Skip to content

පටුනට යන්න

 A2

මේ සංශෝධනයේ කැපීපේන දේවල්

1950දී ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය’ ඉංග්‍රීසි භාෂාවෙන් මුදාහැරියා. ‘නව ලොව පරිවර්තනයේ’ සම්පූර්ණ බයිබලය 1961දී මුදාහැරියා. මුල් භාෂාවලින් තිබුණ ශුද්ධ ලියවිලිවල පිටපත්වලින් කරපු ඒ පරිවර්තනය මේ වෙද්දී භාෂා 270කට වඩා වැඩි ගාණකට පරිවර්තනය කරලා තියෙනවා. ශුද්ධ ලියවිල්ල නිවැරදිව සහ කියවන්න පහසු විදිහට කරලා තියෙන ඒ පරිවර්තනය නිසා මිනිස්සු මිලියන ගාණක් ප්‍රයෝජන ලබනවා. ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය’ සිංහල භාෂාවෙන් 2004දී මුදාහැරියා. සම්පූර්ණ බයිබලය 2009දී මුදාහැරියා.

දැන් ඉන්න අයගේ හදවතට දැනෙන විදිහට භාෂාව පාවිච්චි කරන එක කොච්චර වැදගත්ද කියලා නව ලොව බයිබල් පරිවර්තන කමිටුව තේරුම් අරන් තියෙනවා. ඒ නිසා මේ සංශෝධනයේ භාෂා ශෛලියේ සහ වචනවල වෙනස්කම් කීපයක් කරලා තියෙනවා. ඒවා ගැන විස්තර පහළින් තියෙනවා.

  • තේරුම්ගන්න ලේසි, එදිනෙදා කතා කරන භාෂාව පාවිච්චි කරලා තියෙනවා. උදාහරණෙකට මේ සංශෝධනයේ “වේශ්‍යාකම” කියන වචනය “ලිංගික දුරාචාරය” විදිහටත් “නින්දිත හැසිරීම” කියන යෙදුම “කිසිම ලැජ්ජාවක් බයක් නැතුව හැසිරෙනවා” විදිහටත් පරිවර්තනය කරලා තියෙනවා. “කුඩුකේඩුකම” පරිවර්තනය කරලා තියෙන්නේ “අනිත් අයට තියෙන දේ අයිති කරගන්න හදනවා” කියලයි. (ගලාති 5:19-21) “ප්‍රේමය” වෙනුවට “ආදරය” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. මොකද එදිනෙදා කතාබහේ දැන් වැඩියෙන් පාවිච්චි වෙන්නේ ඒ වචනය. (යොහන් 13:34, 35; 1 කොරින්ති 13:4-8) වෙඬරු සහ කේජු කියන වචන වෙනුවට සාමාන්‍යයෙන් පාවිච්චි කරන “බටර්” “චීස්” හෝ “මුදවපු කිරි” වගේ වචන පාවිච්චි කරලා තියෙනවා.

  • බයිබලයේ තියෙන සමහර යෙදුම් තව සරල කරලා තියෙනවා. කෙසෙද් කියන හෙබ්‍රෙව් වචනය කලින් පරිවර්තනය කරලා තිබුණ විදිහෙන් මුල් භාෂාවේ දෙන්න හදන අදහස හැම වෙලාවෙම සීයට සීයක් ආවේ නැහැ. ඒ නිසා තැනට අනුව ඒක පැහැදිලි කරන්න වුණා. ඒත් මේ සංශෝධනයේ “කෙසෙද්” කියන වචනය ගොඩක් තැන්වල පරිවර්තනය කරලා තියෙන්නේ “නොසැලෙන ආදරේ” විදිහට. සමහර තැන්වල මුල් භාෂාවේ දෙන්න හදන අදහස නිවැරදිව දෙන්න ඕනෙ නිසා ඒ වචනය තැනට අනුව පරිවර්තනය කරලත් තියෙනවා.—උත්පත්ති 21:23; නික්මයාම 34:6; රූත් 3:10; 1 ලේකම් 16:34; යෙරෙමියා 31:3.

    මේ සංශෝධනයේ පරූසියා කියන ග්‍රීක වචනය පරිවර්තනය කරලා තියෙන විදිහෙත් වෙනසක් කරලා තියෙනවා. කලින් ඒක පරිවර්තනය කරලා තිබුණේ “පැමිණ සිටින කාලය” විදිහට. දැන් ඒක තව කෙටි කරලා “පැමිණෙන කාලය” විදිහට පරිවර්තනය කරලා තියෙනවා. (මතෙව් 24:3) මේ වගේ වෙනස්කම් කරලා තියෙන සමහර යෙදුම් ගැන “බයිබලයේ තියෙන වචනවල පැහැදිලි කිරීමක්” යටතේ කතා කරලා තියෙනවා.

  • කියවන්න තවත් පහසුයි. මේ සංශෝධනයේ පාවිච්චි කරලා තියෙන්නේ වැඩිදෙනෙක් එදිනෙදා කතාබහ කරන භාෂාවක්. සිංහල භාෂාවෙන් තියෙන අනිත් බයිබල් අනුවාද එක්ක බලද්දී ඒක ලොකු වෙනසක්. කියවන්න පහසු, ලේසියෙන් තේරුම්ගන්න පුළුවන් භාෂා ශෛලියක් පාවිච්චි කරලා තිබුණත් බාල, අගෞරවනීය විදිහට භාෂාව පාවිච්චි නොකර ඉන්න වගබලා ගෙන තියෙනවා. එදිනෙදා කතා කරන භාෂාව පාවිච්චි කරලා තියෙන නිසා බයිබලයේ තියෙන සිද්ධීන් හිතින් මවාගන්න කියවන කෙනාට ලේසියි. ඒවා නිකම්ම අතීතයේ වුණ දේවල් විදිහට නෙමෙයි එයාත් ඒ සිද්ධීන්වල ඉන්නවා කියලයි කියවන කෙනාට හැඟනේනේ. ඒත් සමහර බයිබල් කොටස් මුල් භාෂාවේ තියෙන විදිහටම පරිවර්තනය කරලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ මුල් භාෂාවෙන් දෙන්න හදන පින්තූරය ඒ විදිහටම දෙන්න ඕනෙ නිසයි. හැබැයි කියවීමේ පහසුවට හානියක් වෙන විදිහට ඒක කරලා නැහැ.

    හැම වෙනසක්ම කරලා තියෙන්නේ හොඳට යාච්ඤා කරලා ඒ වෙනස ගැන හොඳට හිතලා බලලා. ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනය’ මුලින්ම කරද්දී පරිවර්තන කමිටුවේ හිටපු අය කරපු සේවය අපි සැහැල්ලුවට ගන්නේ නැහැ. එයාලා වෙහෙසිලා කරපු සේවය ගැන අපිට තියෙන්නේ ලොකු අගයක්.

මේ සංශෝධනයේ තියෙන වෙනත් අංග:

මේ සංශෝධනයේ පාදසටහන් තියෙනවා. ඒ පාදසටහන් මේ විදිහට වර්ග කරන්න පුළුවන්.

  • “හෝ” හෙබ්‍රෙව්, ඇරමයික නැත්නම් ග්‍රීක භාෂාවේ තියෙන දේ කියන්න පුළුවන් තවත් විදිහක්. මෙතනදී අදහසේ වෙනසක් වෙන්නේ නැහැ.—උත්පත්ති 3:15, “තුවාල” කියන තැනේ තියෙන පාදසටහන.

  • “හෝ සමහරවිට” පදයේ තියෙන දේ කියන්න පුළුවන් තවත් විදි. මෙතනදී අදහස වෙනස් වුණත් ඒක ඒ විදිහටත් කියන්න පුළුවන්.—උත්පත්ති 10:21, “මල්ලි”; දානියෙල් 2:5, “පොදු වැසිකිළි” සහ සෙකරියා 14:21, “කානානිවරයෙක්ට” කියන තැන්වල තියෙන පාදසටහන්.

  • “මූ.අ.” හෙබ්‍රෙව්, ඇරමයික නැත්නම් ග්‍රීක භාෂාවේ තියෙන දේ වචනයෙන් වචනයට පරිවර්තනය කරලා තියෙනවා. එහෙම නැත්නම් මුල් භාෂාවේ තියෙන යෙදුමේ අදහස පරිවර්තනය කරලා තියෙනවා.—උත්පත්ති 2:1, “හැම දෙයක්ම” සහ නික්මයාම 32:11, “මහත් බලයෙන්” කියන තැන්වල තියෙන පාදසටහන්.

  • තේරුම සහ අමතර තොරතුරු නම්වල තේරුම (උත්පත්ති 3:17, “ආදම්”; නික්මයාම 15:23, “මාරාහ්”); බර, මිනුම් ගැන තොරතුරු (උත්පත්ති 6:15, “රියන්”); සර්වනාමයකින් අදහස් කරන කෙනා නැත්නම් අය (උත්පත්ති 38:5, “එයාලා”); උපග්‍රන්ථයේ සහ “පැහැදිලි කිරීමක්” යටතේ තියෙන ප්‍රයෝජනවත් තොරතුරු.—උත්පත්ති 2:7, “පුද්ගලයෙක්”; මතෙව් 5:22, “ගෙහෙන්නාව.”

මුලින්ම තියෙන “දේවවචනයට හැඳින්වීමක්” කියන කොටසේ බයිබලයේ තියෙන ඉගැන්වීම් ගැන කෙටියෙන් කතා කරලා තියෙනවා. “බයිබලයේ පොත් ගැන විස්තර,” “බයිබලයේ තියෙන වචනවල සූචිය” සහ “බයිබලයේ තියෙන වචනවල පැහැදිලි කිරීමක්” කියන කොටස් බයිබලයේ පොත් ඉවර වෙනවාත් එක්කම තියෙනවා. වචනයක් නැත්නම් යෙදුමක් බයිබලයේ පාවිච්චි කරලා තියෙන විදිහ තේරුම්ගන්න “පැහැදිලි කිරීමක්” කියන කොටස උදව් වෙනවා. උපග්‍රන්ථය A යටතේ “බයිබල් පරිවර්තනයට උදව් වුණ මඟ පෙන්වීම්,” “ මේ සංශෝධනයේ කැපීපේන දේවල්,” “බයිබලය අපේ අතට ආපු විදිහ,” “හෙබ්‍රෙව් ලියවිල්ලේ දෙවියන්ගේ නම,” “ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ දෙවියන්ගේ නම,” “වගුව: යූදා සහ ඊශ්‍රායෙල් රාජ්‍යයන්වල රජවරු සහ අනාගතවක්තෘවරු” වගේම “යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම්” කියන කොටස් තියෙනවා. උපග්‍රන්ථය B යටතේ සිතියම්, වගු සහ බයිබලය ආසාවෙන් අධ්‍යයනය කරන අයට උදව් වෙන තවත් තොරතුරු තියෙනවා.

බයිබලයේ හැම පොතක්ම පටන්ගද්දී ඒකේ පරිච්ඡේදවල සාරාංශයක් තියෙනවා. ඒ සාරාංශයත් එක්ක අදාළ බයිබල් පදත් සඳහන් වෙනවා. කියවන කෙනාට ඒක උදව් වෙනවා ඒ පොත ගැන මූලික අදහසක් ගන්න. හැම පිටුවකම පැත්තෙන් තියෙන තීරුවේ යොමු දැක්වීම් තියෙනවා. පදයකට සම්බන්ධ වෙනත් බයිබල් පද ඒ යොමු දැක්වීම්වල තියෙනවා.