රීක පරිවර්තනයටයි. ඒත් 20වෙනි සියවසේ මැද හරියේදී යේසුස්ගේ කාලේ පාවිච්චි කරපු ග්‍රීක ‘සෙප්ටුඅජින්ට්’ පරිවර්තනයේ අත්පිටපත්වල කොටස් ටිකක් හොයාගත්තා. ඒ කොටස්වල දෙවියන්ගේ නම හෙබ්‍රෙව් අකුරුවලින් ලියලා තියෙනවා. යේසුස්ගේ කාලේදී ග්‍රීක භාෂාවෙන් තිබුණ අත්පිටපත්වල දෙවියන්ගේ නම තිබුණා කියලා ඒකෙන් පැහැදිලියි. කොහොමවුණත් ක්‍රි.ව. හතරවෙනි සියවසේ පාවිච්චි කරපු ග්‍රීක ‘සෙප්ටුඅජින්ට්’ පරිවර්තනයේ ප්‍රධාන අත්පිටපත්වල උත්පත්ති ඉඳන් මලාකි වෙන කල් පොත්වල දෙවියන්ගේ නම තිබුණේ නැහැ. කෝඩෙක්ස් වැටිකනස් සහ කෝඩෙක්ස් සයිනයිටිකස් කියන අත්පිටපතුත් ඒවාට ඇතුළත් (ඒත් ඊට කලින් තිබුණ අත්පිටපත්වල ඒ නම තිබුණා). ඉතින් ඒ කාලෙට පස්සේ කාලේ ඉඳන් ආරක්ෂා වුණ ලියවිලිවල අලුත් ගිවිසුම කියලා හඳුන්වන කොටසේ දෙවියන්ගේ නම දකින්න නැති එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ.

    යේසුස් මෙහෙම කිව්වා. ‘මං මගේ පියාණන්ගේ නම නියෝජනය කරන්න ඇවිත් ඉන්නවා.’ ඔහු කරපු දේවල් ඔහු කළේ ඔහුගේ “පියාණන්ගේ නාමයෙන්” කියලත් ඔහු කිව්වා

  • යේසුස් නිතරම දෙවියන්ගේ නම ගැන කතා කළා කියලත් ඒක අනිත් අයට කිව්වා කියලත් ග්‍රීක ලියවිලිවලම තියෙනවා. (යොහන් 17:6, 11, 12, 26) යේසුස් මෙහෙම කිව්වා. ‘මං මගේ පියාණන්ගේ නම නියෝජනය කරන්න ඇවිත් ඉන්නවා.’ ඔහු කරපු දේවල් ඔහු කළේ ඔහුගේ “පියාණන්ගේ නාමයෙන්” කියලත් ඔහු කිව්වා.—යොහන් 5:43; 10:25.

  • ශුද්ධයි කියලා සලකපු හෙබ්‍රෙව් ලියවිල්ලට ග්‍රීක ලියවිලිත් එකතු කරන්න මඟ පෙන්නුවේ දෙවියන්මයි. ඉතින් ඒ ලියවිල්ලෙන් එකපාරටම දෙවියන්ගේ නම නැති වෙන්න බැහැ. පළවෙනි සියවසේ මැද හරියේදී යෙරුසලමේ හිටපු වැඩිමහල්ලන්ට යාකොබ් මෙහෙම කිව්වා. “මුල්ම වතාවට වෙනත් ජාතීන්වල අයව දෙවියන් තෝරගත්ත විදිහ ගැන සිමියොන් අපිට හොඳින් පැහැදිලි කළා. දෙවියන් එහෙම කළේ එයාලා අතරිනුත් ඔහුගේ නම දරන්න සෙනඟක්ව තෝරගන්නයි.” (ක්‍රියා 15:14) පළවෙනි සියවසේ හිටපු කිසිම කෙනෙක් දෙවියන්ගේ නම දැනගෙන හිටියෙවත් ඒක පාවිච්චි කළේවත් නැත්නම් යාකොබ් ඒ වගේ දෙයක් කියයි කියලා හිතන්න බැහැ.

  • ග්‍රීක ලියවිලිවල දෙවියන්ගේ නම කෙටි කරලා දාලා තියෙනවා. එළිදරව් 19:1, 3, 4, 6 කියන පදවල “හලෙලූයා” කියන වචනය ඇතුළේ දෙවියන්ගේ නම තියෙනවා. හලෙලූයා කියන හෙබ්‍රෙව් වචනේ තේරුම “යාහ්ට ප්‍රශංසා කරන්න” කියන එකයි. “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්. ග්‍රීක ලියවිලිවල තියෙන ගොඩක් නම් හැදිලා තියෙන්නේ දෙවියන්ගේ නම ඇතුළත් කරලයි. යේසුස් කියන නමේ තේරුමත් “යෙහෝවා දෙන ගැලවීම” කියලා විවිධ පොත්වල සඳහන් වෙලා තියෙනවා.

  • යුදෙව් ක්‍රිස්තියානීන් එයාලා ලියපු දේවල්වල දෙවියන්ගේ නම පාවිච්චි කළා කියලා අතීතයේ ලියපු යුදෙව් පොත් පත්වලින් ඔප්පු වෙනවා. සබත් දවසේදී පුච්චපු, ක්‍රිස්තියානීන්ගේ පොත් පත් ගැන ක්‍රි.ව. 300දී විතර සම්පූර්ණ කරපු යුදෙව් නීති පොතක මෙහෙම දෙයක් කියනවා. “ශුභාරංචිය ප්‍රකාශ කරන අයගේ පොතුයි, මිනිම්වරුන්ගේ පොතුයි [යුදෙව් ක්‍රිස්තියානීන් වෙන්න ඇති] එයාලා පිච්චිලා යන්න ඉඩහරිනවා. ඒවා පිච්චෙද්දී ඒ පොත්වල සඳහන් වෙලා තියෙන දෙවියන්ගේ නමත් ඒවා එක්කම පිච්චිලා යනවා.” ක්‍රි.ව. දෙවෙනි සියවසේ මුල් කාලේ හිටපු රබ්බිවරයෙක් වුණ, ගලීලයෙන් ආපු යෝසේ කියපු දෙයකුත් ඒ පොතේ සඳහන් වෙනවා. “සාමාන්‍යයෙන් සතියේ වෙනත් දවස්වල පොත් පත් (මේ කතා කරන්නේ ක්‍රිස්තියානීන් ලියපු පොත් පත් ගැන) පුච්චද්දී එයාලා දෙවියන්ගේ නම තියෙන තැන් කපලා වෙනම තියනවා. අනිත් හරිය පුච්චලා දානවා.”—The Tosefta.

  • හෙබ්‍රෙව් ලියවිල්ලෙන් උපුටලා අරන් ග්‍රීක ලියවිල්ලට ඇතුළත් කරලා තියෙන කොටස්වල දෙවියන්ගේ නම තියෙනවා කියලා සමහර බයිබල් විශාරදයන් පිළිගන්නවා. බයිබල් විශ්වකෝෂයක “අලුත් ගිවිසුමේ දෙවියන්ගේ නම නියෝජනය කරන අකුරු හතර” කියන මාතෘකාව යටතේ මෙහෙම දෙයක් තියෙනවා. “අලුත් ගිවිසුමේ පොත් මුලින් ලියද්දී පැරණි ගිවිසුමෙන් උපුටලා ගත්ත සමහර කොටස්වල නැත්නම් හැම කොටසකම වගේ ‘යාහ්වේ’ කියන දෙවියන්ගේ නම නියෝජනය කරන අකුරු හතර තිබුණා කියලා කියන්න සාක්ෂි තියෙනවා.” (The Anchor Bible Dictionary) විශාරදයෙක් වුණ ජෝර්ජ් හාවර්ඩ් මෙහෙම කියනවා. “මුල් කාලේ සභාවේ පාවිච්චි කරපු ග්‍රීක බයිබලයේ [‘සෙප්ටුඅජින්ට්’] පිටපත්වල දෙවියන්ගේ නම නියෝජනය කරන අකුරු හතර තිබුණ නිසා අලුත් ගිවිසුම ලියපු අය හෙබ්‍රෙව් ලියවිලිවලින් උපුටලා ගද්දී ඒ අකුරු හතර ඒ විදිහටම ලිව්වා කියලා හිතන්න පුළුවන්.”

  • පිළිගත්ත බයිබල් පරිවර්තකයන් ග්‍රීක ලියවිල්ල පරිවර්තනය කරද්දී දෙවියන්ගේ නම පාවිච්චි කළා. ඒ පරිවර්තකයන්ගෙන් සමහරදෙනෙක් එහෙම කළේ ‘නව ලොව පරිවර්තනය’ මුදාහරින්න කාලෙකට කලින්. එහෙම කරපු පරිවර්තකයන්ගේ සහ එයාලා කරපු පරිවර්තනවල නම් තමයි මේ: හර්මාන් හයින්ෆෙටර් පරිවර්තනය කරපු ‘ඒ ලිටරල් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද නිව් ටෙස්ටමන්ට් . . . ෆ්‍රොම් ද ටෙක්ස්ට් ඔෆ් ද වැටිකන් මැනුස්ක්‍රිප්ට්’ (1863); බෙන්ජමින් විල්සන් පරිවර්තනය කරපු ‘දි එම්ෆැටික් ඩයග්ලොට්’ (1864); ජෝර්ජ් බාකර් ස්ටීවන්ස් පරිවර්තනය කරපු ‘දි එපිසල්ස් ඔෆ් පෝල් ඉන් මොඩන් ඉංග්ලිෂ්’ (1898); ඩබ්. ජී. රදෆර්ඩ් පරිවර්තනය කරපු ‘සෙන්ට් පෝල්ස් එපිස්ල් ටු ද රෝමන්ස්’ (1900); ලන්ඩන්වල බිෂොප්වරයෙක් වුණ ජේ. ඩබ්. සී. වොන්ඩ් පරිවර්තනය කරපු ‘ද නිව් ටෙස්ටමන්ට් ලෙටර්ස්’ (1946). ඒවාට අමතරව 20වෙනි සියවසේ මුල් කාලේදී පාබ්ලෝ බෙසෝන් ස්පාඤ්ඤ භාෂාවට කරපු පරිවර්තනයක ලූක් 2:15 සහ යූද් 14 “යෙහෝවා” කියන දෙවියන්ගේ නම පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම එයාගේ පරිවර්තනයේ තැන් 100කට වඩා වැඩි ගාණක දෙවියන්ගේ නම මේ තැන්වල තියෙන්න ඕනෙ කියලා එයා පාදසටහන් දාලා තියෙනවා. ඒ බයිබල් පරිවර්තන මුදාහරින්න ගොඩක් කාලෙකට කලින් ඒ කියන්නේ 16වෙනි සියවසේ ඉඳන් ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ල හෙබ්‍රෙව් භාෂාවට කරපු පරිවර්තනවල ගොඩක් තැන්වල දෙවියන්ගේ නම නියෝජනය කරන අකුරු හතර දකින්න තියෙනවා. අඩුම තරමින් ජර්මන් භාෂාවෙන් තියෙන පරිවර්තන 11කවත් ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ “යෙහෝවා” (නැත්නම් “යාහ්වේ”) කියන නම දකින්න තියෙනවා. තවත් පරිවර්තකයන් හතරදෙනෙක් “ස්වාමීන්” කියන යෙදුමට පස්සේ වරහන්වල දෙවියන්ගේ නම සඳහන් කරලා තියෙනවා. ජර්මන් භාෂාවෙන් තියෙන පරිවර්තන 70කට වඩා වැඩි ගාණක පාදසටහන්වල එහෙම නැත්නම් අමතර විස්තරවල දෙවියන්ගේ නම දකින්න තියෙනවා.

    බෙන්ජමින් විල්සන් පරිවර්තනය කරපු ‘දි එම්ෆැටික් ඩයග්ලොට්’ (1864) බයිබලයේ ක්‍රියා 2:34 දෙවියන්ගේ නම තියෙනවා

  • ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ කරපු පරිවර්තනවල භාෂා 100කට වඩා වැඩි ගාණක දෙවියන්ගේ නම දකින්න තියෙනවා. ගොඩක් අප්‍රිකානු, ඇමරිකානු ආදිවාසී, ආසියානු, යුරෝපීය සහ පැසිෆික් දූපත්වල භාෂාවලින් කරපු බයිබල් පරිවර්තනවල දෙවියන්ගේ නම ගොඩක් තැන්වල දකින්න තියෙනවා. ( 2318 සහ 2319 පිටුවල තියෙන ලැයිස්තුව බලන්න.) ඒ පරිවර්තනවලට දෙවියන්ගේ නම දාන්න පරිවර්තකයන් තීරණය කළේ කලින් කියපු හේතුවලට සමාන හේතු නිසයි. ඒ පරිවර්තනවලින් සමහරක් මෑතකදී කරපු ඒවා. උදාහරණෙකට 1999දී මුදාහැරපු රොටුමන් බයිබලයේ පද 48ක “ජිහෝවා” කියන නම 51ක් වතාවක් තියෙනවා. 1989දී ඉන්දුනීසියාවේ මුදාහැරපු බටක් (ටොබා) පරිවර්තනයේ “ජාහෝවා” කියන නම 110 වතාවක් තියෙනවා.

    හවායන් භාෂාවකට කරපු පරිවර්තනයක මාක් 12:29, 30 දෙවියන්ගේ නම තියෙනවා

ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලට දෙවියන්ගේ නම ආයෙත් ඇතුළත් කරන්න ඕනෙ තරම් පැහැදිලි සාක්ෂි තියෙනවා. ඒ නිසයි ‘නව ලොව පරිවර්තනයට’ හවුල් වුණ අය ඒ නම ඒකට ඇතුළත් කළේ. දෙවියන්ගේ නම ගැන එයාලට තියෙන්නේ ලොකු ගෞරවයක්. ඒ වගේම දෙවියන් ගැන තියෙන ගරුබිය නිසා මුල් ලියවිලිවලට ඇතුළත් කිසිම දෙයක් අයින් නොකර ඉන්න එයාලා පරෙස්සම් වෙලා තියෙනවා.—එළිදරව් 22:18, 19.