Skip to content

පටුනට යන්න

A1

බයිබල් පරිවර්තනයට උදව් වුණ මඟ පෙන්වීම්

බයිබලය මුලින්ම ලිව්වේ ඉස්සර කාලේ පාවිච්චි කරපු හෙබ්‍රෙව්, ඇරමයික සහ ග්‍රීක භාෂාවලින්. අද වෙද්දී සම්පූර්ණ බයිබලය හරි ඒකෙන් කොටසක් හරි භාෂා 3,000කට වඩා වැඩි ගාණකින් ලබාගන්න පුළුවන්. බයිබලය කියවන වැඩිදෙනෙක් ඒක ලියපු මුල් භාෂා දන්නේ නැහැ. ඒ නිසයි බයිබලය පරිවර්තනය කරන එක වැදගත් වෙන්නේ. බයිබලය පරිවර්තනය කරද්දී අදාළ කරගන්න ඕනෙ මඟ පෙන්වීම් මොනවාද? ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයට’ ඒ මඟ පෙන්වීම් උදව් වුණේ කොහොමද?

සමහරු හිතනවා වචනයෙන් වචනය පරිවර්තනය කළොත් මුල් භාෂාවලින් ලියපු දේවල් ඒ විදිහටම තේරුම්ගන්න පුළුවන් කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි කියලා කියන්න තියෙන හේතු බලන්න.

  • භාෂා දෙකක් ගත්තොත් ඒ භාෂාවල ව්‍යාකරණ, වචන සහ වාක්‍ය හැදෙන විදිහ සීයට සීයක් සමාන නැහැ. හෙබ්‍රෙව් භාෂාව ගැන ප්‍රවීණයෙක් වන එස්. ආර්. ඩ්‍රයිව මේ වගේ අදහසක් කියලා තියෙනවා. “භාෂාවකින් භාෂාවක් වෙනස් වෙන්නේ ව්‍යාකරණ සහ වචන හැදිලා තියෙන විදිහෙන් විතරක් නෙමෙයි. වාක්‍යයක අදහස් ගළපන විදිහත් වෙනස්.” මොකද එක භාෂාවක් කතා කරන අය හිතන විදිහ තවත් භාෂාවක් කතා කරන අය හිතන විදිහට වඩා සම්පූර්ණයෙන් වෙනස්. “ඒ නිසයි එක භාෂාවක වාක්‍යයක් කියන විදිහ තවත් භාෂාවකින් ඒක කියන විදිහට වඩා වෙනස් වෙන්නේ” කියලා ඩ්‍රයිව කියනවා.

  • අද තියෙන කිසිම භාෂාවකට බැහැ බයිබලය ලියපු හෙබ්‍රෙව්, ඇරමයික සහ ග්‍රීක භාෂාවල තිබුණ වචන සහ ව්‍යාකරණ ඒ විදිහටම අනුකරණය කරන්න. ඒ නිසා වචනයෙන් වචනය පරිවර්තනය කළොත් ඒක තේරුම්ගන්න අමාරු වෙයි. සමහර වෙලාවට ඒකෙන් වැරදි අදහසක් වුණත් දෙන්න පුළුවන්.

  • වචනයක නැත්නම් යෙදුමක අදහස ඒක පාවිච්චි කරන විදිහ, තැන අනුව වෙනස් වෙනවා.

බයිබලයේ සමහර කොටස් මුල් භාෂාවේ තියෙන විදිහටම පරිවර්තනය කරන්න පුළුවන්. ඒත් ඒක හොඳට හිතලා කරන්න ඕනෙ දෙයක්.

වචනයෙන් වචනය පරිවර්තනය කළොත් අදහස වැරදියට තේරුම්ගන්න පුළුවන්. ඒකට මේ උදාහරණ බලන්න.

  • කෙනෙක් නිදාගෙන ඉන්නවා කියන්න පාවිච්චි කරලා තියෙන වචනයම තමයි කෙනෙක් මැරිලා කියන්නත් මුල් භාෂාවේ පාවිච්චි කරලා තියෙන්නේ. (මතෙව් 28:13; ක්‍රියා 7:60) ඒ වචනය මරණය ගැන කතා කරන්න පාවිච්චි කරලා තියෙන තැන්වලදී බයිබල් පරිවර්තකයන්ට පුළුවන් වැරදි අදහසක් දෙන එක වළක්වන්න “මැරුණා” නැත්නම් “මරණ නින්දේ ඉන්නවා” කියලා සරලව කියන්න.—1 කොරින්ති 7:39; 1 තෙසලෝනික 4:13; 2 පේතෘස් 3:4.

  • එෆීස 4:14 “අනුන්ව රවට්ටන අය” ගැන කතා කරනවා. ඒක මුල් භාෂාවේ තියෙන විදිහටම පරිවර්තනය කළොත් කියන්න වෙන්නේ “දාදු කැට ගහන මිනිස්සු” කියලයි. ඒ කාලේ හිටපු කෙනෙක්ට නම් එහෙම කියද්දී මනසට එකපාරටම එන්නේ දාදු කැට ගහද්දී හොර කළා කියන එකයි. හැබැයි ගොඩක් භාෂාවල ඒක ඒ විදිහටම පරිවර්තනය කළොත් ඒක පැහැදිලි නැහැ. “අනුන්ව රවට්ටන අය” කියලා ඒක පරිවර්තනය කරන එකෙන් දෙන්න හදන අදහස හරියටම එනවා.

  • රෝම 12:11 ග්‍රීක භාෂාවේ තියෙන දේ ඒ විදිහටම පරිවර්තනය කළොත් ඒක කියන්න වෙන්නේ “උතුරන හිතක් ඇතුව ඉන්න” කියලයි. ඒත් කියන්න හදන අදහස ඒකෙන් හරියටම එන්නේ නැහැ. ඒ නිසයි මේ පරිවර්තනයේ ඒක “හිතේ උද්‍යෝගයක්, උනන්දුවක් ඇති කරන්න දෙවියන්ගේ බලයට ඉඩ දෙන්න” කියලා පරිවර්තනය කරලා තියෙන්නේ.

  • මතෙව් 5:3

    ඒ විදිහටම කිව්වොත්: “සිතින් දිළින්දෝ”

    අදහස: “දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට නිතරම ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න අය”

    කන්ද උඩ දේශනයේදී යේසුස් කියපු දෙයක් ගොඩක් බයිබල්වල පරිවර්තනය කරලා තියෙන්නේ “සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය” කියලයි. (මතෙව් 5:3, ‘පැරණි අනුවාදය’) ඒත් ගොඩක් භාෂාවල ඒක ඒ විදිහට කිව්වාම තේරුම පැහැදිලි නැහැ. සමහර භාෂාවලින් “සිතින් දිළින්දෙක්” කියද්දී ඒ කෙනාගේ මනස දුර්වලයි, එයාට අධිෂ්ඨාන ශක්තියක් නැහැ කියන අදහස එනවා. ඒත් යේසුස් ඉගැන්නුවේ ඒ වගේ දෙයක් නෙමෙයි. ඔහු උගන්නන්න හැදුවේ අපිට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ කන බොන, අඳින පලඳින වගේ අත්‍යවශ්‍ය දේවල් ලබාගන්න එකෙන් නෙමෙයි දෙවියන්ගේ මඟ පෙන්වීම් ඕනෙ කියලා තේරුම්ගන්න එකෙන් කියලා. (ලූක් 6:20) ඉතින් “දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට නිතරම ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න අය” කියලා පරිවර්තනය කරන එක නිවැරදියි. මොකද ඒකේ මුල් අදහස නිවැරදිව තියෙනවා.—මතෙව් 5:3.

  • කිනාහ් කියන හෙබ්‍රෙව් වචනය බයිබලයේ ගොඩක් තැන්වල පාවිච්චි කරලා තියෙන්නේ ඊර්ෂ්‍යාව එහෙම නැත්නම් අනිත් අයට තියෙන දේවල් තමන්ට ලබාගන්න තියෙන ආශාව ගැන කියද්දියි. (හිතෝපදේශ 6:34; යෙසායා 11:13) ඒත් හොඳ දෙයක් ගැන කියද්දීත් ඒ හෙබ්‍රෙව් වචනයම පාවිච්චි කරලා තියෙනවා. උදාහරණෙකට යෙහෝවා තමන්ගේ සේවකයන් වෙනුවෙන් ලොකු ආශාවකින්, උද්‍යෝගයකින් දේවල් කරනවා කියලා කියද්දී වගේම තමන්ගේ සෙනඟ ඔහුට විතරක් නමස්කාර කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා කියද්දීත් පාවිච්චි කරලා තියෙන්නේ ඒ වචනයමයි. (නික්මයාම 34:14; 2 රාජාවලිය 19:31; එසකියෙල් 5:13; සෙකරියා 8:2) ඒ වගේම විශ්වාසවන්ත සේවකයන්ට දෙවියන් ගැනත් ඔහුට කරන නමස්කාරය ගැනත් තියෙන ළැදියාව, උද්‍යෝගය ගැන කියද්දීත් වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය එයාලා හෙළා දකිනවා කියලා කියද්දීත් පාවිච්චි කරලා තියෙන්නේ ඒ වචනයමයි.—ගීතාවලිය 69:9; 119:139; ගණන් කතාව 25:11.

  • යාඩ් කියන හෙබ්‍රෙව් වචනය සාමාන්‍යයෙන් පරිවර්තනය කරන්නේ “අත” කියලයි. ඒත් තැනට අනුව “යටත් කරගන්නවා,” “කැමැත්තෙන්ම දෙනවා,” “බලය” සහ තවත් ගොඩක් විදිවලින් ඒ වචනය පරිවර්තනය කරන්න පුළුවන්

    හෙබ්‍රෙව් භාෂාවේ අත කියලා කියන වචනයට තේරුම් ගොඩක් තියෙනවා. සමහර තැන්වල “යටත් කරගන්නවා,” “කැමැත්තෙන්ම දෙනවා,” නැත්නම් “බලය” කියලා ඒ වචනය පරිවර්තනය කරන්න පුළුවන්. (2 සාමුවෙල් 8:3; 1 රාජාවලිය 10:13; හිතෝපදේශ 18:21) ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ ඒ වචනය විදි 40කට වඩා පරිවර්තනය කරලා තියෙනවා.

ඒ හේතුවලින් තේරෙනවා බයිබලය පරිවර්තනය කරද්දී මුල් භාෂාවේ තියෙන වචනයක් හැම වෙලාවෙම එකම විදිහට පරිවර්තනය කරන්න බැහැ කියලා. මුල් භාෂාවේ තියෙන අදහස තමන්ගේ භාෂාවෙන් නිවැරදිව කියන්න පාවිච්චි කරන්න ඕන වචන තීරණය කරද්දී පරිවර්තකයෙක් ගොඩක් පැති ගැන හිතන්න ඕනේ. ඒ වගේම වාක්‍යයක් ගොඩනඟද්දී ඒක පරිවර්තනය කරන භාෂාවේ ව්‍යාකරණ රීතිවලට අනුව ගොඩනඟන්න ඕනේ. ඒක කියවන්න ලේසි වෙන්නේ එතකොටයි.

ඒත් එක්කම පරිවර්තකයෙක් බයිබලයේ තියෙන දේවල් ඔහේ වෙනස් කරන එකෙන් වළකින්න ඕනේ. එයා තමන් තේරුම් අරන් තියෙන දේට අනුව බයිබලයේ තියෙන දේවල් වෙනස් කළොත් මුල් අදහසට ඒකෙන් හානියක් වෙන්න පුළුවන්. උදාහරණෙකට පරිවර්තකයෙක් මුල් භාෂාවෙන් තියෙන දෙයින් අදහස් වෙන්නේ මෙන්න මේකයි කියලා තමන්ගේ පෞද්ගලික අදහස පරිවර්තනයට ඇතුළත් කළොත් එහෙම නැත්නම් මුල් භාෂාවේ තියෙන වැදගත් කරුණු අයින් කළොත් ඒකෙන් අදහසට හානියක් වෙනවා. බයිබලයේ තියෙන දේවල් කැමති කැමති විදිහට වෙනස් කරලා කරපු පරිවර්තන කියවන්න ලේසි වුණත් ඒවා කියවන අයට බයිබලයේ තියෙන සැබෑ පණිවිඩය දැනගන්න බැහැ.

පරිවර්තකයෙක්ට තියෙන ආගමික විශ්වාසයන් එයාගේ පරිවර්තනයෙන් දකින්න පුළුවන්. උදාහරණෙකට මතෙව් 7:13 කියන්නේ “විනාශයට යන පාරේ දොරටුව පළල්” කියලා. සමහර පරිවර්තකයන් එයාලාගේ ආගමික විශ්වාසයන් නිසා “විනාශයට” කියනවා වෙනුවට “නිරයට” කියලා ඒක පරිවර්තනය කරලා තියෙනවා. ඒත් ග්‍රීක වචනයේ හරි අදහස “විනාශය” කියන එකයි.

බයිබල් පරිවර්තකයෙක් මතක තියාගන්න ඕනෙ බයිබලය ලිව්වේ ගොවියෝ, එඬේරු, ධීවරයෝ වගේ සාමාන්‍ය අය එදිනෙදා කතාබහ කරන භාෂාවෙන් කියලා. (නෙහෙමියා 8:8, 12; ක්‍රියා 4:13) ඉතින් හොඳ බයිබල් පරිවර්තනයක් කියන්නේ කෙනෙක්ගේ පසුබිම මොකක් වුණත් එයා අවංක කෙනෙක් නම් ඒකේ තියෙන පණිවිඩය එයාට තේරෙනවා කියන එකයි. ඒ නිසා මිනිස්සු සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැති වචන, යෙදුම් වෙනුවට පැහැදිලි, හැමෝටම තේරෙන වචන සහ යෙදුම් තමයි ඒකේ තියෙන්න ඕනේ.

බයිබල් පරිවර්තකයන්ගෙන් වැඩිදෙනෙක් කිසිම පදනමක් නැතුව යෙහෝවා කියන දෙවියන්ගේ නම අලුත් පරිවර්තනවලින් අයින් කරලා තියෙනවා. එයාලා එහෙම කරලා තියෙන්නේ පැරණි බයිබල් අත්පිටපත්වල ඒ නම තියෙනවා කියලා දැනදැනමයි. (උපග්‍රන්ථය A4 බලන්න.) හුඟක් පරිවර්තනවල දෙවියන්ගේ නම වෙනුවට “ස්වාමීන්” කියන යෙදුම දාලා තියෙනවා. සමහර පරිවර්තනවල දෙවියන්ට නමක් තියෙනවා කියන දේත් හංගලා තියෙනවා. උදාහරණෙකට යොහන් 17:26 යේසුස් කරපු යාච්ඤාව සමහර පරිවර්තනවල තියෙන්නේ මෙහෙමයි. “මම ඔවුන්ට ඔබ ගැන දැන්වුවා.” යොහන් 17:6 පරිවර්තනය කරලා තියෙන්නේ “ඔබ මට දුන්න මනුෂ්‍යයන්ට ඔබ ගැන ප්‍රකාශ කළා” කියලයි. ඒත් යේසුස්ගේ යාච්ඤාව මුල් ලියවිලිවල තියෙන විදිහට පරිවර්තනය කරනවා නම් කරන්න ඕනෙ “ඔයාගේ නම ගැන මං එයාලට කියලා දුන්නා” සහ “මට භාර දුන්න මිනිස්සුන්ට මම ඔයාගේ නම ගැන කිව්වා” කියලයි.

මුලින්ම කරපු ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනයේ’ පෙරවදනේ මෙහෙම කියලා තියෙනවා. “අපිට හිතෙන හිතෙන විදිහට ශුද්ධ ලියවිලිවල තියෙන දේවල් අපි වෙනස් කරලා නැහැ. මුල් භාෂාවේ තියෙන යෙදුම් දැන් පාවිච්චි කරන ඉංග්‍රීසි භාෂාවට හුරුයි නම්, ඒ වගේම මුල් භාෂාවේ තියෙන දේ ඒ විදිහටම පරිවර්තනය කරන එකෙන් අදහස යටපත් වෙන්නේ නැත්නම් අපි උත්සාහ කළේ පුළුවන් තරම් දුරට මුල් භාෂාවේ කියලා තියෙන විදිහටම පරිවර්තනය කරන්නයි.” ඒ නිසා නව ලොව පරිවර්තන කමිටුව මුල් භාෂාවෙන් කියවන කෙනෙක්ට එන පින්තූරයම අද කෙනෙක්ටත් දෙන්න උදව් වෙන වචන, යෙදුම් පාවිච්චි කළත් කියවද්දී අමුත්තක් දැනෙන විදිහට නැත්නම් අදහස හංගන විදිහට දේවල් නොකියා ඉන්න උත්සාහ කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට කිසිම අපහසුවක් නැතුව බයිබලය කියවන්න පුළුවන්. ඒ වගේම දෙවියන්ගේ පණිවිඩය මුල් භාෂාවේ තිබුණ විදිහටම තියෙනවා කියන විශ්වාසයෙන් කෙනෙක්ට ඒක කියවන්න පුළුවන්.—1 තෙසලෝනික 2:13.