ආමොස් 7:1-17

  • ඊශ්‍රායෙල්ගේ විනාශය ළඟයි කියලා දර්ශනවලින් පෙන්වයි (1-9)

    • පළඟැටියන් (1-3), ගින්න (4-6), ලඹය (7-9)

  • අනාවැකි කියන එක නවත්තන්න කියලා ආමොස්ට කියයි (10-17)

7  ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මේ දේ මට පෙන්නුවා. රජගේ ප්‍රයෝජනයට පිදුරු එකතු කළාට පස්සේ ආයේ වතාවක් බීජ වැපුරුවා. දෙවෙනි වතාවට* වපුරපු බීජ දලුලන්න පටන්ගත්ත කාලයේදී දෙවියන් දේශයට විශාල පළඟැටි රංචුවක් එව්වා.  උන් දේශයේ තිබුණ ගස් වැල් කාලා දැම්මාට පස්සේ මම මෙහෙම කිව්වා. “අනේ, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, යාකොබ්ගෙන් පැවතෙන අයට සමාව දෙන්න.+ මොකද දැන් එයාලාගෙන් ඉතුරු වෙලා ඉන්නේ ටිකදෙනෙක් විතරයි. ඉතින් කොහොමද එයාලා බේරෙන්නේ?”*+  ඉතින් යෙහෝවා ඔවුන් ගැන ගත්ත තීරණය වෙනස් කළා.*+ ඊටපස්සේ “මම ඒ දේ වෙන්න ඉඩ දෙන්නේ නැහැ” කියලා යෙහෝවා මට කිව්වා.  ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මට මේ දේත් පෙන්නුවා. ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා සෙනඟට දඬුවම් කරන්න ගින්නක් එව්වා. ඒ ගින්නෙන් දේශයෙන් කොටසක් දැවිලා ගියා. මුහුද පවා හිඳිලා ගියා.  එතකොට මම මෙහෙම කිව්වා. “අනේ, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, යාකොබ්ගෙන් පැවතෙන අයට එහෙම කරන්න එපා.+ මොකද දැන් එයාලාගෙන් ඉතුරු වෙලා ඉන්නේ ටිකදෙනෙක් විතරයි. ඉතින් කොහොමද එයාලා බේරෙන්නේ?”*+  ඉතින් යෙහෝවා ඔවුන් ගැන ගත්ත තීරණය වෙනස් කළා.*+ ඊටපස්සේ “මම ඒ දේත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ” කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මට කිව්වා.  පස්සේ දෙවියන් මට තවත් දෙයක් පෙන්නුවා. බලන්න, ලඹයක් පාවිච්චි කරලා ඇදයක් නැතුව හදපු බිත්තියක් උඩ යෙහෝවා හිටගෙන හිටියා. ඔහුගේ අතේ ලඹයක් තිබුණා.  ඊටපස්සේ යෙහෝවා මගෙන් ඇහුවා “ආමොස්, ඔයාට පේන්නේ මොනවාද” කියලා. “මට ලඹයක් පේනවා” කියලා මම කිව්වා. එතකොට යෙහෝවා මෙහෙම කිව්වා. “මම ලඹයක් පාවිච්චි කරලා මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්ව සෝදිසි කරලා බලනවා. මේ වතාවේදී නම් මම එයාලට සමාව දෙන්නේ නැහැ.+  මම ඊසාක්ගේ පූජනීය තැන්*+ පාළු වෙලා යන්න සලස්වනවා. ඊශ්‍රායෙල්වරුන්ගේ දේවාල විනාශ කරලා දානවා.+ මම කඩුවක් අරගෙන යෙරොබොවම්ගේ රජ පෙළපතට විරුද්ධව එනවා.”+ 10  ඒ කාලයේදී බෙතෙල් නගරයේ සේවය කරපු පූජක අමෂියා+ ඊශ්‍රායෙල් රජ වන යෙරොබොවම්ට+ මෙහෙම දන්වලා යැව්වා. “ආමොස් ඊශ්‍රායෙල් සෙනඟ අතරටම ඇවිත් ඔබට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා.+ එයා කියන දේවල් මිනිස්සුන්ට දරාගන්න බැහැ.+ 11  මොකද එයා කියනවා ‘යෙරොබොවම් කඩුවෙන් මැරුම් කනවා’ කියලා. ‘ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් විදිහට අරන් යනවා’ කියලත් එයා කියනවා.”+ 12  ඊටපස්සේ අමෂියා ආමොස්ට මෙහෙම කිව්වා. “දර්ශන දකින්නා, මෙහෙන් යනවා යන්න! යූදාවලට ගිහින් කෑම බීම හොයාගන්නවා! ඔයාට පුළුවන් එහෙට වෙලා අනාවැකි කියන්න.+ 13  බෙතෙල් නගරයේ අනාවැකි කියන එක දැන් නවත්තන්න.+ මොකද ඒක රජට අයිති ශුද්ධ තැනක්.+ මුළු රාජ්‍යයටම අයිති පූජනීය තැනක්.” 14  එතකොට ආමොස් අමෂියාට මෙහෙම කිව්වා. “මම අනාගතවක්තෘවරයෙක්වත් අනාගතවක්තෘවරයෙක්ගේ පුතෙක්වත් නෙවෙයි. මම කලින් කළේ රැළේ සත්තු බලාගන්න එක.+ මම අත්තික්කා ගස් බලාගන්න කෙනෙක් විදිහටත් වැඩ කළා.* 15  මං රැළේ සත්තු බලාගෙන ඉද්දී යෙහෝවා මට කතා කරලා කිව්වා ‘දැන් මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් අතරට ගිහින් අනාවැකි කියන්න’+ කියලා. යෙහෝවා දෙවියන් තමයි මට එහෙම කිව්වේ. 16  ඉතින් දැන් යෙහෝවා කියපු දේට ඇහුම්කන් දෙන්න. ‘“ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව අනාවැකි කියන්න එපා”+ කියලත් “ඊසාක්ගෙන් පැවතෙන අයට විරුද්ධව වචනයක්වත් කියන්න එපා”+ කියලත් ඔයා කියනවා. 17  ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. “නගරයේදී ඔයාගේ බිරිඳව ගණිකාවක් විදිහට සලකයි. ඔයාගේ දුවලා පුතාලා කඩුවෙන් මැරුම් කයි. ඔයාගේ දේශය ලණුවකින් මැනලා කොටස් කරලා අනිත් අයට බෙදලා දෙයි. ඔයාට අපවිත්‍ර දේශයක මැරෙන්න සිද්ධ වෙනවා. ඊශ්‍රායෙල්වරුන්ව අනිවාර්යයෙන්ම වහලුන් විදිහට වෙනත් දේශයකට අරන් යනවා.”’”+

පාදසටහන්

ඒ කියන්නේ ජනවාරි, පෙබරවාරි අතර කාලයේදී.
මූ.අ., “යාකොබ් නැඟිටින්නේ කොහොමද?”
හෝ, “යෙහෝවාට ඔවුන් ගැන අනුකම්පාවක් ඇති වුණා.”
මූ.අ., “යාකොබ් නැඟිටින්නේ කොහොමද?”
හෝ, “යෙහෝවාට ඔවුන් ගැන අනුකම්පාවක් ඇති වුණා.”
මූ.අ., “උස් තැන්.”
එයා අත්තික්කා ගෙඩිවලට ඇනලා ඒවා ඉක්මනට ඉදෙන්න සැලැස්සුවා.