Skip to content

පටුනට යන්න

A3

බයිබලය අපේ අතට ආපු විදිහ

බයිබලයේ කර්තෘ ඒක ආරක්ෂා කරන්න පියවර ගත්තා. ඔහු තමයි මේ දේ ලියන්නත් මඟ පෙන්නුවේ.

“අපේ දෙවියන්ගේ වචනය සදහටම පවතියි.”—යෙසායා 40:8.

බයිබලයේ හෙබ්‍රෙව් සහ ඇරමයික ලියවිලිවල a මුල් පිටපත්වත් ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලිවල මුල් පිටපත්වත් මේ වෙද්දී නැති වුණත් යෙසායා පොතේ කියපු දේ ඇත්තක් වෙලා තියෙනවා. ඒත් අපි ළඟ තියෙන බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලියපු දේවල්මයි කියලා අපිට ස්ථිර වෙන්න පුළුවන් කොහොමද?

පිටපත් කරපු අය දේවවචනය ආරක්ෂා කරයි

හෙබ්‍රෙව් ලියවිලි ආරක්ෂා වුණේ කොහොමද? ලියවිලි පිටපත් කරන්න ඕනෙ කියලා දෙවියන්ම දුන්න මඟ පෙන්වීම ඒකට උදව් වුණා. b උදාහරණෙකට තමන්ටම නීතියේ පිටපතක් හදාගන්න කියලා යෙහෝවා ඊශ්‍රායෙල්වල රජවරුන්ට අණ කළා. (ද්විතීය කතාව 17:18) ඒ වගේම නීතිය ආරක්ෂා කරන සහ ඒක සෙනඟට උගන්නන වගකීම දෙවියන් ලෙවීවරුන්ට භාර දුන්නා. (ද්විතීය කතාව 31:26; නෙහෙමියා 8:7) යුදෙව්වන් වහලුන් විදිහට බැබිලෝනියට ගියාට පස්සේ පිටපත්කරුවන් කියලා හඳුන්වපු විශේෂ කට්ටියක් (සොෆරිම්වරු) බිහි වුණා. (එස්රා 7:6, පාදසටහන) කාලයත් එක්කම ඒ පිටපත්කරුවන් හෙබ්‍රෙව් ලියවිල්ලට ඇතුළත් පොත් 39 ගොඩක් සැරයක් පිටපත් කළා.

අවුරුදු සිය ගාණක් තිස්සේ පිටපත්කරුවන් හරිම පරෙස්සමින් ඒ පොත් පිටපත් කළා. මධ්‍යකාලීන යුගය අතරතුරේ (ක්‍රි.ව. 500-1500 අතර කාලේ) මැසොරෙට්වරු කියලා ප්‍රසිද්ධ වුණ යුදෙව් පිටපත්කරුවන් කණ්ඩායමක් ඒ වැඩේ දිගටම කරගෙන ගියා. මැසොරෙට්වරු සම්පූර්ණ කරපු පරණම අත්පිටපත හඳුන්වන්නේ ලෙනින්ග්‍රෑඩ් කෝඩෙක්ස් කියලයි. ඒ ලියවිලි පිටපත් කරලා තියෙන්නේ ක්‍රි.ව. 1008/1009 කාලේදී. 20වෙනි සියවසේ මැද භාගේදී බයිබලයේ අත්පිටපත් නැත්නම් ඒවායේ කොටස් 220ක් විතර මළ මුහුදේ ලියවිලි අතරින් හොයාගෙන තියෙනවා. ලෙනින්ග්‍රෑඩ් කෝඩෙක්ස් එකට වඩා ඒවා අවුරුදු දාහකටත් වඩා පරණයි. මළ මුහුදේ ලියවිලි ලෙනින්ග්‍රෑඩ් කෝඩෙක්ස් එක එක්ක සන්සන්දනය කරලා බලද්දී මේ වැදගත් කරුණ තහවුරු වෙනවා. මළ මුහුදේ ලියවිලිවල තියෙන වචනවල පොඩි පොඩි වෙනස්කම් තිබුණාට ඒවා නිසා ඒකේ තියෙන පණිවිඩයට කිසිම හානියක් වෙලා නැහැ.

ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලිවලට අයිති පොත් 27 ගැන කියන්න පුළුවන් මොනවාද? ඒ පොත් ලිව්වේ යේසුස් ක්‍රිස්තුස්ගේ නියෝජිතයන්ගෙන් කීපදෙනෙක් සහ මුල් කාලේ හිටපු ගෝලයන්ගෙන් කීපදෙනෙක්. යුදෙව් පිටපත්කරුවන් කළා වගේ මුල් ක්‍රිස්තියානීනුත් ඒ පොත් පිටපත් කළා. (කොලොස්සි 4:16) රෝම අධිරාජ්‍යයා වුණ ඩයොක්ලීෂන් සහ වෙනත් අය මුල් ක්‍රිස්තියානීන්ගේ පොත් පත් හැම එකක්ම විනාශ කරන්න ලොකු උත්සාහයක් ගත්තත් පරණ අත්පිටපත් සහ අත්පිටපත්වල කොටස් දහස් ගාණක් අද වෙන කල් ආරක්ෂා වෙලා තියෙනවා.

ක්‍රිස්තියානීන් අතරේ හුවමාරු වුණ ලියවිලි වෙනත් භාෂාවලටත් පරිවර්තනය කළා. බයිබලය මුලින් පරිවර්තනය කරපු භාෂා අතරේ ආර්මේනියානු, කොප්ටික්, ඉතියෝපික්, ජෝර්ජියන්, ලතින් සහ සිරියැක් භාෂා තියෙනවා.

පරිවර්තනයට පාවිච්චි කරන්නේ මොන හෙබ්‍රෙව් සහ ග්‍රීක අත්පිටපත්ද?

බයිබලයේ පරණ අත්පිටපත් හැම එකකම වචන සීයට සීයක් සමාන නැහැ. එහෙමනම් මුල් ලියවිලිවල ඇත්තටම තිබුණේ මොනවාද කියලා අපි දැනගන්නේ කොහොමද?

හිතන්න, ගුරුවරයෙක් ළමයි 100දෙනෙක්ට කියනවා පොතක පරිච්ඡේදයක් පිටපත් කරන්න කියලා. ඒ පොතේ පරිච්ඡේදය පස්සේ හොයාගන්න බැරි වුණත් පිටපත් 100 සසඳලා බලද්දී ඒ පරිච්ඡේදයේ තියෙන්නේ මොනවාද කියලා දැනගන්න පුළුවන්. හැම ශිෂ්‍යයෙක්ගෙම අතින් පොඩි පොඩි දේවල් අතපසු වුණත් හැමෝම එකම දේ අතපසු කරයි කියලා හිතන්න බැහැ. විශාරදයනුත් බයිබල් පොත්වල පරණ අත්පිටපත් සහ අත්පිටපත්වල කොටස් දහස් ගාණක් සන්සන්දනය කරලා බලනවා. එහෙම කරන එකෙන් පිටපත්කරුවන්ට අතපසු වුණ දේවල් තේරුම් අරන් මුල් ලියවිල්ලේ තිබුණේ මොනවාද කියලා දැනගන්න එයාලට පුළුවන්.

“වෙන කිසිම පැරණි පොතකට වඩා හෙබ්‍රෙව් ලියවිලි නිවැරදිව පිටපත් වෙලා අපේ අතට ඇවිල්ලා තියෙනවා කියලා අපිට බයක් සැකක් නැතුව කියන්න පුළුවන්”

දැන් අපේ අතේ තියෙන බයිබලයේ තියෙන්නේ මුල් ලියවිලිවල තිබුණ අදහස්ම කියලා ස්ථිරව කියන්න පුළුවන්ද? හෙබ්‍රෙව් ලියවිලි ගැන විශාරද විලියම් එච්. ග්‍රීන් මෙහෙම කියනවා. “වෙන කිසිම පැරණි පොතකට වඩා හෙබ්‍රෙව් ලියවිලි නිවැරදිව පිටපත් වෙලා අපේ අතට ඇවිල්ලා තියෙනවා කියලා අපිට බයක් සැකක් නැතුව කියන්න පුළුවන්.” ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලි නැත්නම් අලුත් ගිවිසුම ගැන බයිබල් විශාරදයෙක් වන එෆ්. එෆ්. බෲස් මෙහෙම ලියලා තියෙනවා. “අපි පරණ ග්‍රීක සහ රෝම පොත් පත් නිවැරදිද කියලා කවදාවත් ප්‍රශ්න කරන්න හිතන්නෙවත් නැහැ. හැබැයි ඒ පොත් පත් නිවැරදියි කියලා ඔප්පු කරන්න තියෙන සාක්ෂිවලට වඩා හිතාගන්නවත් බැරි සාක්ෂි අලුත් ගිවිසුම නිවැරදියි කියලා ඔප්පු කරන්න තියෙනවා.” බෲස් මෙහෙමත් ලියලා තියෙනවා. “අලුත් ගිවිසුම මිනිස්සු ලියපු පොත්වල එකතුවක් නම් ඒවා නිවැරදිද කියලා කිසිම කෙනෙක් ප්‍රශ්න කරන එකක් නැහැ.”

මළ මුහුදේ ලියවිලිවලින් හොයාගත්ත යෙසායා 40වෙනි පරිච්ඡේදය (ක්‍රි.පූ. 125 ඉඳන් ක්‍රි.පූ. 100 අතර කාලේ)

ඊට වඩා අවුරුදු දාහක් විතර පරණ හෙබ්‍රෙව් අත්පිටපත් එක්ක බලද්දී තියෙන්නේ පොඩි පොඩි වෙනස්කම් විතරයි. ඒවාවලින් වැඩි හරියක්ම අකුරුවල වෙනස්කම්

ඇලෙප්පෝ කෝඩෙක්ස් කියන ලියවිල්ලේ තියෙන යෙසායා 40වෙනි පරිච්ඡේදය. ඒක ක්‍රි.ව. 930ට විතර අයිති මැසොරෙට්වරු පිටපත් කරපු හෙබ්‍රෙව් අත්පිටපතක්

හෙබ්‍රෙව් පිටපත. ‘හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය’ (1953-1960) කළේ රූඩොල්ෆ් කිටෙල්ගේ ‘බිබ්ලියා හෙබ්‍රෙයිකා’ කියන පිටපත පාවිච්චි කරලයි. මේ වෙද්දී ඒ හෙබ්‍රෙව් පිටපත මළ මුහුදේ ලියවිලි සහ වෙනත් පරණ අත්පිටපත් පාවිච්චි කරලා සංශෝධනය කරලා තියෙනවා. ඒවා ‘බිබ්ලියා හෙබ්‍රෙයිකා ෂ්ටුට්ගාටෙන්සියා’ සහ ‘බිබ්ලියා හෙබ්‍රෙයිකා ක්වින්ටා’ කියලා හඳුන්වනවා. විශාරදයන් හදපු මේ පිටපත්වලට පාවිච්චි කරලා තියෙන්නේ ලෙනින්ග්‍රෑඩ් කෝඩෙක්ස් එකයි. ඒ පිටපත්වලට පාදසටහන් දාන්න සමාරිය පංචපුස්තකය, මළ මුහුදේ ලියවිලි, ග්‍රීක ‘සෙප්ටුඅජින්ට්,’ ඇරමයික ටාගම්, ලතින් ‘වල්ගේට්’ සහ සිරියැක් ‘පෙෂිට්ටා’ යන ලියවිලිවලින් තොරතුරු අරන් තියෙනවා. සංශෝධිත ‘නව ලොව පරිවර්තනය’ පරිවර්තනය කරද්දී ‘බිබ්ලියා හෙබ්‍රෙයිකා ෂ්ටුට්ගාටෙන්සියා’ සහ ‘බිබ්ලියා හෙබ්‍රෙයිකා ක්වින්ටා’ යන ලියවිලිවල තොරතුරු ගොඩක් උදව් වුණා.

ග්‍රීක පිටපත. 19වෙනි සියවසේ අග හරියේ බී. එෆ්. වෙස්කොට් සහ එෆ්. ජේ. ඒ. හෝට් කියන විශාරදයන් දෙන්නා ඒ වෙද්දී තිබුණ පරණ බයිබල් අත්පිටපත් සහ අත්පිටපත්වල කොටස් සසඳලා බලලා මුල් ලියවිල්ලට ගොඩක් සමානයි කියලා හිතපු සම්මත ග්‍රීක පිටපතක් පිළියෙල කළා. 20වෙනි සියවසේ මැද හරියේදී නව ලොව බයිබල් පරිවර්තන කමිටුව ඒ සම්මත පිටපත තමයි පාවිච්චි කළේ. ක්‍රි.ව. දෙවෙනි සහ තුන්වෙනි සියවස්වලට අයිතියි කියලා හිතන පැපිරස් පිටපතුත් පාවිච්චි කළා. පස්සේ කාලේදී තවත් පැපිරස් පිටපත් හොයාගත්තා. ඒ වගේම විශාරදයන් මෑත කාලවලදී අධ්‍යයනය කරලා හොයාගත්ත තොරතුරු නෙස්ලේ සහ අලාන්ද් සම්මත පිටපතේ සහ එක්සත් බයිබල් සමාගම්වල සම්මත පිටපතේ තියෙනවා. ගවේෂණය කරලා හොයාගත්ත ඒ තොරතුරු සමහරක් මේ සංශෝධනයට ඇතුළත් කරලා තියෙනවා.

ඒ සම්මත පිටපත්වලින් පැහැදිලි වෙනවා ‘කිං ජේම්ස් පරිවර්තනය’ වගේ පරණ බයිබල් පරිවර්තනවල තියෙන සමහර ඡේද ඇත්තටම පිටපත්කරුවන් පස්සේ කාලේදී ග්‍රීක ලියවිල්ලට එකතු කරලා කියලා. ඒ ඡේද මුල් ලියවිල්ලේ තිබිලා නැහැ. 16වෙනි සියවස වෙද්දී බයිබලය පරිච්ඡේදවලට සහ ඡේදවලට වෙන් කරලා තිබුණ නිසා පස්සේ කාලේදී එකතු කරපු ඒ ඡේද අයින් කළාම හුඟක් බයිබල්වල ඒ ඡේදය තිබුණ තැන අංකය තිබුණාට ඡේදය හිස්ව තිබුණා. ඒ වගේ ඡේද තමයි මතෙව් 17:21; 18:11; 23:14; මාක් 7:16; 9:44, 46; 11:26; 15:28; ලූක් 17:36; 23:17; යොහන් 5:4; ක්‍රියා 8:37; 15:34; 24:7; 28:29 සහ රෝම 16:24. මේ සංශෝධනයේ ඒ වගේ අයින් කරපු බයිබල් ඡේදවල අංකය ළඟ පාදසටහනක් දාලා තියෙනවා.

මාක් 16වෙනි පරිච්ඡේදයේ දීර්ඝ අවසානයවත් (9-20 ඡේද) මාක් 16 කෙටි අවසානයවත් යොහන් 7:53–8:11 දක්වා කොටසවත් මුල් අත්පිටපත්වල නැහැ කියලා හොඳින්ම පැහැදිලියි. ඒ නිසා මුල් ලියවිල්ලට අයිති නැති ඒ කොටස් මේ සංශෝධනයට ඇතුළත් කරලා නැහැ.

සමහර ඡේද කියලා තියෙන විදිහේ පොඩි පොඩි වෙනස්කම් කරලා තියෙනවා. එහෙම කළේ මුල් ලියවිලිවල තිබුණා කියලා විශාරදයන් පිළිගන්න දේවල් ඇතුළත් කරන්නයි. උදාහරණෙකට මතෙව් 7:13 කියනවා “පටු දොරටුවෙන් ඇතුල් වෙන්න. මොකද විනාශයට යන පාරේ දොරටුව පළල්. ඒ පාරේ හුඟක් ඉඩකඩත් තියෙනවා.” කලින් මුදාහැරපු ‘නව ලොව පරිවර්තනයේ’ එතන “පාරේ දොරටුව” කියලා තිබුණේ නැහැ. ඒත් අත්පිටපත් තව හොඳින් අධ්‍යයනය කරද්දී මුල් ලියවිල්ලේ එතන තිබුණේ “පාරේ දොරටුව” කියලා හොඳටම පැහැදිලියි. ඒ නිසා ඒක මේ සංශෝධනයට එකතු කරලා තියෙනවා. අදහස තවත් පැහැදිලි කරන්න ඒ වගේ වෙනස්කම් කරපු තව තැන් කීපයක්ම තියෙනවා. කොහොමවුණත් ඒවා ඒ තරම් ලොකු වෙනස්කම් නෙමෙයි. ඒ වගේම දේවවචනයේ පණිවිඩය ඒ වෙනස්කම් නිසා කිසිම විදිහකින් වෙනස් වෙලා නැහැ.

2 කොරින්ති 4:13–5:4 තියෙන පැපිරස් අත්පිටපතක්. ඒක ක්‍රි.ව. 200ට විතර අයිති එකක්

a මෙතන ඉඳන් නිකම්ම හෙබ්‍රෙව් ලියවිලි කියලයි කියන්නේ.

b මුල් ලියවිලි පිටපත් කරන්න එක හේතුවක් වුණේ ඒවා ලියලා තිබුණේ පැපිරස් වගේ ඉක්මනින් දිරලා යන දේවල්වල නිසයි.